වැඩ වලින් නිහඬ නොවුණු නිහඬ මිනිසා නික්ම යයි

0
12097

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 20, කොළඹ (LNW): වර්ෂය 2012 ය.ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලිය අවස්ථාවේ පැවත්වෙමින් තිබෙන්නේ මීටර් 3000 බාධක දිවීම ඉසව්වයි.රත්නපුර සුමන බාලිකාවේ ක්‍රීඩිකාවක් එහි පදක්කම් ජයග්‍රහණයක් පිණිස දුවමින් සිටින්නීය.


“කවුද මේ ළමයගෙ කෝච්


එසේ අසන්නේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ ය.


“සර් පාලිත කියලා.රත්නපුරේ කෙනෙක්”


පිළිතුර මලල ක්‍රිඩා සංගමයේ නිලධාරීන්ගෙන්ය.ඉනික්බිති අමාත්‍යවරයාගේ ඉල්ලීම ඔහුව දුරකතනයට සම්බන්ධ කර දෙන ලෙසය.ඇමතුම් ගැනීමේ නිමක් නැත.අනෙක් පසින් පිළිතුරුක් නැත.මම ද පසෙකට ගොස් ඇමතුමක් ගතිමි.එහා පැත්තෙන් පිළිතුරු ලැබිණ.
සර් කෙල්ල (චාමිකා ජයමිණි) දුවනවා හොඳට
මම පැවසුවෙමි.


ඔව් මං ටීවී එකේ බලාගෙන ඉන්නෙ.
පිළිතුරු එබඳුය.
මිනිස්ටර් පොඩ්ඩක් කතා කරන්න ඕනිලු
දෙවන වර මගේ ඉදිරිපත් කිරීම එසේ විය.
“මොනව කතා කරන්න ද බං.ඔය ළමයට මොනව හරි කරන්න කියපං.ඇන්දාන පැත්තෙ ළමෙක්.ඔය දිවිල්ලෙ තියෙන්නෙ මගේ කතාව තමයි.මං පෝන් එක ගත්තෙ උඹ කතා කරපු හින්ද”
ඇමතුම විසන්ධි විය.යළි ප්‍රතිචාර නැත.දුරකථනයම නිහඬ කර ඇත.
මේ සිදුවීමටම සම්බන්ධ කර හෝ දකුණු ආසියානු තරගාවලියට සම්බන්ධ කර ජනපති මැදුරේ තිබුණු උපහාරයක්ය.වාහනයක අමාරුවෙන් නංවා ගෙන ඒ සඳහා රත්නපුරෙන් පිටත් වූ නඩය කුමන හෝ අවශ්‍යයතාවයකට අතරමඟ වාහනය නවතා ඇත.ඒ ඇසිල්ලේ වාහනයෙන් බැස ගත් ඔහු රත්නපුර පැත්තට එමින් තිබුණ බසයක නැඟී ගෙදර පිටත් වී ඇත.


මේ අපූරු පුද්ගලයාගේ අපූර්වත්වය එබඳුය.බී.ආර්.පාලිත වැදගත් වන්නේ එතැන සිටය.ඔහු නිහඬය.කතා කරන්නේ වචන වෙනුවට වැඩ ය.බොහෝ පුහුණුකරුවන් කුමන හෝ ඉසව්වකට දක්ෂය.ඒත් පාලිතයන් සමස්ත මලල ක්‍රීඩාවටම හපන්ය.ඔහු ළඟ පැනීම් සූරයෝ ඇත.ධාවන සූරයෝ ඇත.විසිකිරීම් ඉසව්වලද එබඳුය.
එහෙත් කිසිදාක කිසිම ජාත්‍යන්තර තරගයකට සිය ක්‍රිඩකයින් සමඟ යාමට ඔහු උනන්දු නොවීය.එසේ ඉල්ලා සිටින්නේ ද නැත.තරගයකට සහභාගි වන ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට අතර මැද කෑ ගැසීම ද කරන්නේ නැත.


කරන්න ඕනි දේ කියා දීලනෙ ඇරලා තියෙන්නෙ.
එසේ නොකිරීමට හේතුව ඔහු පහදන්නේ ය.මලල ක්‍රීඩාවට පමණක් නොව වොලිබෝල් ක්‍රීඩාවේ ද පාලිතයන් හපනෙක්ය.මෑත කාලයේ ශ්‍රී ලංකාවේ දුටු විශිෂ්ඨතම වොලිබෝල් ක්‍රීඩිකාවක් වන ලීනා සඳමාලි සෝමරත්න වැනි ක්‍රීඩිකාවන් නිර්මාණය වන්නේ පාලිතයන්ගේ සෙවණේය.එසේම විශාල කතා බහකට ලක් වූ රක්වානේ වොලිබෝල් හාමුදුරුවෝ ද බී.ආර්.පාලිත හා සමකාලීන වුව ද,බොහෝ දේ ක්‍රීඩාව ගැන ඉගෙන ඇත්තේ පාලිතයන්ගෙන් ය.


රත්නපුර සහ ක්‍රිඩාව සමඟ ඈදෙන පරම්පරා ගණනක බැදීම බී.ආර්.පාලිතයන් ය.රත්නපුර සීවලිය,ඇලෝසියස්,සුමන බාලිකාව සහ ෆර්ගසන් උසස් බාලිකාව ප්‍රමුඛ කර ගත් පාසල්වල පරම්පරා ගණනක ක්‍රීඩාවේ මුල් ගුරුතුමා පාලිතයන්ය.දෙගම්බඩ,ජාලිය යසරත්න,ඉන්දික චාමින්ද විතානගේ,පද්මා නන්දනී,සම්පත් මුණසිංහ,මේනකා නිල්මිණි කළුපහන,ලක්ෂිකා මධුවන්ති.ඉෂාලි චන්ද්‍රසේකර ලෙස මලල ක්‍රිඩා නම් පෙළ දිගට ලියන්නට ගියොත් මේ සටහන නිම කරන්නට වසරක් පමණ ගත වෙනු ඇත.එතරම්ම ප්‍රමාණයක් ඔහු යටතේ මලල ක්‍රීඩාවේ නියැලිණි.එසේම ජාතික වාර්තා,සමස්ත ලංකා පාසල් වාර්තා ප්‍රමාණය ද අති විශාලය.එසේම ඒ ක්‍රීඩා කළ බොහෝ දෙනා හොඳින් අධ්‍යාපනය ද හමාර කර හොඳ රැකියාවලටද යොමු වි ඇති අතර අති විශාල පිරිසක් ශාරිරික අභ්‍යාස ගුරුවරු සහ ක්‍රීඩා නිලධාරීන් හැටියට සේවය කරන්නේය.


පාලිත හඩක් නොනැඟූ මිනිසෙකි.ඔහු අතිශයින් දරුණු විදිහට නිහඬය.එහි ඇති කළකිරිම් බොහෝ ය.කතා කර පලක් නැති බව දැන නිහඬවීමක් නිසා ඒ නිහඬ බව සංවේගජනකය.ඔහු ගැන කතා කරන්නට එහෙත් බොහෝ දේ තිබිණි.ඒ තරමට ජවන හා පිටිය දෙවනත් කර හඬක් බවට පත් වෙන මිනිසුන් ඔහු අතින් තැණින.මිය යන තෙක්ම අලුත් වීම ගැන ඔහුට තිබුණේ පුදුම උනන්දුවක්ය.


“මට උඹට කතා කරන්න ඕනිකම තිබුණා පහුගිය දවස් ටිකේම.පුළුවන්නම් මේනකා එක්ක ඉන්ටවීව් එකක් කරපං.ඒකී දන්න දේවල්වලින් අපේ උන් හරියට වැඩක් ගත්තෙ නැහැ.ක්‍රීඩාව ගැන ආචාර්ය උපාධියක් තියෙන ස්කෝලෙන් හදපු හොඳම එකී ආවම ස්කෝලෙන් සාරියක් නැතුව ඇතුළට එන්න දෙන්න බැහැ කියලා තියෙනවා.මුං කොහාටද බං මේ යන්නෙ.?”


වරක් ඇමතුමක් ගත් පාලිතයන් එසේ කීවේය.


පැණුමට වීසි කෙරුමට දිවුමටය කියා
වෙන් කර ගන්න බැරි හපනෙක් වේය මෙයා
තුන් ඉරියව්වෙ දක්ෂයො සිහසුනේ තියා
කළ සේවයට බැති පෙම් කවි පුදමි දයා

පද්මා කවපෙත්ත ඉන්දික දුර පැණුම
තමරා සත් ප්‍රයාමෙන් ගත හැටි දිණුම
ජාතික වාර්තා කණිෂ්ඨ දිග හැරුම
වෙනමම වාර්තාවකි පාලිත විකුම

මා විසින් රචිත ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩාව සම්බන්ධ කාව්‍ය ග්‍රන්ථය ස්පෝර්ට්ස් කවි ගැනත්,එහි ඔහුට ද ඉඩක් වෙන් වී ඇති බවත් කී විට එම අවස්ථාවට ඒම සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නැති බව පවසා ලියපු කවි ටික කියන්න පුළුවන්දැයි විමසා සිටියේය.මා එවිට ඉහත කවී කී විට ඔහු දැඬිව නිහඬ විය.


මට ලැබුණු හොඳම ඇගයීම බං.මගෙ එක එක ජාතියෙ උන් ඉන්නවා.ලියන්නෙක් ඉන්නෙ උඹ විතරයි.
ඒ වචන මට ද ජීවිතයේ ලැබුණු හොඳම ඇගයීමක්ය.ක්‍රීඩාවේ අති දක්ෂයන් සිටිය අපේ කාලයේ මා ලොකු දේවල් කළ අයෙක් නොවිණි.එහෙත් ඔහු හා සංවාදයෙන් බොහෝ දේ ඉගෙන ගන්නට ලැබිණි.ඒවා ක්‍රීඩා ලේඛකයෙක් ලෙස අදටත් භාවිතාවේදී වැදගත්ය.අලුත් යමක් කොහෙන් හෝ ලැබුණු විට සර් මෙහෙම දෙයක් දැක්ක ද ඇසූ විට ඒ සියල්ල ප්‍රශ්න කරමින් අසා සිටීම ඔහුගේ සිරිතය.


මා රිද්මය සම්බන්ධයෙන් විවිධ වෘත්තිකයන් මෙන්ම ක්‍රිඩාවන් කෙරෙහි ද කරන වැඩ සටහන ජාතික නෙට්බෝල් කණ්ඩායමට කරන්නට පෙර දින ඔහුට ඒ බව කීවෙමි.ඔහු සමහර තැන්වලදී මගේ අදහස වඩාත් විද්‍යාත්මක වන ආකාරය පහදා දුන්නේය.


“මං හැම දේකින්ම අයින් වෙලා ඉන්නෙ.ලොකු කළකිරීමක් තියෙනවා.මේක කොහෙ කරත් උඹට රත්නපුරෙන් නම් කරන්න එන්න කියන්නෙ නැහැ.ඒ තමයි රත්නපුර.”


සර් කතා කිරීමට අමිහරි දේවල් ඉතා කෙටියෙන් බරට කියා දමන්නට දක්ෂය.කිසිවෙකු හෝ ඉදිරියේ නොනැමුණු ඔහුගේ සෘජු බව මෙන්ම මිනිසුන් කෙරෙහි වූ මෘදු බව ද හැකියාවෙන් ලැබෙන ජයග්‍රහණ ඉදිරියේ පල බර අත්තක් සේ නැමෙමින් නිහතමානීව හැසිරුණු සරල ගති ගුණය ද ජීවිතයේ අපට පාර පෙන්නපු අරුන්දතී තරුව ය.ඒ මතක,උපදෙස් ඔහුගේ ජීවිතය නිමා වුණ ද ජිවත් වෙන්නන්ට ජීවත්වෙන්නට ආලෝකය සපයනු ඇත.


සර් මගේ ආචාරය පිළිගන්න.
නිවන හෝ ස්වර්ගය ගැන විශ්වාසය නොතබන මට කිව හැක්කේ එපමණි.ඔබ සදාකල් පවතින නමකි,මතකයකි.