පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.
මෙය තම තමන්ගේ පාක්ෂිකයින් පිනවීම වෙනුවෙන් සහ ළඟ ළඟ බලය ඩැහැ ගැනීමක් සඳහා ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි පියවරක් විය හැකි වුවත් රටක් වශයෙන් මේ මොහොතේ මුහුණ පා සිටින තත්වයේදී “යහපත් ක්‍රියාවක්” වශයෙන් සැලකිය නොහැකි බව අපේ හැඟීමයි.
විශේෂයෙන්ම ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීමේ සැබෑ තත්වය තවමත් වෙළඳපොලේ පෙන්නුම් කෙරෙන්නේ නැත. ඩොලරයේ අගය ඉහළ යාම තවත් නතර වී නොමැති වීම මෙන්ම කලකට ඉහත ගෙන්වූ භාණ්ඩ තොග තවමත් වෙළඳපොලෙහි පැවතීම අනුව මේ අර්බුදයේ සැබෑ තත්වය ජනතාවගේ කර මත පැටවෙන්නට තවත් සති කිහිපයක් යනු ඇත. ඒ මොහොත වනවිට ජනතාව මොනයම් ක්‍රියාමාර්ගවලට යනු ඇත්දැයි පුරෝකථනය කිරීමට සැබැවින්ම අපහසුය.
විපක්ෂය උත්සාහ කරන්නේ මේ අර්බුදය මධ්‍යයේ ගොඩනැගෙන ආණ්ඩු විරෝධය මතින් බලය අල්ලා ගැනීමට බව පැහැදිලිය. එය පවා සංකීර්ණ තත්වයක් වන්නේ ජනතාව සිටින්නේ තමන්ට බලය ලබාදීමට ඇඟිලි ගනිමින් බව සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් එකහෙළාම ප්‍රකාශ කිරීම තුළය. විපක්ෂයක් වශයෙන් එක්ව සටන් කිරීම එම දෙපාර්ශ්වයම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ තම තමන්ට තනි බලයක්ම ලැබිය යුතු බවකි.
ඒ අනුව ඔවුන්ගේ සටන් පාඨ වී ඇත්තේ “ජනාධිපති ගෙදර යනු !” “ආණ්ඩුව ඉවත් වෙනු !” වැනි ඒවාය. එවැනි සටන් පාඨ වැරදි යැයි කියන්නට අපට නොහැකි අතර එවන් සටන් පාඨ ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අයිතියක් ද වෙයි.
එසේ නමුත් අර්බුදය විසඳීමට යම් ප්‍රවේශයක් ලබාගැනීම සඳහා ආණ්ඩුව විවෘත කරන දොරටුවක් වේ නම් ඊට පයින් ගැසීමත් සුදුසු පියවරක් නොවේ. මන්දයත් ආණ්ඩුව සද්භාවයෙන් හෝ එසේ නොමැතිව හෝ මේ කරන ආරාධනය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වන බැවිනි. සර්ව පාක්ෂික සමුළුවක් යනු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක වඩාත් දියුණු ක්‍රමවේදයකි. රටක් දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ පා සිටින මොහොතක පක්ෂ භේදයකින් තොරව දේශපාලනඥයින් එක්වී තම තමන්ගේ විසඳුම්, යෝජනා, උපක්‍රම, වැඩසටහන් ඉදිරිපත් කර ඒවා සම්බන්ධයෙන් අවම හෝ එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම සර්ව පාක්ෂික සමුළුවකින් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගමන් කළයුතු වන්නේ දුෂ්කර මාර්ගයක බව පොදුවේ සියල්ලන්ම පිළිගන්නේ නම් ( විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියත් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබිණි) කළයුතු හොඳම දෙය වන්නේ ආණ්ඩු මාරුවකට පෙරම එකී දුෂ්කර මාවත ගැන පොදු එකඟතාවකට පැමිණ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කිරීමයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ කිසියම් විපක්ෂ කණ්ඩායමක් හෙට දවසේ ආණ්ඩු බලය ලබාගත්තත් ඔවුන් දුෂ්කර මාර්ගයට අවතීරණ වන විටම වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් සහ විපක්ෂයේ අනෙක් කොටස් එකමුතුව ඔවුන්වත් පැන්නීම සඳහා ජනතාව මෙහයවීමය. එය බරපතළ දේශපාලන අස්ථාවරභාවයකටත් ඒ තුළින් වත්මන් අර්බුදය වඩවඩාත් තීව්‍ර කිරීමකටත් මෙන්ම අරාජික තත්වයකටත් මඟ කපනු ඇත. එහි ප්‍රතිඵලය නොඅනුමානවම භයානක එකක් වනු නියතය.
අනෙක් අතට ආණ්ඩුව පැන්නීමට හදිසිය තිබුණ ද වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුම් තමන් ළඟ ඇති බව කියනවා විනා නිශ්චිතව ඒ විසඳුම් මොනවාදැයි සංඛ්‍යා දත්ත සහිතව කිසිදු පක්ෂයක් කියන්නේ නැත. මේ මොහොතේදී “දේශීය ආර්ථිකය දියුණු කරනවා, අපනයන ආදායම් වැඩිකරනවා, ජාත්‍යන්තර සහාය ගන්නවා” වැනි හුදෙක් ෆ්ලැට් තියරි කතාවලින් කාටවත් වැඩක් නැත. ඒවා එක් එක් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල සටහන් කිරීමේදී ආකර්ෂණීය වියහැකි නමුත් දැන් රටට අවශ්‍ය වී ඇත්තේ “අහවල් භාණ්ඩ නිෂ්පාදනය මේ දක්වා වැඩිකරනවා, ඊට ආයෝජන මේ මේ රටවලින් ගේනවා, ඊට වෙළඳපොල මේ මේ රටවලින් හොයාගන්නවා, මේ මේ රටවල මේ මේ වෘත්තීන් සඳහා ශ්‍රමිකයින් මෙතරම් සංඛ්‍යාවක් යවනවා, ඊට අදාළ පුහුණුව මාස අහවල් ගණනක් තුළ ලබාදෙනවා, ඒ වෙනුවෙන් මුදල් මේ ක්‍රමයට සොයාගන්නවා” යනාදී වශයෙන් වන නිශ්චිත වැඩසටහන් ය. ඒවාත් හුදෙක් දේශපාලන සුරංගනා කතා වශයෙන් නොව සංඛ්‍යා දත්ත සමග ඉදිරිපත් කිරීම අනිවාර්යය.
සර්ව පාක්ෂික සමුළුවක් යනු විපක්ෂයකට තම තමන්ගේ මෙවැනි වැඩපිළිවෙලක් ජනගත කිරීම සඳහා ඉතාම හොඳ වේදිකාවකි. විපක්ෂයේ පක්ෂ තම තමන්ගේ නිශ්චිත වැඩසටහන් සර්ව පාක්ෂික සමුළුවක් හමුවේ තැබූ විට මීළඟ මැතිවරණයකදී තමන් තෝරාගත යුත්තේ කාවද යන්න තීරණය කිරීමට ජනතාවට හොඳ අවස්ථාවක් නිර්මාණය වේ. එමෙන්ම එම යෝජනාවලින් කොටසක් හෝ ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට බලකිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන අතර එයත් නොකරන්නේ නම් එහි සම්පූර්ණ වගකීම සෘජුවම භාරගැනීමට ආණ්ඩුවටත් සිදුවේ.
එවන් අවස්ථාවක් ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකට නිකම්ම ඉල්ලා අස්වෙන්නැයි කීමත් 69 ලක්ෂයක ජන වරමකින් බලයට පැමිණි ජනාධිපතිවරයෙකුට නිකම්ම ඒ බලය අතහැර ගෙදර යන්නැයි කීමත් හුදෙක් අර්බුදය තීව්‍ර කරවනවා විනා ඊට විසඳුම් සොයන ප්‍රවේශයක් වන්නේ නැත. අනෙක් අතට තමන් කවරාකාරයකින් හෝ බලයට පැමිණියත් එදාටත් ජනතාව තමන්ටත් මේ ආකාරයෙන්ම සලකන බවත් ඔවුන් අමතක කළයුතු නැත.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩාවට පත්වීම නතරකර, රට ආපසු මීට වසර දෙකකට පෙර පැවති තත්වයක් ආසන්නයට හෝ ගෙන ඒමට නම් කවරෙකු හෝ වේවා ඇමරිකානු ඩොලර් බිලියන 10ක්වත් එකවැර මේ රටට පොම්ප කළ යුතුව ඇත. විපක්ෂයේ කිසිදු බලවේගයකට එවන් ආශ්චර්යයක් සිදුකිරීමට හැකියාවක් ඇතැයි විශ්වාස කිරීම මුලාවකි. එහෙයින් අර්බුදයේ වන්දිය කොහොමත් ගෙවන්නට වන්නේ ජනතාවට ය.
ඒ අනුව ආණ්ඩුවත් විපක්ෂයේ එක් එක් දේශපාලන පක්ෂත් තමතමන්ගේ බල ලෝභයේ දිග පළල පෙන්වමින් ජනතාව තවතවත් පීඩාවේ පතුළටම තල්ලු කරනවාට වඩා තමන්ගේ බල ලෝභය දශමයකින් හෝ අඩු කරගෙන පොදු වැඩපිළිවෙලක් උදෙසා සාකච්ඡාවකට හෝ එකඟ වන්නේ නම් එය රටේ ජනතාවගේ පැත්තෙනුත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙනුත් යහපත් ය. එය අනුගමනය නොකර ජනතාවට කොළේ වසා ගේම් ගසන්නට විපක්ෂයත් උත්සාහ දරනවා නම් ඉදිරි විනාශයන්හි වගකීම ඔවුනුත් භාරගත යුතුව ඇත.
- දර්ශන වීරසිංහ