සටහන – රුවන් නෙළුගොල්ල
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පුහුණු කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාව, පාර්ලිමේන්තු ව්‍යවසාය කාරක සභාව වැනි ආයතන මගින් සිදුකරන පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කරනු ලබන, මෙම අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වෙත රජයේ ආයතන ගණනාවකින් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන නමුත්, විමර්ශන ඒකකයේ සිටින්නේ විමර්ශන නිලධාරීන් 20ක් පමණ සීමිත ප්‍රමාණයක් බව සඳහන්.
තවද මේ වන විට විවිධ රාජ්‍ය ආයතන මගින් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල සහ අධිකාරි මගින් එකී ආයතන වල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා දෙන ලෙසත්, පැමිණිල්ල මෙහෙයවීමේ කටයුතු කර දෙන ලෙසත් ඉල්ලීම් කරන බැවින් දෛනිකව ලැබෙන ඉල්ලීම් සහ පැමිණිලි සංඛ්‍යාව අනුව සෑම රාජ්‍ය ආයතනයකින්ම සිදු කරන ඉල්ලීම් සඳහා විමර්ශන සිදු කිරීමට මෙම අංශය සතුව පවතින ධාරිතාව ප්‍රමාණවත් නොවේ.
එබැවින්, මෙම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත එක් එක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා මණ්ඩල අතරින් අයදුම්පත් කැදවීමකින් නිලධාරීන් තෝරාගෙන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට අනුයුක්තව වෙනත් ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත, මූලික විමර්ශන නිලධාරීන්ගේ හා පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයක් පිහිටුවීමට වත්මන් රජයේ අවධානය යොමුවී තිබිණි.
එහි මූලික අරමුණු 02 වූයේ එම නිලධාරීන් සේවය කරනු ලබන සේවා ස්ථාන සඳහා මනා පුහුණුවකින් යුත් විමර්ශන නිලධාරීන් පිරිසක් ඇති කිරීමත්, බාහිර ආයතන වෙතින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට යොමු කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම නිලධාරීන් නම්කර යොමු කිරීමත්ය.
ඒ අනුව මේ සඳහා කැඳවන ලද අයදුම්පත් අතරින් තෝරාගන්නා ලද නිලධාරීන් 150කගෙන් යුත් සංචිතයක් පිහිටුවා එය අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පල කිරීමට සඳහා ඔවුන් නිලධාරීන් 50 බැගින් වූ කණ්ඩායම් 3ක් ලෙස තෝරාගෙන, එක් කණ්ඩායමකට දින 14ක් වන සේ පුහුණු වැඩසටහන් පැවැත්වීම ආරම්භ කෙරිණි.
එහි පළමු කණ්ඩායම සඳහා පෙබරවාරි 05 වන දින (2026) පුහුණු වැඩසටහන ආරම්භ කළ අතර එම වැඩසටහන සාර්ථකව අවසන් කළ නිලධාරීන් 42ක් සඳහා සහතිකපත් ප්‍රදානෝත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට නිල මැදුරු ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.


