එක පැත්තකින් බඩුමිල අසීමිත ලෙස ඉහළ යාම. තවත් පැත්තකින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් යනාදී ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. මේ සියල්ල නිසා ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. මේක එන්න එන්නම දරාගැනීමේ සීමාවක් කරා ළං වෙමින් තියෙනවා.
පසුගිය සති කිහිපයක් තිස්සේම ජනතාව මේ පීඩනය සම්බන්ධයෙන් රජයට එරෙහිව විවිධාකාර විරෝධතා පළ කරමින් ඉන්නවා. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.
කෙසේවෙතත් මේ විරෝධතා දුරදිග යන සිද්ධි කිහිපයකුත් පසුගිය දින කිහිපයේ වාර්තා වෙලා තිබුණා. ඒක නම් හොඳ තත්වයක් නෙවෙයි. ඒකෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ව මානසික ආතතියක් දක්වා තල්ලු කරමින් තිබෙන බවක්.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ ප්‍රශ්න ගැන බොහෝම සැහැල්ලුවෙන් කතා කිරීමත් මේ තත්වය උඝ්ර කරන්න හේතුවෙලා තියෙනවා. “දැන් ඔක්කොම හරි, ඔක්කොම ප්‍රශ්න විසඳලා තියෙන්නෙ. තව දවස් දෙක තුනකින් පෝලිම් ඉවරයි, කොහෙද පෝලිම් තියෙන්නෙ, මං දැක්කෙ නෑනෙ ?” වගේ කතා කියනකොට ජනතාවට කේන්ති යනවා. ජනතාව ඉන්නෙ ගිනි අඟුරු ගොඩක් උඩ.
ඒ වගේම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයත් ආණ්ඩුව තුළම ඉන්න විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් වගේ අයත් මේ ගිනි අඟුරු ගොඩට පිදුරු වීසි කරන දේශපාලනයක නිරත වෙලා ඉන්නවා කියන එකත් බොරුවක් නෙවෙයි.
දේශපාලන පක්ෂ හදාගන්නෙම බලය අරමුණු කරගෙන. මේ වගේ අර්බුදයක් කියන්නෙ බලයට කෙටි පාරක් හැටියට තමයි සාමාන්‍යයෙන් විපක්ෂයක් දකින්නෙ. නමුත් අර්බුදයේ ස්වභාවය ගැන හරි අවබෝධයක් නැතිව ගින්දර එක්ක සෙල්ලම් කරන්න හදනවා නම් ඒක බොහෝම භයානක වෙන්න පුළුවන්.
මේ අතරේම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය බැලුවොත් ඔවුන් මේ අර්බුදය තමන්ගේ ජනප්‍රියත්වය වර්ධනය කරගන්න පාවිච්චි කරමින් ඉන්න බව පැහැදිලියි. පෝලිම්වල කෝපයෙන් ඉන්න ජනතාව ළඟට ගිහින් මයික් අල්ලන එක තමයි අද දවසේ එකම මාධ්‍යකරණය කියලා වගේ තමයි ඔවුන් හැසිරීමෙන් පෙන්නුම් කරමින් ඉන්නෙ. සමාජ මාධ්‍යවල ඉන්න මධ්‍යම පාන්තික මහත්තුරු නෝනලාත් මුලදී මේ අර්බුදයෙන් ආතල් ගනිමින් හිටියා, දැන් ඔවුනුත් ජනතාවගේ කෝපයට පෙට්‍රල් ඉහින තත්වයක් තමයි දකින්න ලැබෙන්නෙ.
ඇත්තටම මේ මාධ්‍ය ආයතනවල ඉහළ නිලධාරීනුත්, ෆේස්බුක් ඔස්සේ කෝපය වපුරන බහුතරයක් මධ්‍යම පාන්තිකයිනුත් සාමාන්‍ය ජනතාවගේ මට්ටමින් මේ ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙලා නෑ. ඔවුන්ට බොහෝවිට තියෙන ප්‍රශ්නේ තමන්ගෙ ඉහළ වැටුප මේ බඩුමිල හමුවේ ප්‍රමාණවත් නොවීම නෙවෙයි, වැඩිමිලට හෝ මිලදී ගන්න තමන්ගෙ සුපුරුදු ආනයනික භාණ්ඩ නොමැති වීම. ඔවුන් කීයටවත් පාරට බැහැලා ආණ්ඩු පෙරළන්න යන්නෙත් නෑ. යම් ගැටුම්කාරී තත්වයක් මතුවුණොත් ඔවුන් වහාම කරන්නෙ තමන්ගේ සුඛෝපභෝගී වාහනවල නැගලා ගිහින්, අඩි 8 – 10 තාප්ප තියෙන විශාල නිවෙස්වලට වැදිලා ගේට්ටු වහගන්න එකයි. එයාලා ඔය යුනිකෝඩ්වලින් මවන අරගලයට එන්නෙ නෑ. සාමාන්‍ය මිනිස්සුන්ව තමන් වෙනුවෙන් කඩේ යවන්නයි මේ මාධ්‍ය සහ මධ්‍යම පාන්තික නෝනාවරු මහත්වරු උත්හාස ගන්නෙ.
නමුත් මේ කෝපයට පත්වෙලා ඉන්න, ඒ ගිනි අඟුරු උඩට පෙට්‍රල් වත්කිරීමෙන් ඇවිළෙන මට්ටමට ඇවිල්ලා ඉන්න ජනතාව අසංවිධානාත්මක විදියට පාරට බහින්න පටන් ගත්තොත් ඒකෙ කෙළවර හිතාගන්න බැරි තරම් භයානක වෙන්න පුළුවන්. ඔවුන්ගේ කෝපය කොයි පැත්තට එල්ල වෙයිද දන්නෙත් නෑ, ඒක කොතනින් නතරවෙයිද දන්නෙත් නෑ. ඒක පාලකයින් එළවා දැමීමකට වඩා තම තමන්ගේ අල්ලපු ගෙදර කෙනා එක්ක ගහමරාගැනිල්ලක්, හන්දියේ කඩටික කඩලා බඩුමුට්ටු කොල්ලකෑමක් දක්වා තල්ලු වෙන්න තියෙන ඉඩ වැඩියි.
මේවාට උසිගන්වපු මහත්තුරු, නෝනලා ඒ වෙද්දී ආයෙත් මේ ජනතාවටම බැන බැන ඉඳීවි. එහෙමත් නැත්නම් රටේ තත්වය නරකයි කියලා යුරෝපීය රටක සරණාගත වීසා ඉල්ලයි. නමුත් ප්‍රශ්නයට මැදිවෙච්ච සාමාන්‍ය ජනතාවට යන්න තැනක් නෑ, ඔවුන්ට තමන්ගෙ ජීවිත වුණත් නැතිවෙන්න පුළුවන්.
අන්න ඒ නිසා ; මේ වෙලාවෙ ආණ්ඩුවට විරෝධය පාන්නත් ඕනෙ. ඒක අනිවාර්යයයි. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය කියන සීමාවේම තියාගමු. ඊට එහා වැට පනින්න උසිගන්වන අයගෙනුත් පරෙස්සම් වෙමු. මේ වගේ අවදානම් මොහොතක “වීරක්‍රියා” හැටියට උස්සලා පෙන්වන බොහෝ දේවල් වීරක්‍රියා නෙවෙයි. එක්කෝ ඒවා තේරුමක් නැති වැඩ, ඊටත් එහා ගියොත් ඒවා මෝඩ වැඩ වෙන්නත් පුළුවන්.
ප්‍රජාතන්ත්‍රවාදය කන්නවත්, ලිපට දාලා පත්තු කරන්නවත් බැරි බව ඇත්ත. නමුත් ඒකෙන් අනවශ්‍ය ජීවිත හානි අවම කරගන්න පුළුවන් ….
නැවත නැවතත් කියන්නෙ, අපි ඉන්නෙ ගිනි අඟුරු ගොඩක් උඩ, කවුරු කවුරුත් පරෙස්සමින්.
විශේෂයෙන්ම “මීට වඩා නරක් වෙන්න දෙයක් නෑනෙ” කියන අයගෙන් පරෙස්සම් වෙන්න. මොකද, ඉතිහාසය අනුව අපි දන්නවා, මීට වඩා බොහෝ නරක් වෙන්න පුළුවන් තත්වයන් තියෙනවා. ඒ නිසා පරෙස්සමින් !
- දර්ශන වීරසිංහ