නිශ්මං රණසිංහ ,මාර්තු 10, කොළඹ LNW:
සනත් ජයසූරියගෙන් හිස්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු හැටියට ගැරී කර්ස්ටන් පැමිණ තිබෙනවා.මේක කඩඉමක්.ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විදේශ පුහුණුකරුවන් අනවශ්‍යය බව කියමින් කණ්ඩායම පුහුණු කරන්නට හැකි දේශිය මානව සම්පත් හැටියට අර්ජුන රණතුංග පවසපු නාම ලේඛනයෙ සනත් ජයසූරියත් හිටියා.ඒ වගෙම සනත්ටත් යම් අදහසක් තිබුණා පැවති යාන්ත්‍රණයට පිටින් වැඩ කිරීම ගැන කතා කරපු.එහෙම ආපු සනත්ටත් යන්න වුණේ තමන්ගෙ කීර්තිමත් ඉතිහාසයත් අමතක කරලා හූ කියන මිනිස්සු මැද්දෙ.
මේ අවාසනාවන්ත තත්ත්වය ඇති කරන්න අවශ්‍යය පුසබිම සකස් කළේ පවතින ක්‍රිකට් යාන්ත්‍රණය ඇතුළෙ විශ්වාසය දිනාගෙන බලයට ඒමට නොහැකි පිරිස් අතුරු කමිටු වැනි දේ ඇති කර ඒ හරහා බලය ලබා ගැනීමට සමාජ බලපෑමක් ඇති කිරිම පිණිසයි.ඒ සඳහා වෘත්තිමය වශයෙන් සමාජ ජාලාවන් තුළ වැඩ කරන කිහිප දෙනෙකු හිටියා.ඒ අය ක්‍රිකට් ප්‍රේමින් නොවන මුලින් සඳහන් කළ අයගේ බල ව්‍යාපෘති සඳහා සමාජ පෙළඹීම ඇති කරන්න රස්සාවක් හැටියට වැඩ කරන්න භාර වුණ අය.
ඒ සමාජ මාධ්‍ය බලපෑම මත වීරයා මිය ගියා.පළමු ලෝක කුසලානයේ වීරයා වූ සනත් ජයසූරියට,දෙවන වරට ගෙනා කුසලානය වෙනුවෙන් නායකත්වය දුන්න ලසිත් මාලිංගට දක්වපු විරෝධය මේ සඳහා හොඳම උදාහරණ.ඒක වෙන්නෙ කණ්ඩායම තවත් කණ්ඩායමක දක්ෂතාවය මත පරාජය වෙනවා කියන කාරණය වෙනුවට කණ්ඩායම සිතා මතා පරාජය වෙන බවට සහ ඒ පිටුපස ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී උවමනාව බවට හදපු මතය.
නරකම තත්ත්වය තමයි ක්‍රිකට් ප්‍රේක්ෂකයාට එය ක්‍රිකට්මය වූ ස්වභාවයෙන් විඳින්නට තිබුණ ඉඩ ඇහිරීම.මේ තත්ත්වය දැන් පොදු වෙලා.මිනිස්සු හැම දෙයක් දිහාම සැකෙන් බලන්න පුරුදු වෙලා.කණ්ඩායමක් දිනුවම ඒක සත්‍ය ජයක් නොවන හැටියට භාරගන්න කරුණු හොයන්න මිනිස්සු වෙහෙසෙනවා.ඒ ගැන කොහේ හෝ තැනක පළවන පුංචි ප්‍රවෘත්තියත් හැමතැනම ෂෙයාර් කරනවා.දෙයක් පිරිසිදුව භාර ගැනීමට නොහැකි සැකයකින් සමාජය දිහා බලන්න හුරු වුණ මිනිස්සු කණ්ඩායමකට ක්‍රිකට් වින්දනය භාර වෙලා, ක්‍රිකට් වින්දිත වුණ සංස්කෘතියකට පිටුව පෙරළිලා.
මෙන්න මේ අලුත් පිටුව ඇතුළෙ තියෙන කතාව වෙනස් කරලා ලියන්න තමයි කර්ස්ටින්ට එන්න වෙලා තියෙන්නෙ.පුංචි පසුබැස්මකින්,පරාජයකින් ක්‍රිකට්වලට සම්බන්ධ සියල්ලම දේශද්‍රෝහීන් කරන තරමට ඔළුගෙඩි වෙනස් කරපු සංස්කෘතියක සහ ඊට එරෙහිව ඇත්ත පැත්තට ප්‍රශ්නය තල්ලු කරන වගකීම වෙනුවට ගහගෙන යන කොටයට නැඟලා පාවෙන එක ජනමතය කියන තැන ඉදගෙන ප්‍රකාශ නිකුත් කරන අමාත්‍යවරයෙක් එක්ක කර්ස්ටීන්ගෙ ගමන කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන කාරණය රැඳිලා තියෙනවා.
කර්ස්ටීන් සැහැල්ලුවෙන් ඉන්න ව්‍යාඝ්‍රෙයක්.හොඳට කුරුමාණම අල්ලලා ගොඳුරට පනින්න අවශ්‍යය සංයමය සහ හික්මීම තියෙන මනුස්සයෙක්.ඒත දඩයමට වනාන්තාරයකට නෙමෙයි ගෙනත් දාලා තියෙන්නෙ.කාන්තාරයකට.මේකෙ දඩයම් කිරීම පහසු නැහැ.නිරාවරණ වැඩියි.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගස් සිටුවා දෙන්නත් සිඳුවෙනවා.
ප්‍රේක්ෂකයො විතරක් නෙමෙයි ක්‍රීඩකයො ඉන්නෙත් ක්‍රිකට් මානසිකත්වයක නෙමෙයි.ඔවුන් මුල් නැතුව වෙනම සමාජ ආකෘතියක පැළ කරලා තියෙන ගස්.මේ වැඩේ සිද්ධ කරන්නෙ ඔවුන්ගේ අතට එන මුදල් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න සැළසුම් කරන්න වැඩ කරන ක්‍රීඩක කළමණාකරුවන්.ඔවුන් රටේ ක්‍රිකට් වෙනුවෙන් මේ ක්‍රීඩකයො ආයෝජනය කිරීම සඳහා පොළඹවන කෑල්ලෙන් ඈත් වෙලා ක්‍රිකට්වලින් උපයන දේ ආර්ථිකමය වශයෙන් ආයෝජනය කරන්න මහන්සි වෙන පිරිසක්.ගිණුම්වල තත්ත්වය හිමිකම්වල තත්ත්වය ඉහළ යනකොට තමන්ට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණයෙන් ඉහළ යෑම ගැන මිස ඒ කළමණාකරුවන්ට ක්‍රිකට්වල තත්ත්වය ඉහළ දමා ජයග්‍රහණ හරහා ඒ අගය ලබා ගැනීමේ සිහින නැහැ.
එසේම මේ පොළව එක්ක එහි තිබෙන සමාජ ජීවිත එක්ක බැදුණු දේවල් විඳින දැනෙන මිනිහෙක් කර්ස්ටින්ට මේ ක්‍රීඩකයන්ගෙ මානසික අභිප්‍රේරණය වෙනුවෙන් ඉන්න ඕනි.මේ ගැන යෝජනාවන් අප්‍රමාණව කර ඇති.සෘණාත්මක දේ ගැන පසුතැවෙන තරමටම ධනාත්මකව ගොඬ නැඟිය හැකි දේවල් අත්හදා බැලීමටත් උත්සාහ කරනවනම් යහපත්.
කොහොමත් කර්ස්ටීන්ට ආයෙ හැරෙන්න බැහැ.දැන් ඇවිත් ඉවරයි.දිනන්න පටන් ගන්නයි තියෙන්නෙ.දහයක් දිනලා එකක් පැරදුණාම සැමදා නියං එකදා වැහිවලාවේ කියන්නා සේ අර ජයග්‍රහණ සියල්ල සේදී යන්න සමාජ මාධ්‍ය ජාල පුරවන,සෘණාත්මක ක්‍රිකට් සිතුවිලි වපුරන මිනිස්සු දිහා හැරිලා බලන්නනම් කර්ස්ටින් නවතින එකක් නැහැ.ඒත් කණ්ඩායම තවම ඉන්නෙ බුරන බුරන තැන නැවතිලා බල්ලො එළවන්න හදන මානසිකත්වයක.ඒ සඳහා උදාහරණ හැටියට දසුන් ශානකගෙ ප්‍රකාශ්‍ය වගේම කුසල් මෙණ්ඩිස්ගේ හස්ත මුද්‍රාවේ අශෝභන ප්‍රකාශත් ගත හැකියි.
කුසල්ව ඇඟිල්ල පෙන්නන්න හිතෙන මොරටුවේ පොළවෙන් අරගෙන ඔහුට කෘතිම පරිසරයක් හදා දෙන්න සිතීමම අවුල්.දහස් ගාණකට අතින් අශෝභන සංඥාවක් පෙන්නන්න බය නැති කුසල්ගේ ඒ නිර්භිතකම ක්‍රිකට් වෙන්නෙ අඩුවෙන්.ඒකටයි හේතු හොයන්න ඕනි.ක්‍රිකට්වලට ඒ මරාගෙන මැරෙන්න පුළුවන්කම එකතු කරන සූත්‍රය කර්ස්ටීන්ට වැඩිය කරන්න පුළුවන් කර්ස්ටීන්ට උදව් කරන්න දන්න ඔළු වෙනස් කරන ලංකාවෙ කෙනෙක්ටයි.
අපි උත්සාහ කරමු.ක්ර්ස්ටීන් විතරක් නෙමෙයි අපේ කොල්ලො ටිකත් දක්ෂයි.ඒ ගැන සැකයක් නැහැ.ඒත් ඔවුන්ගේ අනන්‍යතාවය ක්‍රිකට් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් අස්සෙ කර්ස්ටීන් එක්ක එකතු වෙලා උන්ට පුළුවන් ලෝකෙටම ගහන්න.ඒ ගහ වැඩේට ක්‍රිකට් ආයතනය උදව් කරනවා වගේම මේකට දේශපාලනික අතපෙවීම් කරලා ආසියාවේ ක්‍රිකට් අතින් වැඩිම වානිජමය වටිනාකම තියෙන පොළවෙ තව තවත් ක්‍රිකට් ඉන්දන්න පුළුවන් තැන් හදන්න මහන්සි වෙන එක පැත්තක තියලා ක්‍රිකට් හින්දන්න හදන්න එපා.
ලංකාවෙ ක්‍රිකට්වලට ඕනි පිට්ටනියට බහින එකොළහ හිතන හැටි සහ ඔවුන්ට දැනෙන හැටියෙ වෙනසක්.


