*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සිරිපැරකුම් ඉතිහාසය වෙනස් කළ බොක්සිං කොටගලට හරසරින් පිළිගැනීම

නුවරඑළිය සැප ගන්නට මරු ය.ව්‍යවහාරයේ ඊටත් වඩා භාවිත උප සංස්කෘතික වචනය ආතල් ගන්න කියාපු තැනක්ය.ඊට අමතරව නුවරඑළියේ මිනිසුන් සීතලේ සිට වන්නියේ කාශ්ඨක අව්වේ වේලෙන මිනිසාට ද යම් ආතල් එකක් දෙන්නේය.ඒ තොල ගාන කහට උගුරේ ද මේ මිනිස්සුන්ගේ දහදිය තිබෙන්නට ඉඩ ඇති බැවිනි.ඒ නැතත් අදටත් රටට විශාල විදේශ විනිමයක් ගෙන එන තේ දළු ගසෙන් මුදල් බවට පත් කරන්නට වෙන් කරන සහ ඒ මුදල් ගස් වවන බහුතරයක් මේ සීතල කඳුකරයේ ය.

දැවන්ත ගල් කුළු පෙළට හිටගෙන තේ වලට ආරක්ෂාව දෙන අතරේම ඔවුන්ගේ ශරීර ශක්තියේ අපූර්වත්වයද අපට කියා දෙන්නේය.මෙවැනි ශක්තීන් ජානවලින් පරපුරෙන් පරපුරට ආවද,පාලකයන් බැදුණු ගල්වන් සිත් ඇත්තන්ය.වේල් පිරිමසා ගන්නට දවසක වැටුපවත් සරිලන සේ දෙන්නට ප්‍රතිපත්ති හදන්න අකමැති ගුණමකු පිරිසක්ය.ඒ නිසා පරපුරෙන් පරපුරට ඔවුන්ගේ දරු මල්ලන් සියයට අසූ නවයක්ම වත්තේ කුලී රස්සාව හෝ ගෙදරක මෙහෙකාරකම හෝ හෝටලයක මෙහෙකාරකම උරුම කර ගත්තෝ වෙති.
ඒ අතරින් මතුවන අහම්බයන් අපට පාසල් කාලයෙන් පසුව දුර දිවීම් පිටියේ හමු වුව ද,හොඳ අධ්‍යාපනයක්,ඒ දැණුමට සමගාමීව ඉදිරියට රැඟෙන යා හැකි ක්‍රීඩාවක් කඳුකරයෙන් අපට හමුවන්නේ නැති තරම් ය.නමුත් සුසන්ත වීරසේන නම් බොක්සිං ප්‍රේමී පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සිය ප්‍රේමයට පදනම් දැණුමෙන් නුවරඑළිය පාසල් දරුවන් අතර බොක්සිං ව්‍යාප්ත කිරීමේ සංග්‍රාමයක් ඇරඹීය.අල්ලට සීනි බින්දක් ගෙන කහට කෝප්පය බී ගාය තියෙන කොල්ලන් කෙල්ලන් පාසලට ඇඳෙන්නට මැතිරූ මන්තරයක් බඳු වූ මේ ව්‍යායාමයේ නෙළු අස්වැන්නේ සුවඳ පසුගිය දිනෙක නුවරඑළිය නගරයෙන් හමා ආවේය.ඒ පාසල් 19 ක් සහභාගි වූ නුවරඑළිය අධ්‍යාපන කළාපයේ දරුවන්ගේ බොක්සිං වළල්ල මත එලෙද්දී ය.

ඒ බහුතරයක් දෙමළ දරුවෝය.ඒ අතර ආදරය ජාතියට අදාළ නොවන බවට නිදසුන් පෑ ජාතීන් මිශ්‍ර වූ විවාහයන්ගෙන් උපන් දරුවෝ ද වූහ.මේ සංස්කෘතියේ සංඛේතයක් බඳු වූ කොටගල සිරිපැරකුම් විද්‍යාලය මේ තරගාවලියේ කැපී පෙණුනම පාසල ලෙස ගත හැකිය.වන්නමට,අඩව්වට වැයෙන පද කස්තිරමට අත් පා ලෙල වූ ලලනාවක් සිරි පැරකුම් මුෂ්ටි ප්‍රහාර පිටුපස ශක්තිය කැප කරන්නිය වූවාය.පාසල් වියේ මතක අස්සේ හැංගී තිබුණ ක්‍රීඩා ආලය මෙන්ම කරන ලද ක්‍රීඩාවන් හි ආභාෂය ද තුරුළු කරගෙන ඇය බොක්සිං වලල්ලට ගොඩ වෙන්න තීරණය කළාය.ක්‍රීඩාවෙන්ද කලාවෙන්ද ගත් රිද්මය සමඟ පයිරු පාසානම් පවත්වන මේ ලලනාවගේ අප්‍රතිහත දිරිය සුසන්ත වීරසේනගේ අවධානයට ලක් විය.ඒ නිසා එවකට සිරි පැරකුම් විදුහලට නායකත්වය දුන් විදුහල්පති බණ්ඩාරයන්ට ද සිය උප විදුහල්පතිණියගේ මේ අපූරු මැදිහත්වීමට ආශිර්වාද නොකර සිටින්නට බැරි විය.සුසන්තයන් බණ්ඩාර විදුහල්පතිතුමාගේ උප විදුහල්පතිනියට සෙබස්තියන් පතිරාජ් නම් වූ බොක්සිං ක්‍රීඩාව ගැන දැණුමැති පුහුණුකරුවෙක් ද ලබා දුන්නේය.



නැටුම් මිස් සමඟ සෙබස්තියන්ගේ කාර්ය බහුල පෞද්ගලික ජීවිතය එක පීල්ලේ තබා ගෙන යන්න බැරි තරම් සංකීරණ විය.ඒ නිසා නැටුම් මිස් ගේ අලුත්ම බොක්සිං නැටුමේ රිද්මයට සෙබස්තියන්ට සිඳු වූයේ වැඩි වරක් අත්වැල් අල්ලන්නටය.මිස් පෙරමුණ ගත්තාය.
එහි පළමු පියවර ජයග්‍රාහීව අවසන් කරන විටත් නැටුම් මිස් තමන්ට පෞද්ගලිකව ලාභයක් පැමිණි ව්‍යාපාර සම්බන්ධතාවන් බොක්සිංවලට කැප කරන්නට තීරණය කර අවසන්ව තිබිණ.දිසාපාමොක් මාතාවන්ද තැන තැන ඇති බවට ඉඟි දෙන ඇය ඉනික්බිතිව, ඇයගේ ජීවිතයේ මිතුරන්,හිතවතුන් සහ ධනවතුන්ගේ ත්‍යාගශීලී වල සුව ද සිරි පැරකුම් වෙනුවෙන් නමා ගන්නට සමත් වන්නීය.

ඒ විශ්වාසය සඳහා දිරිය දෙන්නී බ්‍රයන් සොනාලි ය.දෙමළ වූ ද,කතෝලික ආගමික ප්‍රබේදයක නියෝජනයක් වූ ද සොනාලි එල්.කේ ජයවීර පාසල් බොක්සිං තරගාවලියේදී සිය බර පංතියේ ජයග්‍රාහිකාව වන්නීය.ඒ වසර 55 ක ට ආසන්න සිරි පැරකුම් ඉතිහාසයේ පළමු ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණය ය.ඒ වන විට සුසන්ත වීරසේනයන්ගේ මඟ පෙන්වීම මත මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් භාවිතා කරන ලද උපකරණ කිහිපයකින් බොක්සිං පුහුණුවෙමින් සිටි සිරි පැරකුම් විද්‍යාලය ජයග්‍රහණයට යාමේදී ඒ සඳහා අඳින්නට සුදුසු වස්ත්‍ර ද ලබා ගත්තේ හිතවත් පාසලකින්ය.


සොනාලි ගේ ජයග්‍රහණයත් සමඟ අප මේ සටහනේ කතා නායිකාව වූ උප විදුහල්පතිණිය ලක්මිණි ලසන්තිකා ගේ නර්තන තාලය වෙනස් වන්නීය.නුවරඑළිය ගාමිණියේ තමන් සමඟ අධ්‍යාපනය ලද සහෘද කැළ අමතන්නීය.ඒ හරහා මතු වූ ලැබැඳි පරණ මිතුදම් ශක්තිමත් වන්නේ සිරි පැරකුම් දූ පුතුනට අවශ්‍යය මූලික බොක්සිං උපකරණ හිඟය සැළකිය යුතු මට්ටමකින් අඩු වෙමින්ය.ඒත් නොසිඳුණු හිඟකම් ඒ බොක්සිං ජීවිතවල බොහොමයක් ය.
මේ අතර කොටගල පැත්තට වන්නට රේන්බෝනම් ආගමික සංවිධානයක් බ්‍රයන් සොනාලි ඇතුළු කිහිප දෙනෙක්ට මාසිකව අවශ්‍යය පෝෂණය දෙන්නට මැදිහත් වන්නේය.එවැනිම රාජ්‍ය නොවන ආයතනයක් වන වර්ල්ඩ් විෂන් ආයතනය ද මේ වන විට සිය කරුණාවේ දෙනෙත් සිරි පැරකුම් දරුවන් වෙත යොමු කරන්නට අවශ්‍යය පසුබිම සකසමින් සිටින්නේය.

මේ දායකත්වයන් සියල්ලට විශ්වාසය වන පුටු මාරුවක් ද මේ වන විට සිරි පැරකුම් තුළ සිඳු වී හමාරය.ඒ නටන සහ බොක්සිං පුහුණුකරන උප විදුහල්පතිණිය දැන් සිටින්නේ විදුහල්පති පුටුවේය.ඇය ගේ මඟ පෙන්වීම ලබන බොහෝ දූ දරුවෝ වතුකම්කරුවන්ගේ දරුවන්ය.වසර සිය ගණනක් වතුහිමියන් පෝෂණය කරන්නට දිය වූ ජිවිතය.ඔවුන්ගේ ඊ ළඟ පරම්පරාවේ මේ ශක්තියේ රිද්මයට හවුල්කාරීත්වයක් දරන්නට ඒ වතුහිමියන් සමඟ සාකච්ඡා කිරීම වත්මන් විදුහල්පතිණියගේ අලුත් පියවරය.
ඒ නවයේ සහ ඒ තුනේ බලාපොරොත්තු පසුපස දුවන දෙමව්පියන් මේ පාසල්වල හිඟයි.ඒත් ඉහළම ප්‍රතිපලය අධ්‍යාපනයෙන් දරුවො ලබනවා බලන්න තමයි ආස.ඒ නිසා බොක්සිං පටන් ගනිද්දිත් යම් යම් බාධාවන් අකමැතිවීම් ආවා.



සම්ප්‍රදායික අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටළුව සහ ආකල්ප ප්‍රතිවාදියා ලෙස තබාගෙන ප්‍රහාර එල්ල කිරීම පහසු නැත.විදුහල්පතිණිය ගේ වචනවලින් පිළිඹිඹු වන්නේ ඒ බවය.
ඇය ප්‍රායෝගික ගුරු මවක්ය.මේ දරුවන්ගේ පවුල් පසුබිම සමඟ අධ්‍යාපන ඉලක්ක දශමයකින් හෝ මඟ හැරුණොත් බොහෝ විට ඔවුන් ජීවත්වන ලැයිම් කාමර මත වැටෙන්නේ තවත් දරන්න අපහසු පිඩනයක්ය.ඒ නිසා ඒ පීඩනයෙන් මිදෙන මං තනනු පිණිස ඇය මෙන්ම ඇඟේ ගුරු මණ්ඩලය ද ස්වෙච්ඡාවෙන් කැප වෙන්නේය.ලක්මිණි  විදුහල්පතිණිය දත් බෑග් කර්මාන්තය ද අනෙක් ගුරුවරු දන්න විවිධ අත්වැඩ වෘත්තීයන්ද මේ දරුවෝ හවස නොමිළේම උගනිති.

“දරුවා වැඩ ලෝකයට සූදානම් කිරිම තමයි අපේ අපේක්ෂාව”
එය ලක්මිණිලාට පමණක් නොව ලංකාවේ සමස්ත අධ්‍යාපනය සමඟ බැදි ඇති සංකල්පයකි.එහෙත් දරුවන්ව හති නොබලා දුවවන ඒ අධ්‍යාපනයට පිටින් මේ ගුරුවරු කරන කැපවීම අපූරුය.එහෙත් 22 ක් සිටිය යුතු එම ගුරු මණ්ඩලයේ සිටින්නේ 14 ක් පමණි.ඒ නිසාම 14 දෙනා විෂයන් කිහිපයක් බෙදා ගෙන උගන්වන අතර දරුවන්ව හති නොතකා දුවවන ගුරුවරුන් ගැන අහන්න ලැබෙන වපසරිය තුළ මේ ගුරුවරුන්, දරුවන්ගේ අනාගයට අරුතක් දෙන්නට හති නොබලා දුවන්නෝය.
එහෙත් බොක්සිං යනු ශරිරයේ දරා ගැනිම සහ ශක්තිය පෙරටු කොට ගමන් කරන ක්‍රීඩාවකි.එවන් ක්‍රීඩාවක පෙරට යන්නට පොහොසත් අනුග්‍රහයන් නිතර තිබිය යුතුය.පෝෂණය ඉන් වැදගත්ම තැනක් ගනියි.බොක්සිං සපත්තු නොව සාමාන්‍ය සපත්තු යුගලයක් වුව වතු කම්කරුවෙක්ගේ වැටුපට ඔරොත්තු නොදෙන්නේය.
“අපි මේක කොහොම හරි කරමු පුතේ”

පුහුණුකරු සෙබස්තියන්ට නිවාඩු කාලයේ නිතර පැමිණෙන්නට නොහැකි තැන, ලක්මිණි සියලු දූ දරුවන් පොකුරට ගෙන රවිඳු සහ මධුර ද පෙරටු කර ගෙන අලුත් අඩව්වකට මුල පිරුවාය.මූලිකම සිද්ධාන්ත ඇසුරේ දරු දැරියන්ගේ මුෂ්ටි ප්‍රහාරයන්ගේ ගමන් මඟ සෘජුව ප්‍රතිවාදියා සොයා ගමන් කර නුවරඑළිය කළාප තරගවලට එනවිට ඒවා රන් පදක්කම් 10ක්,රිදී දෙකක් සහ ලෝකඩ 4 ක් දක්වා අස්වැන්නක් බවට පත් කරන්නට සමත් විය.ඒ ක්‍රීඩකයින්ට රන් 6ක්,රිදී 02ක් සහ ලෝකඩ 1 ක් ලෙසය.ක්‍රීඩිකාවන්ට රන් 5 ක්,සහ ලෝකඩ 2 ක් ලෙසය.
බ්‍රයන් සොනාලි දිනා දුන් ජාතික මට්ටමේ පදක්කම පමණක් නොව නුවරඑළිය කළාපයේ බොක්සිං සූරතාවය ද සිය විද්‍යාලයට රැඟෙන එන්නට සිරි පැරකුම් දරුවන්ට හැකි වන්නේ එවන් පසුබිමක් යටතේය.එය ද දශක පහ ඉක්මවා ඇති විද්‍යාලීය ඉතිහාසයේ පළමු අවස්ථාවය.නුවරඑළිය නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කළාප බොක්සිං සූරයෝ මෙන්ම සූරියන්ද වන සිරි පැරකුම් විද්‍යාලයට දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාගේ කිරුළ රැඟෙන යන්නට මයුර තීක්ෂණ සමත් වන්නේය.එසේම සුමන ජාතික පාසලේ දිල්රුක්ෂි බාලක්‍රිෂණන් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වන්නීය.

අපි වසන්තය ගත කරන්නට නුවරඑළියට ගියාට දකින ලස්සන මල් මත වැටී තිබෙන්නේ ලක්ෂ සංඛ්‍යාත වතුකම්කරු දරුවන්ගේ අනාගතය සම්බන්ධ අවිනිශ්චිත බාවයේ කඳුළු යැයි මොහොතක්වත් නොසිතන්නට ඇත.ඇත්තටම ඒවා කඳුළුය.එසේත් නොවන්නේනම් තේ ගස් යටට වැටුණු එම දරුවන්ගේ පීතෘත්වය සහ මාතෘත්වය සැබෑ කර ගන්නට නොහැකිව ලතවෙන දාරක ප්‍රේමයේ බලාපොරොත්තුවල කඳුළුය.තේ ගස් නැඟෙන්නේ ඒ කඳුළු සහ දහදිය පොහොර වූ බිමකින්ය.

මේ කඳුළු සහ දහදිය මල් කරන්නට අපට හැකියාව ඇත.සිරි පැරකුම් දරුවෝ පොහොට්ටු සේ පෙළ ගැසී කියන්නේ අපට ඒ පණිවිඩය ය.සුසන්ත වීරසේන මහනගර සභාවේ පාසල් 19 ක් එවන් පොහොට්ටු පෙළගස්වා හෙට සුවඳ දෙන්නට පිපෙන්නට ආස බව හඬ ගා කියන්නට වේදිකාවක් තැනුවේය.ඒ පොහොට්ටු පේළියේ සිටි සුවඳම කැකුළු ටික පුබුදන මාතෘ සෙනෙහසේ සැළසුම් සළකා අපි සිරි පැරකුම් ගැන සටහන් කළෙමු.ලක්මිණි  සමඟ තව කළ හැකි දේ කරන්නට එකඟ වුණෙමු.නුවරඑළියේ සියළුම බොක්සිං ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට මේ ඓතිහාසික මොහොත වර්ණවත් කරන්නට එක්වීම ගැන සුබ පතන්නෙමු.එසේම බලධාරීන් සියලු දෙනාට ඉතිහාසය විසින් නොසළකා හරින ලද ප්‍රජාවකගේ දක්ෂතා විශාල වශයෙන් පෙරට ඒමට හැකි මඟක් තැනීම සමබන්ධයෙන් අදාළ අධ්‍යාපන බලධාරීන්ට ප්‍රංශසාව සහ ස්තූතිය පුද කරමින්,ඒ මඟ පෙරට යන්නට ඇහිරී ඇති බාධක ඉවත් කරන්නට කොන්දේසි විරහිතව මැදි වන්නයි ඉල්ලා සිටිමු.
එපමණකින් නොනැවතී අපි හෙට බ්‍රයන්ලා,මයුරලා ගැන පමණක් නොව නුවරඑළියේ බොක්සිං කැකුළු ගැන අවධානයෙන් සිටින බව සපත කරන්නෙමු.ඒ දරා ගැනිමේ හයිය,මහා ගිරි එක පෙළකට ගෙන අතුරා පොළව බැඳ දමන හයිය හෙට ලංකාවට සතුටු විය හැකි ඉමකට රැඟෙන යන්නට සුසන්ත පෙන්වා දුන් මඟට තවත් දිරියක් වෙන්නට බොක්සිං බලධාරින්,අධ්‍යාපන බලධාරීන් මෙන්ම ක්‍රීඩා බලධාරින්ද නුවණින් සිහියෙන් බට යුතුය.


එතෙක් අපි නුවරඑළියේ අනාගත බොක්සිං කැකළුවල සුවඳ මහා නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ජයග්‍රාහී සැළකුම් ලැබුවේ කෙසේද යන්න දැන ගන්නට ප්‍රධාන සූරතාවයන් අගට අමුණා තබන්නෙමු!
දක්ෂතම පරාජිතයා (ක්‍රීඩිකාව) – එස්.තක්ෂිලා ගුට් රෙස්ට් කණ්‍යාරාමය
දක්ෂතම පරාජිතයා (ක්‍රීඩකයා) – ඩී.ජී.එස්.වගීෂ – නුවරඑළිය ගාමිණි ජාතික පාසල
දක්ෂතාම ක්‍රීඩිකාව – දිල්රුක්ෂි බාලක්‍රිෂ්ණන් – සුමන ජාතික පාසල
දක්ෂතම ක්‍රීඩකයා – මයුර තීක්ෂණ – කොටගල සිරි පැරකුම් විද්‍යාලය

බාලිකා අනු සූරතාවය – දිඹුල දෙමළ විද්‍යාලය
බාලක අනු සූරතාවය – කොටගල දෙමළ විද්‍යාලය
බාලිකා අනු සූරතාවය – සිරි පැරකුම් විද්‍යාලය කොටගල
බාලක සූරතාවය – සිරි පැරකුම් විද්‍යාලය කොටගල

බොක්සිං සහ නර්ථනය හාද වූ තැනක්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan