ශ්‍රී ලංකාව: පාදඩ ආඥා පනත අවලංගු විය යුතුයි
මීට වසර 180 කට පමණ පෙර බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් ශ්‍රී ලංකාවට අයාලේ යාමේ සංකල්පය හඳුන්වා දෙන ලදී. ආර්ථික වශයෙන් ආන්තීකරණයට ලක්වූවන්ගේ ජීවන චර්යා සාපරාදීකරණය කිරීම මේ හරහා සිදුවිය: උදාහරණ වශයෙන් සිඟමන් යෙදීම, ශාරීරික අපහසුතා තිබීම, රෝගයක් ව්‍යාප්ත කිරීම සහ නිවසක් නොමැතිකම මේ අතර විය. මෙම චර්යා එවකට පැවති බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන්ට පටහැනි බවට විශ්වාස කෙරිනි.
යටත්විජිත පාලන සමය තුළ පාදඩ නීති බලාත්මක කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම දැඩි ශ්‍රමයක් යටතේ (විශේෂයෙන්ම වතුවල) සේවය කර පළාගොස් අවතැන් වූ සහ එම හේතුව නිසාම රජය ඉදිරියේ ප්‍රයෝජනයක් නොමැත්තේ යැයි සැලකූ පුද්ගලයන් වැටලීම සඳහායි.
මෙම නීති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් සහතික කර ඇති මානව හිමිකම්වලට පටහැනිය. මෙම නීති වල භාවිතය අත්තනෝමතික, වෙනස්කොට සැලකීම් සහ අපයෝජනයන්ගෙන් පිරී තිබේ.
නූතන සමාජය තුළ කිසිඳු පිළිගැනීමක් නොමැති යටත්විජිත සමයේ වටිනාකම් ඇතුළත් ශ්‍රී ලංකාවේ පාදඩ නීතිය 1841 වර්ෂයේ සිට සාපේක්ෂව එකඳු හෝ වෙනස්වීමකට ලක්නොවී එලෙසම පවතී. ඉකුත් දිනෙක, ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා පනත (Vagrants Ordinance) අවලංගු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් ජාත්‍යන්තර නීති විශාරදයන්ගේ කොමිසම (International Commission of Jurists – ICJ) විසින් නෛතික වාර්තාවක්[1] එළිදක්වන ලදී. නීතිය තුළ අවධානය යොමුකළ යුතු ප්‍රදේශ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා නීතිය යොදාගන්නා අන්දම පිළිබඳව මෙම වාර්තාවෙන් හඳුනාගෙන ඇත.
‘කලහකාරී ලෙස හෝ අනිසි ලෙස හැසිරීම’ (riotous and disorderly manner), ‘ඉබාගාතේ යාම’ (wandering), ‘කම්මැලි ලෙස හැසිරීම’ (idling), ‘වංචනික හෝ ප්‍රයෝගකාරී ලෙස පුණ්‍යාධාර එකතු කිරීම’ (gather or collector of arms under false pretense), ‘තුවාල, ලාදුරු, අංගවිකල හෝ වෙනත් රෝගයක් පෙන්වමින් සිඟමනේ යදින්නන්’ (endeavoring by the exposure of wounds, deformities, leprosy or loathsome disease), හා ‘අවකල් ක්‍රියාවන්හි යෙදීම හෝ ඊට පෙළඹවීම’ (soliciting, or acts of indecency) වැනි සමාජ චර්යාවන් වලට දඬුවම් පමුණවමින් “ශිෂ්ටභාවය” (decency) නියාමනය කිරීම සඳහා මෙම ආඥා පනත නීතියක් ලෙස යොදාගැනෙයි. මෙවන් ක්‍රියාවන්හි යෙදුන පුද්ගලයන් ‘තක්කඩියන්’ (rogues), ‘ඉබාගාතේ යන්නන්’ (vagabonds) හෝ ‘හික්මවිය නොහැකි තක්කඩියන්’ (incorrigible rogues) ලෙස නම්කෙරේ. ‘හික්මවිය නොහැකි තක්කඩියන්’ ඔවුන් කළේ යැයි කියන ‘අපරාධය’ සඳහා වරදකරුවන් වනවා පමණක් නොව, සිය අනාගත යහපත් කල්ක්‍රියාව සහතික කිරීම සඳහා නිදහස ලැබීමෙන් වසරක කාලයකට යටත්ව මූල්‍යමය ආරක්ෂාවක් ද ප්‍රදර්ශනය කළ යුතු ය.
සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් පමණක් නොව පොදු ස්ථානයක අත් අල්ලාගෙන සිටීම මත පමණක් ම ‘අපරාධයක්’ සිදුකළේ යැයි චෝදනා ලබන යුවළයන් පවා අත්අඩංගුවට ගැනීමට මෙම නීතිය යොදාගැනෙන්නේ, දැනටමත් එහි අන්තර්ගත නින්දා සහගත අරමුණු අභිබවා යමිනි. මෙවන් අත්අඩංගුවට ගැනීම් නිත්‍ය පිළිවෙතක් ලෙස අනුගමනය කරමින් මෙම නීතිය අවභාවිතා වන අයුරු පිළිබඳව පුවත් වාර්තා පෙන්වා දෙයි.
රජයේ බලධාරීන් ගෙන් විශේෂයෙන්ම පොලීසිය, මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහි අන්තර්ගත නෛතික ප්‍රතිපාදන වරදවා වටහාගන්නා අතර, හුදෙක්ම සදාචාරාත්මක කරුණු මත පදනම්ව ක්‍රියා කරයි. ඉහත සඳහන් කළ කිසිවක් ශ්‍රී ලංකා නීතිය යටතේ සැබෑ ‘අපරාධයන්’ නොවේ. යතාර්ථය සඳහන් කරන්නේ නම්, අධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ, ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ ඈ “පොදු මාවතක හෝ මහාමාර්ගයක කලහකාරී හෝ අනිසි ලෙස හැසිරෙන්නේ” නම් පමණක් මිස වාණිජ ලිංගික වෘත්තියේ නියැලීම යන ක්‍රියාව මත නොවන බවයි. ශ්‍රී ලංකා පොලීසිය විසින් “ලිංගික වෘත්තියේ නියැලෙන කාන්තාවන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම, ඔවුන් සතුව කොන්ඩම තිබීම ලිංගික වෘත්තියේ නියැලෙන බවට සාක්ෂියක් ලෙස සැලකීම සහ මෙම කාන්තාවන් හිංසනයට, ලිංගික අල්ලසට හා කප්පම් ගැනීමට භාජනය කිරීමට” පාදඩ ආඥා පනත භාවිතා කිරීම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (UN Committee on the Elimination of Violence against Women) විසින් ඉකුත් 2017 වර්ෂයේදී හෙළා දැක තිබේ.
මෙම අඥා පනතට අනුව, වැරදිකාරියන් වන කාන්තාවන් අධිකරණයේ අභිමතය පරිදි ඕනෑම සිර දඬුවමක් වෙනුවට 1907 අංක 05 දරන රැඳවුම් නිවාස ආඥා පනත (Houses of Detention Ordinance No. 5 of 1907) යටතේ පිහිටුවන ලද රැඳවුම් නිවාසයකට යැවිය හැකිය. මෙම නීතියේ භාවිතය මත, මහේස්ත්‍රාත්වරයකු විසින් නියම කළ පරිදි වැරදිකාරියන් වූ කාන්තාවන් රජය මඟින් පවත්වාගෙන යන එකම රැඳවුම් නිවාසය වන මෙත්සෙවන රැඳවුම් නිවාසයට යවනු ලබයි. වසර ගණනාවක් මුළුල්ලේ කිසිඳු නීත්‍යානුකූල නියෝජනයක් හෝ නිදහස් වී යාමට මඟක් නොමැතිව, එහි තිබෙන බන්ධනාගාරයක් බඳු පරිසරය තුළ මෙම කාන්තාවෝ ලැගුම්ගෙන සිටිති. අත්තනෝමතික රඳවා තබාගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (UN Working Group on Arbitrary Detention) විසින් මතුකළ එක් සිදුවීමක දී අනාවරණය වූයේ, අදාළ කාන්තාව 1975 වර්ෂයේ සිට මෙසේ රැඳවුම් භාරයේ සිට ඇති බවයි. නීතියේ අත්තනෝමතික හා වෙනස්කොට සැලකීමේ භාවිතය සහ අපරාධවල පවතින යල්පැන ගිය ස්වභාවය නිසා මෙම ආඥා පනත අවලංගු කිරීමේ අවශ්‍යතාව අන්කවරදාකටත් වඩා දැන් මතුව තිබේ.
ශ්‍රී ලංකාව, ලොව පවතින බොහෝ ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම් සහ ඒවාහි ව්‍යවස්ථාවන් හි සාමාජිකත්වය දරන රාජ්‍යයකි. මෙම සියලු ගිවිසුම් අපේක්ෂා කරන්නේ, මානව හිමිකම් නීතිය ක්‍රියාත්මක කිරීමේදී තම සාමාජිකත්වය දරන රාජ්‍යයන් වෙනස්කොට සැලකීම් සිදු නොකිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බවයි. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (Committee on Economic, Social and Cultural Rights) සහ නිවාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු (UN Special Rapporteur on Housing) විසින් පෙන්වා දී ඇත්තේ, නිවසක් නොමැතිකම සාපරාධීකරණය කිරීම රාජ්‍යයේ මානව හිමිකම් බැඳීම් සමඟ නොගැළපෙන බවයි. එසේ කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් වලින් ආරක්ෂා කිරීමට අදාළව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Covenant on Civil and Political Rights) යටතේ රාජ්‍යයකට පැවරෙන වගකීම ද උල්ලංඝනය කිරීමකි. දුප්පත් පුද්ගලයන් සහ ආන්තීකරණයට ලක්වන පුද්ගලයන් ඉලක්ක කරන පාදඩ නීති මෙම ආරක්ෂාව උල්ලංඝනය කරන බව මානව හිමිකම් කමිටුව ද තහවුරු කර ඇත.
මෙම නීතියේ ප්‍රතිපාදන, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සමානාත්මතාවය, වධහිංසාවෙන් හෝ කුරිරු, අමානුෂික සහ අවමන්සහගත සැලකිලි වලින් නිදහස් වීම සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ දඬුවම්වලින් නිදහස් වීම ට අදාළ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරයි. අවාසනාවකට, දැනට පවතින සියලුම ලිඛිත සහ ලිඛිත-නොවන නීතිවල අඛණ්ඩ වලංගුභාවය සහ ක්‍රියාත්මක වීම, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සමඟ ඇති නොගැළපීම නොතකා තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය නිසා පාදඩ ආඥා පනත දිගටම ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී තිබේ.
මෙම යල්පැන ගිය යටත්විජිත නීතිය අවලංගු කිරීමට පාර්ලිමේන්තුව වහා කටයුතු කළ යුතුය. එමෙන්ම අවශ්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) හෝ නීතියේ බැහැර නොකොට තබාගත යුතු යම් කොටසක් පවතී ද, එය නිශ්චිත ව්‍යවස්ථාදායකයකට යටත් කොට සමාලෝචනය කර ප්‍රතිස්ථාපනය කළ යුතුය. ඒ වෙනුවට ගෙන එන ඕනෑම නව නීතියක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් වලට අනුකූල විය යුතුය. මෙම අපැහැදිලි නීතියේ අත්තනෝමතික භාවිතය හේතුවෙන් බොහෝ අහිංසක පුද්ගලයන්, විශේෂයෙන්ම කාන්තාවන් සහ LGBTI ප්‍රජාව දශක ගණනාවක් මුළුල්ලේ දුක් විඳ ඇති අතර, එය අවලංගු කිරීම ඉතා කඩිනමින් සිදුවිය යුතුය.
*ජාත්‍යන්තර නීති විශාරදයන්ගේ කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන් විසින් 2022/03/06 වන දින ද මෝර්නිං පුවත්පතට පළකරන ලද ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයකි.
[1] නීති වාර්තාව: https://www.icj.org/wp-content/uploads/2022/01/Sri-Lanka-Briefing-Paper-A-Colonial-Relic-Long-Overdue-for-Repeal-2021-ENG.pdf