සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල කළ ඉරාන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු සෝල්දාදුවන් 15කට තුවාල; පස් දෙනෙකුගේ තත්වය බරපතලයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ කළ ගැටුම දෙවන මාසයට එළඹෙත්ම, ඉරානය විසින් සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල කළ බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඇමරිකානු සොල්දාදුවන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 5 දෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ මධ්‍යම හමුදා මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි ප්‍රකාශ කර තිබුණේ, ප්‍රහාර සාර්ථක වූ බවත්, ඉරාන ප්‍රහාරයෙන් ඉන්ධන පිරවූ ගුවන් යානයක් “සම්පූර්ණයෙන්ම විනාශ වූ” බවත්ය.

සෞදි අගනුවර වන රියාද් සිට කිලෝමීටර් 96 ක් (සැතපුම් 60) පමණ දුරින් පිහිටි මෙම කඳවුර රාජකීය සෞදි ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නමුත් ඇමරිකානු හමුදා විසින් භාවිතා කරනු ලැබේ. මෙහි ඇමරිකානු සොල්දාදුවන් 2,000 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර බොහෝ දුරට කලාපයේ මිසයිල ආරක්ෂක පද්ධති සහ සැපයුම් සහාය සඳහා ක්‍රියාත්මක වේ.