සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 24, කොළඹ (LNW): අරුණ දර්ශන සහ කාලිංග කුමාර යන දෙදෙනාම මේ වන විට මීටර් 200 සහ මීටර් 400 ඉසව්වලින් ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනෙන ධාවකයෝ ය.මේ දෙදෙනාගෙන් පරණ කාලිංග ය.තරුණ අරුණ ය.මූලික තරග දෙකක දුවා අරුණ කාලය අනුව ඉදිරියෙන් සිටියත් අවසාන තරගයේ දී එකට හමු වූ විට දිනන්නේ කාලිංගය.
බොහෝ විට මේ පසුබෑම ඇත්තේ අරුණ ගේ පයේ නොවේය.හිතේ විය යුතුය.ඒ නිසා යුද හමුදා රෙජිමේන්තු එකිනෙක ගැටෙන යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ අරුණ දර්ශන මීටර් 200 ජය ගැනීම ඔහු විසින් ඔහු මත පටවාගෙන තිබුණු මහා බරක් පසෙකින් තැබීමය.එය අපූරු විඳිය යුතු ධාවන ගැටුමක්ය.ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කල් පැවති වේගවත්ම මීටර් 200 තරගය එය බවට පත් වෙන්නට බල පෑ ප්‍රධානම කාරණය වූයේ අරුණගේ සහ කාලිංගගේ ධාවනයන්ය.අරුණ එය ජයගත්තේ ද ශ්‍රී ලංකාව තුළ මේ දක්වා වාර්තා වී තිබෙන හොඳම මීටර් 200 තරග නිමා කිරීමේ කාලය ද සමඟය.
අරුණ තරගය ජය ගත්තේ තත්පර 20.45 ක කාලයක් වාර්තා කරමින්ය.කාලිංග තත්පර 20.59 ක් වැය කළ අතර එම වේගය අධාර කරගෙන මොහොමඩ් සෆාන් ද තත්පර 20.96 න් ඉසව්ව නිමාවට පත් කළේය.මේ තත්ත්වය ඉදිරියේදී මේ ඉසව්වේ දී පමණක් නොව මීටර් 400 ඉසව්වේ ද වඩාත් හොඳ කාලයක් වාර්තා කරන්නට හේතු වනු ඇත.වඩා තරුණ අරුණට වඩා අත්දැකීම් සහ උපායශීලී කාලිංග තරගයේදී සිය ප්‍රතිවාදියා මත පීඩනය ගොඩ නඟා ගන්නා සැහැල්ලු තරගකරුවෙක් බැවින් ඉදිරියේ දී අරුණට අභියෝගයක් වීම කාලිංගගෙන් නිරන්තරයෙන් සිඳුවනු ඇත.දැන් අරුණත් ඒ හැඩේට එ්මේ ආරම්භය ලෙස මෙම මීටර් 200 ජයග්‍රහණය හැදින්විය හැකි අතර එය වඩාත් වැදගත් වන්නේ මේ වේගය අන් අයට ද සිය වේගය වර්ධනය කර ගන්නට දෙන රුකුලයි.ඒ නිසා රටේ මෙම ඉසව්වල ගුණාත්මකභාවය ඉහළ යන අතර ඒ සඳහා දක්වන දායකත්වයේ ස්තූතිය අරුණට මෙන්ම කාලිංගට ද අයත් විය යුතුය.
