සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තීරණයක් අනුව කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදීමට කටයුතු ආරම්භ කිරීමේදී කන්තලේ ඉඩම් කාර්යාල නිලධාරීන් සහ ගොවීන් අතර උණුසුම් තත්වයක් පෙරේදා (21) දිනයේදී උද්ගත වී තිබේ.
ඒ, අවුරුදු 20ක පමණ කාලයක සිට තමන් වගා කළ ඉඩම් වෙනත් පිරිසකට ලබාදීමට නිලධාරීන් කටයුතු කරන බවට ගොවීන් පිරිසක් චෝදනා කිරීමත් සමගිනි.
ජනාධිපතිවරයා පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණේ කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදෙනත් එක් අයෙකුට අක්කර 05ට නොවැඩි වන පරිදි ඉඩම් ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ය.
කෙසේවෙතත් මෙම ඉඩම් වී, උඳු, බඩඉරිඟු යන බෝග වගාකිරීම සඳහා ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පසුගිය අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරමින් තිබී ඇත.
මේ අතර ජනාධිපතිවරයාගේ තීරණය අනුව කන්තලේ ඉඩම් කාර්යාල නිලධාරීන් අයදුම්පත් කැඳවා නව ගොවීන් පිරිසකට මෙම ඉඩම් බෙදාදීමට සැලසුම් කර ඇත. එහිදී එක් ගොවියෙකුට අක්කර තුන බැගින් ලැබෙන පරිදි ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඊට අදාළව ඉඩම් කට්ටි කිරීම පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳව දැනගැනීමට ලැබීමත් සමග ගොවීන් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ඉඩම් කාර්යාල නිලධාරීන් සහ ගොවීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇත.
තත්වය පාලනය කිරීම සඳහා අග්බෝපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ද කැඳවා ඇති අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.
මෙම ඉඩම් බෙදීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් දින කිහිපයක සිටම කන්තලේ නගරයේ කළු කොඩි ඔසවා තිබෙනු ද දැකගත හැකිවිය.
