විවේකානන්ද ඉපැදෙන්නේ ක්ෂ්ත්‍රීය කුලයට අයිති පවුලක. ඒත් පුංචි කාලෙදිම අචිරවතී ගංඟාව උතුරලා ගිහින් ඒ වතුරට අහුවෙලා විවේකානන්දගේ අම්මයි තාත්තයි මැරෙනවා.
අනාථයෙක් වුනු පුංචි විවේකානන්දව අශ්ව කරත්ත රියැදුරෙක් දරු කමට හදාගන්නවා.
ඔහු ප්‍රාදේශීය රජ කුමාරයෙක්ගේ රථාචාරියා.
ඉතිං මේ සුළුපියා මියගියාට පස්සේ විවේකානන්ද මාළිගාවේ රථාචාරියා බවට පත්වෙනවා.
රැකියාවෙන් රථාචාරියෙක් වුනත් උපතින් විවේකානන්ද ක්ෂ්ත්‍රීය කුලේ. මේ බව දන්න කුමාරයා විවේකානන්දට හොඳින් යාලුවෙක්ට වගේ සළකනවා.
දවසක් විවේකානන්දයි කුමාරයයි දඩ කෙලියේ යනවා. කුමාරයා දඩයම් පිනිස කැලේට ගියාම විවේකානන්ද අචිරවතී ගං ඉවුරේ තනිවෙනවා.
ඔය අතරේ වෛශ්‍ය කුලේ කුමාරිකාවක් පිරිවරත් එක්ක දිය කෙලියට එනවා. විවේකානන්දට තිබ්බ කුමාර පෙනුම නිසා කුමාරි එයා එක්ක පෙමන් බැඳෙනවා.
ටික දවසක් ගියාම විවේකානන්ද කුමාරිට කියනවා මම කුමාරයෙක් නෙමෙයි, අශ්ව කරත්ත රියැදුරෙක් කියලා.
කුමාරි විවේකානන්දට උපක්‍රමයක් කියනවා. ඒ තමයි කුමාරයව ම..රලා වස්තුව අරගෙන එන්න.. අපි දෙන්නා විවාහ වෙමු කියලා.
විවේකානන්ද විශාල ගැටලුවකට පත්වෙනවා. කුමාරි අත්අරින්නත් බැහැ. තමන්ට යාලුවෙක් වගේ සළකන කුමාරයගේ ජීවිතයට හානියක් කරන්නත් බැහැ.
මේ ගැන කල්පනා කර කර විවේකානන්ද මාළිගයට යනවා.
අතරමඟදි එයාට බුදු හාමුදුරුවොයි ආනන්ද හාමුදුරුවොයි හම්බ වෙනවා. බුදු හාමුදුරුවන්ව දැකපු විවේකානන්ද උන්වහන්සේට තමන්ගේ ගැටලුව කියනවා.
ඒක අහපු බුදුහාමුදුරුවෝ මවුපියන්ගෙන් අවසර අරගෙන තමන් සමඟ එන්න කියලා විවේකානන්දට කියනවා.
“අවසර ගන්න මට කාත් කවුරුවත් නෑ ස්වාමිනී” විවේකානන්ද උත්තර දෙනවා.
“එහෙනම් ඔබ සේවය කරන කුමාරයගෙන් අවසර අරගෙන එන්න” බුදු හාමුදුරැවෝ කියනවා.
මාළිගයට ගිය විවේකානන්ද සිද්දිය කියලා කුමාරයගෙන් අවසර අරගෙන එද්දි එයා පෙම් කරපු කුමාරිය මාළිගාවේ සඳළු තලේ ඉඳන් තමන් දිහා බලන් ඉන්නවා විවේකානන්ද දකිනවා.
ඔහු තමන්ගේ නික්මයාම ගැන කුමාරිට ලියුමක් ලියනවා.
සනත් නන්දසිරි මහත්තයගේ සිංදුවක තියෙන විදිහට ඒ ලියුම මේ විදිහයි,
සඳලු තලේ සිට පෙරමග බලනා,
මානවිකාවිය ඔබට කියන වග නම්….
ඔබ ගෙනයන්නට සහපිරිවර හා,
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්……
ඇත්හල් අස් හල් සිවුරඟ සේනා,
දැසි දස් පිරිවර සහ රන් දෝලා ……
පැතූ බවක් හෙම මා සිතුවේ නැත,
සෙනේහයේ මුල් අකුරු කියූ දා,
අචිරවතී ගං ඉවුරු කොනේ…..
රන් පට රන්සළු දර්ශණ මාලා,
මැදුරු සඳලුතල මංගල යානා……
නිසරු ඉසුරකට මහදේ ඉඩ නැත,
ඔබගෙන් සමුගෙන ඈතට යන්නට
ඉතිං අවසරයි කුමාරියේ…..
ඕක තමා මම සනත් නන්දසිරි මහත්තයගේ ආසම සිංදුව…
මම කැමැති මිනිස්සු, ගරු කරපු මිනිස්සු එකා දෙන්නා ආයි නොඑන්නම යන්න යනවා. සනත් නන්දසිරි මහත්තයා මැරැණා කියලා ඇහුනාම වෙන කියන්න දෙයක් හිතට එන්නේ නෑ..
ඉතිං….
ඔබ නිවනින් සැනසේවා…
සටහන – අනිල් කරුණාරත්න
