Thursday, March 30, 2023
spot_img

Latest Posts

ඩොලරය, රුපියල සහ අපේ ජනතාව …

මාස කිහිපයක සිටම රට තුළ දැඩි විදේශ විනිමය අර්බුදයක් උද්ගත වෙමින් පැවතිණි. එහිම ප්‍රතිඵලයක් වශයෙන් විටින් විට කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් වැනි දෑ හිඟවෙන්නට වූ අතර අවසානයේ ඉන්ධන හිඟයක් සහ විදුලි කප්පාදුවක් ද මතුවිණි.

මෙහිදී සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව මෙන්ම ආණ්ඩු පක්ෂයේම ඇතැම් පාර්ශ්ව පවා ආණ්ඩුවට චෝදනා කරන්නට පටන් ගත්තේ ආණ්ඩුව රුපියලේ අගය කෘතීමව පාලනය කිරීම නිසා මේ විදේශ විනිමය හිඟය උද්ගතව ඇති බවත් ඒ අනුව වහාම රුපියල පාවෙන්නට ඉඩ හැරිය යුතු බවත් කියමිනි. මේ තරම් සරල විසඳුමක්වත් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට හෝ අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපතිවරයාට හෝ නොතේරෙන්නේදැයි අසමින් කෝචෝක් දමන්නට ද ඔවුන් අමතක කළේ නැත.

ඒ මොහොතේදී සියලු දෝෂාරෝපණ අසමින්ම මහබැංකු අධිපතිවරයා පැවසුවේ රුපියල පාවෙන්නට ඉඩ හැරීම යනු කියන තරම් සරල දෙයක් නොවන බවත් එය උද්ධමනයට දරුණු ලෙස බලපානු ඇති බවත් ය. ඒ අනුව ඔහු උණ්ඩියෙල්, හවාලා සහ වෙනත් නීතිවිරෝධී ක්‍රමවලින් විදෙස් ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම වළක්වාලමින් විදෙස් ප්‍රේෂණ රටේ බැංකු පද්ධතිය තුළට ඇදගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ ද නැත.

අවසානයෙහි පෙරකී ලක්ෂ සංඛ්‍යාත පක්ෂ – විපක්ෂ අනුගාමිකයින්ගේ වුවමනාව පරිදිම රුපියල පා කෙරිණි.

දැන් ඔවුන් නැවතත් හතී අතේ මුදල් අමාත්‍යවරයාටත්, මහබැංකු අධිපතිවරයාටත් බනින්නට පටන් ගෙන තිබේ. ඒ, රුපියලේ අගය විශාල වශයෙන් කඩා වැටෙන බව කියමිනි. ඔවුන්ටම අනුව ඔවුන්ම ඉල්ලා සිටි දෙය නොකළත් වැරදි ය, කළත් වැරදි ය.

ඩොලරයේ වටිනාකම හමුවේ රුපියල පහළ වැටීමට සාපේක්ෂව බඩු මිල ඉහළ යෑම තවමත් ආරම්භ වූයේ නැත. තව දින කිහිපයකින් බඩු මිලත් ඕසෙට නඟිනු ඇත. එවිට පෙරකී රුපියල පා කිරීම ඉල්ලා සිටි උදවිය ම තමන් එවැන්නක් පිළිබඳව හාංකවිසියක්වත් නොදත් පරිද්දෙන් වඩවඩාත් බනින්නට පටන් ගනු ඇත.

මේ, අපේ රටේ ජනතාවගේ ස්වභාවයයි. විශේෂයෙන් ෆේස්බුක් දේශපාලන විශ්ලේශකයින්ගේ සහ ෆේස්බුක් ආර්ථික විශේෂඥයින්ගේ ස්වභාවයයි.

රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ යනු තමන්ට පවා ගත හැකි ඉතාම සරල දේවල් වශයෙන් නම් කර ඒවා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව මුලින් බැන වදින ඔවුහු ඒවාම ක්‍රියාත්මක කළ විටෙක ඒවායේ ආදීනව ගැන කියමින් යළිත් බැන වදිති.

මෑත කාලිනව ගත් විට කොවිඩ් වසංගත තත්වය හමුවේ රට ලොක්ඩවුන් කිරීම පිළිබඳව ද මෙවැනිම ප්‍රශ්නයක් මතුවූ බවත් අපට නම් මතක ය.

කෙසේවෙතත් මේ ආකාරයෙන් තමන්ම කියනා දෙයක පවා වගකීමක් භාරනොගෙන, එහි අනිවාර්යය ප්‍රතිඵලයට එරෙහිව නැවතත් මැසිවිලි නඟන ජනතාවක් සමග ආර්ථික අර්බුදයකට මුහුණ දීම නම් අපහසු වැඩක් නොව කරන්නට බැරි වැඩකි.

මේ ආර්ථික අර්බුදය ඇතිවුණු ආකාරය ගැන විවිධ පාර්ශ්වවලට විවිධ කතා කියන්නට ඇතිවාට සැකයක් නැත. එහෙත් එසේ අරයාට හෝ මෙයාට ඇඟිල්ල දිගු කර කර කාලය කා දැමීමෙන් ඩොලරයක තියා ශත අලුක්කාලවත් වැඩක් කිසිවෙකුටවත් වෙන්නේත් නැත.

සියල්ලටම පෙර රටේ සියලු දේශපාලන පක්ෂ එකතු වී මෙම අර්බුදයට මුහුණ දීම සඳහා යම් මූලික එකඟතාවක් හෝ ඇති කරගෙන දේශපාලන ස්ථාවරභාවයක් නිර්මාණය කරගත යුතුම බව අප නැවත නැවතත් කියන්නේ එබැවිනි.

ජනතාව හුරතල් කරමින් 225ට පමණක් බැනවැදීම සාමාන්‍ය ජනප්‍රිය ක්‍රමයයි. එහෙත් එයින් කිසිදාක මේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේ නැත.

  • දර්ශන වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.