*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/13

  1. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන මෙන් මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරයි – මෙම ඉල්ලීම සිදුකරනුයේ, මීට ඉහත සිදුකළ ඉල්ලීම් වලදී පවතින මූල්‍ය තත්ත්වය මත මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව තමාට තනි තීරණයක් ගත නොහැකි බවට මුදල් ලේකම්වරයා පැවසීම නිසා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.
  2. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය අවම කර ගනිමින් වෙරළ තීරයේ කැළි කසල ඉවත් කිරිම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම තුඩාව බ්‍රදර්ස් පුද්. සමාගම ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
  3. ඉකුත් දිනවල පැවති විරෝධතා මර්දනය කිරීමට පොලීසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටීමට තීරණය කරයි – මීට අදාළව තමාට කොමිසම හමුවේ පෙනී සිටින මෙන් ලබා දුන් දැනුම් දීම නිසි ක්‍රමවේදයකට අනුව සිදුකළ එකක් නොවන බව ඔහු පවසයි.
  4. අප්‍රේල් මාසයේ සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයක් හරහා ජනතාවට සහන සලසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන බව ද පවසයි.
  5. අත දරුවකු කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක දමා යෑමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වූ මවක, මාධ්‍යය ද කැඳවා පොලිස් ස්ථානය තුළ අනිසි අන්දමින් ප්‍රශ්න කිරීමට අදාළව බණ්ඩාරවෙල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විමර්ශනයක් දියත් වෙයි – මෙම සිදුවීමේදී පොලීසිය සහ මාධ්‍ය හැසිරුණු අන්දම පිළිබඳ ක්‍රියාකාරීහු සිය දැඩි අවධානය යොමුකරති.
  6. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී වෙයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට කිසිසේත්ම බිය නැති බවත්, තම පක්ෂය ගමට වැඩකළ පක්ෂයක් බවත් පවසයි – මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසිනි.
  7. සුඛෝපභෝගී ‘Princess Cruise’ මඟී නෞකාව කොළඹට පැමිණෙයි – මෙම නෞකාවෙන් එක්සත් ජනපදය ඇතුළු රටවලින් සංචාරකයන් 2,000 පමණ පැමිණ ඇති බව සඳහන් – මෑත කාලයේ මෙරටට පැමිණි සිව්වන සුඛෝපභෙෘ්ගී මඟී නෞකාව මෙය වන අතර, එය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ පුනරුදය සනිටුහන් කරන බව සඳහන්.
  8. නිලධාරීවාදය සහ පාර්ලිමේන්තුව නිසා, රටේ පවතින නීතී රීතිවලට ආර්ථික කලමනාකරණය අනුකූළ වීමේ ගැටලු පවතින බවත්, ගතවූ වසර 20 ක පමණ කාලයක් තිස්සේ මෙම ගැටලුව පවතින බවත් Verité Research ආයතනය විසින් ප්‍රකාශයට පත්කළ වාර්තාවක දැක්වෙයි – ශක්තිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් සඳහා රජය විසින් යෝජනා කරන ලද නව නීති තිබියදීත්, ඒවා “වගකීම් විරහිතව ගනු ලබන තීරණවලට” බාධාවක් වන බැවින් දණ්ඩමුක්තියකින් තොරව ඒවා උල්ලංඝණය කිරීමට සහ/හෝ වෙනස් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ද පවසයි.
  9. මෙම වර්ෂයේ මාර්තු මාසයේ පළමු දින 08 තුළ සංචාරකයන් 31,086 මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්නුම් කරයි – මෙම වසරේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 241,270 කි – ශ්‍රී ලංකාව යනු තවත් එක් ගමනාත්තයක් නොව, ආදරය නොකර සිටීමට නොහැකි ගමනාන්තයක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි – දුෂ්කරතා ජයගෙන රට සාමාන්‍ය තත්ත්වයට පත් ව ඇති බව ද පවසයි.
  10. ඉකුත් පෙබරවාරි 26 වන දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පාගමන මර්දනය කිරීමට පොලීසිය විසින් එල්ල කළ ජල ප්‍රහාර සඳහා බේරේ වැවේ ජලය සිතාමතා භාවිතා කළ බව පිළිගනිමින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය ෆේස්බුක් ගිණුම හරහා සිදුකර ඇති ප්‍රකාශයකට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ 263 වන වගන්තිය යටතේ ඔහුට වසර දෙකක් දක්වා සිරදඬුවම් පැමිණවිය හැකි බව සමඟි තරුණ නීතීඥ බලවේගයේ නීතීඥ යොහාන් ආරියවංශ පවසයි – ජීවිතයට අනතුරුදායක වූ යම් රෝගයක් පැතිරවිය හැකි වූ ද, එසේ පැතිරවිය හැකි බවට තමා දන්නා වූ හෝ එලෙස විශ්වාස කිරීමට කරුණු තිබෙන්නා වූ ක්‍රියාවක් ද්වේශසහගතව සිදුකරන අයෙක් අවුරුදු දෙකක සිරදඬුවමකට යටත් කළ හැකි, දඩයකට යටත් කළ හැකි, හෝ ඒ දෙකටම යටත් කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තියේ දැක්වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan