ආයෝජකයින්ට මෙන්ම පොදු මහජනතාවට සුබදායී පණිවිඩයක් ගෙන එන මහබැංකු අධිපති..

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ LNW :

වත්මන් මැදපෙරදිග නොසන්සුන්තාවය මුකු ලෝකයේම ආර්ථිකය දැඩි අවදානමකට ලක් කර ඇත. ශ්‍රී ලංකාව වැනි විදේශීය සාධක මත පදනම් වූ ආර්ථිකයක් හිමි රටකට මෙවැනි බාහිර කම්පන (External Shocks) බලපෑම් එල්ල කිරීම සාමාන්‍ය වුවත්, මෙවර තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් ය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ, අපේ රට අතීත අර්බුදවලට වඩා දැන් ඉතා ශක්තිමත් සාර්ව ආර්ථික මට්ටමක පවතින බවයි. බාහිර ලෝකයේ අස්ථාවරත්වය පාලනය කළ නොහැකි වුවද, අභ්‍යන්තර වශයෙන් ගොඩනගා ඇති ප්‍රතිපත්තිමය සූදානම හරහා මෙම අභියෝගය ජයගත හැකි බවට ඔහු පළ කරන විශ්වාසය ආයෝජකයින්ට මෙන්ම පොදු මහජනතාවට ද සුබදායී පණිවිඩයකි.

සාම්ප්‍රදායිකව මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී බොහෝ රටවල් ආනයන පාලනය හෝ ප්‍රාග්ධන ගලායාමේ සීමාවන් (Capital Controls) පැනවීමට පෙළඹෙයි. එහෙත්, වත්මන් සාර්ව විචල්‍යයන් කළමනාකරණය (Management of macro variables) පිළිබඳ දැඩි විශ්වාසයක් පළ කරන මහ බැංකු අධිපතිවරයා, එවැනි කිසිදු ක්ෂණික සීමා පැනවීමේ අවශ්‍යතාවයක් මෙතෙක් මතු වී නොමැති බව අවධාරණය කරයි. මෙය අපේ ආර්ථිකය ලබා ඇති ස්ථාවරත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ පිළිබඳව ඔහු කළ ප්‍රකාශය මෙසේය:

"මේ අවස්ථාවේදී ප්‍රාග්ධන ගලා ඒම, ආනයන, ප්‍රේෂණ හෝ පිටතට ගලායෑම් පාලනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් අප දකින්නේ නැහැ."

මෙමඟින් පැහැදිලි වන්නේ විදේශ විනිමය වෙළඳපොළ සහ රටේ ආර්ථික පදනම ඕනෑම බාහිර බලපෑමකට ඔරොත්තු දිය හැකි පරිදි නම්‍යශීලී වී ඇති බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන ප්‍රේෂණ (Remittances) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. දත්තමය වශයෙන් ගත්කල, 2026 වසරේ මුල් මාස දෙකේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.48 ඉක්මවා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 32% ක සුවිශේෂී වර්ධනයකි. පෙබරවාරි මාසයේදී පමණක් ලැබී ඇති ඩොලර් මිලියන 729 ක මුදල (33% ක වර්ධනයක්) වාර්තාගත ජයග්‍රහණයකි.

මෙම සංඛ්‍යාලේඛන පිටුපස ඇති මානුෂීය කතාව වන්නේ, ගෝලීය අවිනිශ්චිතතාවයක් පවතින අවස්ථාවලදී විදේශගත ශ්‍රී ලාංකිකයින් තම පවුල්වල සුරක්ෂිතභාවය වෙනුවෙන් වැඩිපුර කැපකිරීම් කරමින් මුදල් එවන බවයි. තවද, මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ හදිසි තානාපති මට්ටමේ දැනුම්දීමක් හෝ එවැනි සලකුණක් මෙතෙක් වාර්තා නොවීම ද සැනසිල්ලට කරුණකි.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති 70% ක අති උද්ධමනකාරී තත්ත්වය හා සැසඳීමේදී, වර්තමාන තත්ත්වය කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතී. මීට පෙර උද්ධමනය 5% මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළේ තෙවන කාර්තුව සඳහා වුවද, වත්මන් ප්‍රගතිය අනුව එය දෙවන කාර්තුව වන විට සාක්ෂාත් කරගත හැකි වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි.

ශ්‍රී ලංකාව මීට පෙර 2008 ගෝලීය මූල්‍ය අර්බුදය (බොරතෙල් බැරලයක මිල ඩොලර් 145 වූ අවධිය), 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ‘ඩිට්වා’ සුළි කුණාටුව (Cyclone Ditwah) වැනි අභ්‍යන්තර කම්පන හමුවේ ද තම ‘නැවත නැඟිටීමේ හැකියාව’ (Resilience) ලොවට පෙන්වා ඇත. වර්තමානයේ ද බලශක්ති මිල ඉහළ යාම ඇතුළු සියලු බාහිර සාධක 2% ක වත්මන් උද්ධමන පුරෝකථනයට ඇතුළත් කර ඇති බැවින්, ආර්ථිකය බරපතල ලෙස අකර්මණ්‍ය වීමේ අවදානම අවම වී ඇත.

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරක පැමිණීම්වල 17% ක පසුබෑමක් වාර්තා වන අතර, සංචාරක ඉපැයීම් 4.9% කින් (ඩොලර් මිලියන 730.3 දක්වා) අඩු වී ඇත. කෙසේ වෙතත්, මෙම අඩුව පෙබරවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 729 ක ප්‍රේෂණ මගින් මනාව තුලනය කිරීමට සමත් වීම දත්තමය වශයෙන් වැදගත් වේ.

තවද, මහ බැංකුව දැනට අනුගමනය කරන ‘නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය’ (Flexible exchange rate regime) යටතේ රුපියලේ අගය තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම මතය. මහ බැංකුව වෙළඳපොළට මැදිහත් වන්නේ ‘අධික විචල්‍යතාවයක්’ (Excessive volatility) ඇති වුවහොත් පමණි. රජය විසින් බලශක්ති ඉල්ලුම පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ද උද්ධමනකාරී පීඩනය සමනය කිරීමට (Cushioning inflationary pressures) රුකුලක් වී ඇත.

බාහිර අර්බුද කුමක් වුවත් අභ්‍යන්තර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ (Structural Reforms) නොනවත්වා ක්‍රියාත්මක විය යුතු බවයි. කම්කරු, ඉඩම්, බැංකු සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ නියමිත පරිදි සිදු කිරීම හරහා ශක්තිමත් 'ආරක්ෂිත පවුරක්' (Buffers) ගොඩනඟා ගත හැකිය. දියුණු වූ සාර්ව ආර්ථික ආරක්ෂිත පවුර සහ මූල්‍යමය අවකාශය (Fiscal space) අනාගත අවදානම් අවම කිරීමට ඇති එකම මාර්ගයයි.