ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත් නිර්ණායකයක් වන්නේ 2024-2027 කාලය තුළ සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය.
ඔය දෙවනුව සඳහන් කළ නිර්ණායකය මම තේරුම් ගෙන තිබුණේ 2024 සිට 2027 දක්වා වසර තුනක කාලය තුළ සිදු වන වර්ධනය ලෙසයි. සාමාන්‍යයෙන් 2025 ආර්ථික වර්ධනය කියද්දී එයින් අදහස් වෙන්නේ 2024 සිට 2025 දක්වා වසරක කාලය තුළ සිදු වූ වර්ධනය. ඒ විදිහට බැලුවොත්, 2024 සිට 2027 දක්වා වසර තුනක කාලය තුළ සිදු වන වර්ධනය කියන්නේ 2025, 2026 සහ 2027 යන වසර තුනේ ආර්ථික වර්ධනය. මෙම වසර තුන පෙර සඳහන් කළ පළමු නිර්ණායකය සමඟද ගැලපෙනවා.
නමුත් උමේෂ් මොරමුදලි විසින් ප්‍රතිචාරයක් දමමින් සඳහන් කළේ 2024-2027 කාලය තුළ සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය යන්නට 2024 වසරද ඇතුළුව වසර හතරක කාලයක් අයත් වන බවයි. පසුව ඔහු විසින් මේ කරුණ පැහැදිලිව සඳහන් මූලාශ්‍රයක්ද අප වෙත යොමු කළා. ඔහුට ස්තුතියි!
මේ අනුව බලද්දී ඉහත සඳහන් දෙවන නිර්ණායකයෙන් ලංකාවට වාසියක් ලැබීමේ ඉඩක් නැති තරම්. මූල්‍ය අරමුදලේ අලුත් පුරෝකථන අනුවම වුවත්, 2024 සිට 2027 දක්වා සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය 14.3%ක් වෙනවා. ඊට හේතුව 2024 වර්ධනය ඉහළ මට්ටමක තිබීමයි. මෙම අගය 11.5% ඉක්මවා ඇත්නම්, දෙවන නිර්ණායකය අනුව, හෙයාකට් එක අඩු වෙන්නේ නැහැ. වැඩිවීම නවතින්නේත් නැහැ.
කෙසේ වුවද, මූල්‍ය අරමුදල විසින් තවමත් ඇස්තමේන්තු කරන්නේ පළමු නිර්ණායකය අනුව සාමාන්‍ය හෙයාකට් එක වන 27% ලැබෙනු ඇති බවයි. එය එසේ වීමටනම්, 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය ඩොලර් බිලියන 94.0 නොඉක්මවිය යුතුයි. මේ නිර්ණායකයේදීනම් පැහැදිලි ලෙසම 2024 වර්ෂය ගණන් ගැනෙන්නේ නැහැ. අරමුදලේ අලුත් ඇස්තමේන්තු අනුව, අදාළ අගය මෙම සීමාව කිට්ටුවටම යනු ඇති නමුත් තවමත් මෙම අගය පවතින්නේ සීමාවට පහළිනුයි.
ඉහත සඳහන් ඩොලර් බිලියන 94.0 සීමාව ඉක්මවුවොහොත් හෙයාකට් එක 27% සිට 19% දක්වා අඩු වෙනවා. අරමුදලේ ඇස්තමේන්තු අනුවම 2024 දදේනිය ඩොලර් බිලියන 99.0ක් වන තත්ත්වයක් තුළ 2025-2027 මෙම අගයේ සාමාන්‍යය ඩොලර් බිලියන 94.0ට වඩා අඩු විය හැක්කේ ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පමණයි. මේ අනුව පෙනෙන්නේ මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු සකස් කරද්දී ඩොලරයක මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් උපකල්පනය කර ඇති බවයි.
මූල්‍ය අරමුදල විසින් ඩොලරයක මිල පිළිබඳ ඔවුන්ගේ උපකල්පන ඉදිරිපත් කර නැතත්, රුපියල් වලින් ඔවුන්ගේ දදේනි ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බැවින් ඒ අනුසාරයෙන් ඩොලරයක මිලෙහි හැසිරීම පිළිබඳ ඔවුන්ගේ උපකල්පන අපෝහනය කරගත හැකියි. අරමුදලේ දදේනි ඇස්තමේන්තු මේවායි.
2025 – රුපියල් බිලියන 32,309
2026 – රුපියල් බිලියන 35,123
2027 – රුපියල් බිලියන 38,113
මෙම එක් එක් අගය ඩොලර් බිලියන 94.0 නොඉක්මවීමටනම්, ඩොලරයක සාමාන්‍ය මිල අවම වශයෙන් කොපමණ ඉහළ යා යුතුද?
2025 – රුපියල් 344
2026 – රුපියල් 374
2027 – රුපියල් 405
ඩොලරයක මිල මෙපමණ ඉහළ නොයන්නට ඉඩකඩ වැඩියි. මීට පෙරද අරමුදල විසින් ඩොලරයක මිල ඇස්තමේන්තු කර තිබුණේ සැලකිය යුතු තරම් ඉහළින්. නමුත් අවසාන වශයෙන් මෙය තීරණය වෙන්නේ මේ වසර තුළ සහ ඉදිරී වසර දෙකේදී රටට කොපමණ විදේශ විණිමය ආදායම් ලැබෙනවාද කියන එක මතයි.
~ ඉකොනොමැට්ටා
RN
