ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට උපතින් ම හිමිව ඇත්තේ දුඹුරු හෝ කළු පැහැයට හුරු සමකි.
මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අව් රශ්මියට නිරාවරණය වීම තද පැහැති සමක් ලැබීමට හේතුවක් ලෙස දැක්විය හැක.
තමන්ට උපතින් හිමිව ඇති සමෙහි වර්ණය වෙනස් කර ගනිමින් සුදු වීමට මෙන් ම සම පැහැපත් කර ගැනීමට කාන්තා පිරිමි භේදයකින් තොරව අද වන විට බොහෝ දෙනෙකු විවිධ වර්ගයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටිනු දැක ගත හැකි ය.
එම ඉල්ලුමට සරිලන ලෙස දිනෙන් දින ප්‍රමිතිය පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව ආලේපන, දියර, එන්නත් වැනි බොහෝ දෑ වෙළෙඳපොළට නිකුත් වෙමින් පවතී.
බොහෝ තරුණ රූපලාවණ්‍ය ශිල්පීන්, ශිල්පිණියන් මෙන් ම තරුණ, තරුණියන් ද ස්වයං රැකියාවක් ලෙස ද මෙලෙස සම සුදු කරන සහ සම පැහැපත් කරන ආලේපන වැනි දෑ නිවසේ සිට ම නිෂ්පාදනය කර බෙදා හරින වීඩියෝ සහ දැන්වීම් සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඔබ බොහෝ විට දැක ඇත.
එමෙන් ම බොහෝ නළු නිළියෝ, ගායක ගායිකාවෝ පමණක් නොව නිවේදක නිවේදිකාවෝ ද මෙවැනි රූපලාවණ්‍ය ආලේපන වැනි දෑ නිෂ්පාදනය කර බෙදා හැරීම මෙන් ම ඒවා ප්‍රවර්ධනය කිරීමට ද බොහෝ සේ මැදිහත් වී සිටිති.
මෙලෙස ප්‍රමිතියක් ගැන නොසලකමින් නිෂ්පාදනය කෙරෙන රූපලාවණ්‍ය නිෂ්පාදන මෙරට පමණක් නොව විදේශ රටවල සිටින ලාංකිකයන්ට පවා අලෙවි කරනු ලබන වීඩියෝ, ඡායාරූප ආදිය ඒවා අලෙවි කරනු ලබන පිරිස් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
එපමණක් නොව පාරිභෝගිකයින් ප්‍රමිතිය ගැන නොතකමින් එවැනි නිෂ්පාදන භාවිත කර ශරිර සෞඛ්‍යයට හානි කර ගත් අවස්ථා ගැන ද විටින් විට වාර්තා වේ.
ශරිරයේ විශාලතම අවයවය වන සම පිළිබඳව නොසැකිලිමත් ලෙස කටයුතු කිරිම අනාගතයේ විශාල සෞඛ්‍ය අවදානමකට අත වැනීමක් වීමේ සම්භාවිතාව ඉතාමත් වැඩි බව විශේෂඥ මතය යි.
‘රූපලාවණ්‍ය ද්‍රව්‍ය නියාමනය අනිවාර්ය නැහැ’
මෙලෙස ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු නොකර සකසනු ලබන නිෂ්පාදන භාවිතයෙන් ඇති විය හැකි අන්තරායකර තත්ත්වයන් සම්බන්ධව මෙන් ම එවැනි නිෂ්පාදන තෝරා ගැනිමේදී සැලකිලමත් විය යුතු කරුණු ගැන බීබීසි සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.
“පොදුවේ ලංකාවේ රූපලාවණ්‍ය අලේපනවල ප්‍රමිතිය හෝ ආරක්ෂිත බව ගැන අපිට ලොකුවට සහතිකයක් දෙන්න බැහැ කියන එක අපි කියන්නේ; ලංකාවේ පාවිච්චි වෙන රූපලාවණ්‍ය ආලේපන හුඟක් ඒවා මොනවත් නියාමනයකට ලක් වෙන්නේ නැති නිසා,” යැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය.
ලංකාව තුළ රූපලාවණ්‍ය ද්‍රව්‍ය නියාමනයට ලක් කිරීම අනිවාර්ය නොවන බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.
‘අනුමත ප්‍රමාණයට වඩා රසදිය අඩංගු රූපලාවණ්‍ය ද්‍රව්‍ය’
ලංකාව තුළ ඇති බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍ය තුළ තිබිය යුතු බැර ලෝහ ප්‍රමාණයට වඩා අතිශය වැඩි ප්‍රමාණයක් තිබෙන බව සිය අත්දැකිම් ඇසුරෙන් වෛද්‍යවරිය කියා සිටියා ය.
“වරින් වර ටෙස්ට් කරලා බලනවා රසදිය සහ අනිත් බැර ලෝහ තියෙනවා ද කියලා. අනුමත ප්‍රමාණය කොටස් මිලියනයකට එක කොටසක් කියන නිර්ණායක එක්ක බලලා රසදිය ප්‍රමාණ නිර්ණය කෙරුවොත් එකට වැඩි කියන තැන ඉඳලා තිස් දාහක්, හතලිස් දාහක් අගයක් වෙනකම් රසදිය තිබිච්ච අවස්ථා ලංකාවේ හුඟක් තිබිලා තියෙනවා.
“බොහොම මෑතකදී කරපු එකේ ක්‍රීම් වර්ග සහ සීරම් වර්ග ටෙස්ට් කරපු ඒවයින් තුනෙන් එකක වගේ රසදිය තිබුණා. එතන තිබුණ උපරිම එක, අර එක කියන්න පුලුවන් අගය තිස් දාහක් වගේ අගයක්,” යැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.
‘ස්ටෙරොයිඩ් එකක් මොන ම විදිහකින්වත් රූපලාවණ්‍ය නිෂ්පාදනයක තියෙන්න බැහැ’
ඇතැම් රෝගවලට ලබා දෙන ඹෟෂධවල අතුරු ආබාධ ලෙස සම සුදු පැහැ වීම හෝ පැහැත්වීම සිදුවන බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන් අතර ඇය සඳහන් කළේ, මෑත කාලයේදී රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කර අතුරු ආබාධ ඇති වූ රෝගීන් සහ ඇතැම් රෝග සඳහා ලබා දෙන ඖෂධවලට ඇති වන අතුරු ආබාධ සමාන බව ය.
“ස්ටෙරොයිඩ් (steroid) කියන කාණ්ඩයේ ඖෂධවල අතුරු ආබාධයක් විධියට සම සුදු වෙනවා. ස්ටෙරොයිඩ් එකක් මොන ම විධියකින්වත් රූපලාවණ්‍ය නිෂ්පාදනයක තියෙන්න බැහැ. හැබැයි අපි දකිනවා ක්‍රීම් වර්ග පාවිච්චි කරලා එන අතුරු ආබාධ දැක්කා ම ඒ අතුරු ආබාධවලින් බහුතරය ස්ටෙරොයිඩ් නිසා එන අතුරු ආබාධ.”
‘මෙතෙක් හේතුවක් නොදන්න අලුත් ම’ රෝග ලක්ෂණ

ප්‍රමිතියකින් තොර සුදු වීමේ ආලේපන හෝ සම පැහැපත් කිරීමේ ආලේපන භාවිතය හේතුවෙන් ශරිරයේ විශාලතම අවයව වන සමට හානිදායක තත්ත්වයක් උදා විය හැකි යැයි ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය නිසා සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන් බොහෝ පිරිසකට ප්‍රතිකාර කර අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරිය අනතුරු ඇඟවී ය.
“සම යටට ලේ ගැලිම් හරි පහසුවෙන් වෙන්න පුළුවන්. සම මතුපිටින් නොවුණට යටින් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේ වෙද්දී ඒ තුවාල සුව වීම හරි හෙමින් වෙන්නේ. නරක ම දේ තමයි ස්ටෙරොයිඩ් විශාල ප්‍රමාණවලින් සමට උරා ගත්තොත් බෙහෙතක් විදියට බිව්වා වගේ ම බලපෑමක් වෙනවා. මම පෞද්ගලිකව දැකලා තියෙනවා ස්ටෙරොයිඩ් විශාල ප්‍රමාණයෙන් සමේ ගාලා ඒ හින්දා ශරිරයේ ඇතුළේ වෙනස්කම් වෙලා අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වුණ දෙන්නෙක්”.
“වයිට්නින් ක්‍රීම් පාවිච්චි කරන අයගේ අත්වල ඇඟිලිවල පොඩි සන්ධි උඩ තියෙන සම කළු පාට වෙනවා, සමහර වෙලාවට අල්ලත් කළු පාට වෙනවා, නියපොතු දුඹුරු පාට වෙනවා. දැන් ඔය වගේ දේවල්වලට හේතුව ස්ටෙරොයිඩ් ද, බැර ලෝහ ද නැතිනම් වෙන මොනවාහරි ද කියන එක ද කියලා අවබෝධයක් අපිට නැහැ. මේක අලුතින් ම දකින දෙයක්. ලෝක කොහොවත් පර්යේෂණවල පෙන්වලා තියෙන ඒවා නෙමෙයි,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මෙහි අනතුරුදායක බව විස්තර කළාය.
රෝහල් සායන තුළ මෙන් ම පෞද්ගලික සායනවලදී මෙවැනි ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කර රෝගී වූ එක් හෝ රෝගියෙකු අවම වශයෙන් සෑම දිනක ම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන තරමට මෙම ගැටලුව උග්‍ර වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.
පුහුණුවක් සහ නිෂ්පාදනාගාරයක් නැතිව ක්‍රීම් හදන්න පුළුවන් ද?
නිසි පුහුණවක් හෝ සුදුසු පරිදි සකස් කර ගත් නිෂ්පාදනාගාරයකින් තොරව මෙවැනි රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව සම්බන්ධව ද බීබීසි සිංහල සේවය විශේෂඥ වෛද්‍යවරියගෙන් කරුණු විමසා බැලීය.
නීත්‍යනුකූල ලෙස මෙන් ම ප්‍රමිතිගත ලෙස පවත්වා ගෙන යන රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් බොහෝමයක් පවතින බව සඳහන් කළ වෛද්‍යවරිය, එසේ නිෂ්පාදන සිදුකිරීම සම්මත තත්ත්ව යටතේ නිෂ්පාදන සිදු කිරීමට තත්ත්ව සහතික තිබිය යුතු යැයි අවධාරණය කළා ය.
“හතු පිපෙනවා වගේ මේවා හදන්න උගන්වන පාඨමාලා තියෙනවා. ඒවා නියාමනයක් වෙන්නේ නැහැ.
“සෝෂල් මීඩියා බැලුවොත් ඕන තරම් තියෙනවා ක්‍රීම් හදන එක උගන්වන ආයතන. ඒවා කවුද කරන්නේ, ඒගොල්ලන්ට ඒවා උගවන්න තියෙන අයිතිය මොකක් ද, ඒගොල්ලන්ට තියෙන සුදුසුකම මොකක් ද, මේ වගේ ප්‍රමිතිය මොකක් ද කියන්න දන්නේ නැහැනේ.”
ප්‍රමිතියක් සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය තෝරාගන්නේ කොහොම ද?
ලංකාවේ සෑම රූපලාවණ්‍ය ද්‍රව්‍යයකට ම තත්ත්ව සහතික ලබා දීමේ ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් ප්‍රමිතිගත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම අපහසු බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.
එහෙත් එම ද්‍රව්‍ය තෝරාගත හැකි සරල ක්‍රම කිහිපයක් ඇය සඳහන් කළා ය.
“අපි කියනවා ඒවා වගේ දෙයක් ගද්දි ලේබල් එක බලන්න කියලා. ඒකේ නිෂ්පාදනය කරන ආයතනයක් තියෙන්න ඕනා, ඒ ආයතනයේ ලිපිනයක්, ටෙලිෆෝන් නම්බර් එක්ක වගේ තියෙන්න ඕනා, මේක තියෙන ද්‍රව්‍ය මොනවා ද කියලා ලිස්ට් කරලා තියෙන්න ඕනා, නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත් වෙන දිනයක් ඒ ඔක්කොම දේවල් තියෙන්න ඕනේ.”
පිටරට ඉහළ සන්නාම යටතේ නිෂ්පාදනය කරනු ලබන රූපලාවණ්‍ය ද්‍රව්‍යවල අනුකරණ බොහෝ සෙයින් මෙරට වෙළෙඳපොළ තුළ විකිණීමට ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද වෛද්‍යවරිය සඳහන් කළා ය.
‘සුදු වුණොත් ලස්සනයි කියන බොළඳ මතයෙන් අයින් වෙන්න’
චර්ම රෝග වෛද්‍යවරයෙකුගේ හෝ අවම වශයෙන් සාමාන්‍ය ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයෙකුගේ හෝ උපදෙස් මත රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය සුදුසු බව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දුන්නා ය.
“තමන්ගේ පෙනුම දියුණු කරගන්න අවශ්‍යයි නම් ඒක ගැන අධ්‍යනයක යෙදිලා ඒකට යමක් කරන්න. එහෙම නැතුව සුදු වුණොත් ලස්සනයි කියන බොලඳ මතයෙන් අයින් වෙන්න.”
“ක්ෂණික සුදු වීම කියන දේට තියෙන කැමැත්ත නැති කරගන්න. එහෙම දෙයක් අපිට කවදාවත් ආරක්ෂිත විදියට කරන්න බෑ. තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අනුව එහෙම කරන්න බැහැ,” යැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩිදුරටත් කියා සිටියා ය.
BBC
