අසහාය නිර්මාණ කුසලතාවක්, සුගේය මනස්කාන්ත හඬ පෞර්ෂයක් හිමි විශාරද ගුණදාස කපුගේ ගේ 22වන ගුණානුස්මරණය අද(03) දිනට දී තිබේ.
සිය මධුර හඩින් රසික හදවත් ප්‍රකම්පනයට පත්කළ ගුණදාස කපුගේ 1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස මෙලොව එළිය දුටු එල්ලමුල්ල ගුණදාස කපුගේ සිය මූලික අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය,ධර්මාශෝක විද්‍යාලය,එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, ගාල්ල නාගොඩ විද්‍යාලය,යන පාසල් වලින් නිම කරන ලදි.
නිහඩ හදවත් පොතේ ලියවුනු
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ ….
උපතින් උරුම වූ ලයාන්විත හඬ පෞරුෂය හේතුවෙන් පාසල් අවධියේ සිටම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබීමට හෙතෙම සමත් විය. 1963දී රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) ඇතුළත් වන අතර තව දුරටත් සංගීතය ප්‍රගුණ කිරීම සඳහා 1965 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත ආයතනයට ඇතුලත් වන ලදි.
ප්‍රවීන ඉන්දියානු සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ 1969 වසරේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වන්නේ සංගීත විශාරද උපාධිය හිමිකර ගනිමිනි. එම වසරේම ගුවන් විදුලි සංස්ථාවට තාවකාලික පදනම මත සම්බන්ධවන කපුගේ 1970 වසරේදී එම තනතුරේ ම ස්ථිර කරණු ලැබීය. ඔහුගේ රැකියාව දඬුවම් මාරු රැකියාවෙන් නෙරපීම් වලින් පිරුණු රැකියාවකි.
කපුගේ නිර්මන්වෙදියකු හා ගායකයකු වශයෙන් සුවිශේෂ වන්නේ ඔහු හුදු හුදු ජනයා වෙනුවෙන් සිය නිර්මාණ කැපකළ නිර්මාණකරුවකු වශයෙනි. ඔහු ගැයුවේත් ඔහු නිර්මාණය කාලෙත් සාමාන්‍ය ජනයා ගේ දුක වේදනා හා සන්තාපයන්ය. ඔහුගේ ගී වලින් ඇසුනේ තැළුණු රිදුණු ආත්මයන්ගේ හඬයි.
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ…
1977 අනතුරුව දුප්පත්කමින් හා සූරාකෑමෙන් පීඩනයට පත් පීඩිත ජන කොටස් වල ජීවන තත්වයේ යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කරන්නට උත්සුක වූ කපුගේ පැවති ආණ්ඩුවට බලවත් තර්ජනයක් වූ අතර ඔහුගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වළක්‌වාලීමට වාරණ නියෝගයන් පවා ක්‍රියාත්මක විය.
එවකට පැවති රජයන් විටෙක ඔහු සේවය හැර ගිය සේ සැලකු අතර තවත් විටෙක ආණ්ඩුවලට අපහාස කළේයැයි යන චෝදනාව මත සේවයෙන් නෙරපා හැරිණි. කෙසේ නමුත්, දඬුවම් මාරුවක් ලෙස වරෙක ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයට මාරුකර දැමු අතර එතැන්සිට රජරට සේවයේ ස්වර්ණමය යුගය ඇරඹිණි.
කපුගේ සිය නිර්මාණ භාවිතාවන් හරහා සටන් කරනු ලැබුවේ විමුක්තිය උදෙසා නොව දරිද්‍රතාවයෙන් පීඩනයට පත්වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙනි. මෙහිදී විරෝධාකල්ප සෞන්දර්යාත්මකව කලාත්මක කොන්දේසිවලට යටත්ව භාවිතයට ගැනීමට ඔහු සමත් වූ අතර මෙහිදී සමකාලීනව පැවැති අරගලය, ආවේගය, කැක්කුම හරහා ගීතය අවියක් බවට පත් කර ගැනීමට සමත් විය. ඒතැනදී අතිශය ප්‍රබල නිර්මාණ බිහි විය.ඒ වෙනුවෙන් ලුෂන් බුලත්සිංහලයන්,රංබණ්ඩා සෙනවිරත්න, රත්න ශ්‍රී විජේසිංහ ආදී පද රචකයෙන්ගේ පද රචනා හේතු විය.
සබඳ අපි ,
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන …
“දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතු ලැල් සලා” ගීතය ගයනා කරමින් ගායකයෙක් ලෙස රසික හදවත් වලට ආමන්ත්‍රණය කළ කපුගේ 1980 වසරේ දී සිය පළමු කැසට් පටය ලෙස ”දම් පාටින් ලා සඳ” කැසට් පටය මාලනී බුලත්සිංහල සමඟ නිකුත් කරන ලද අතර පසුව කළ කැසට් අතරින් ”සීතල සඳ එළියේ” (1981), ”උන්මාද සිතුවම්” (1983), ”ඉරබටු තරුව” (1999) හා ”සඳ රෑ සිහිනේ” (2000)රසිකයන් ආදරයෙන් වැළදගත් නිර්මණ විය.
1981 දී රජරට සේවය සංගීත අංශයේ ප්‍රධානියා ලෙසත් පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙසත් කපුගේ කටයුතු කරනු ලැබූ කපුගේ දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිංදු බිංදු තාරකා, විදුලි මිණි පහන් දැවී, මගෙ හද මඬල මල් යහනකි, සිංහල සින්දු කියන, දම් පාටින් ළා සඳ බැස යනවා (මාලනී බුලත්සිංහල සමඟ), බිරිඳ මගේ ඔබ (නන්දා මාලනී සමඟ), නාඹර ගොයමට, උන්මාද සිතුවම් (එක්ටැම් ගේ චිත‍්‍රපටයේ) දවසේ කරදර කරපිට, කරගල ගගා ඉන්න, සබද අපි කඳු නොවෙමු හා බිම්බරක් සෙනග ගැවසුණු වැනි ගීත මඟින් රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් විය.
කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඬලනකොට..
ඔටුන්න බිම දා දුවගෙන එන්න ද එක පිම්මේ..
මං එනතුරු ඉඳිකඩ ළග ඉන්නවා ද අම්මේ…
ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායකයකු වු ගුණදාස කපුගේ වේදිකා නාට්‍ය සංගීතය කෙරේද යොමු වූ අතර සංගීත අධ්‍යක්ෂණය කල පළමු වේදිකා නාට්‍යය වූයේ සුගතපාල ද සිල්වා මහතාගේ තුරඟ සන්නියයි. ඉන් අනතුරුව වේදිකා නාට්‍ය ගණනාවකම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය ලබා දෙන ලදි. එනම් පරපුටුවෝ, නන්දි විසාල තාරාවෝ ඉගිලෙති, සිර කඳවුරු, සත් සහ සත, සසර සෙවනැළි ආදී නිර්මාණයි.
පළමු වරට චිත්‍රපටයක සංගීතය සඳහා දායක වූයේ ස්ටැන්ලි පෙරේරා මහතාගේ “සඳා” (1980) චිත්‍රපටය සඳහායි. ඉන් අනතුරුව රතු මකරා, මාල ගිරවී, චුට්ටි, බව දුක, පුතුන් මට සමාවෙන්න භව කතර ආදී චිත්‍රපට වෙනුවෙන් සිය සංගීතමය දායකත්වය අධීක්ෂණය ලබා දෙන ලදි.
කපුගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය ද කිහිපයකි. එනම් ගිගිරි වළලු, අයියම්මාරුව , රන්දෝලි, දොළොස් පැය, සිර කඳවුරු, පාරමීදම්, සසර සෙවනැලි, රේල් පීලි සඳ මද්දහන, සඳා ආදිය මෙහිලා දැක්විය හැකිය.
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඞා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම්ගේ..
කපුගේ අවස්ථා ගණනාවකදී හොඳම කටහඬ හා හොඳම ගායනය සම්බන්ධයෙන් ජනාධිපති සම්මානයට, සරසවි සම්මානයට මෙන් ම OCIC මෙන්ම ස්වර්ණ සංඛ ආදී සම්මානට පාත්‍ර විය.
· ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996)
· විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ (1996)
· රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා (1997)
· ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997)
· සරසවි සම්මානය – හොඳම කටහඬ (1997)
· OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997)
· ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998)
· සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999)
ගුණදාස කපුගේ විසින් ‘කම්පන‘ නමින් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලද අතර එය එතෙක් මෙතෙක් බීහිවූ සමාජයේ පීඩනයේ දරිද්‍රතාවයේ කුසගින්නේ කම්පනය විය.
2003 වසරේ අප්‍රේල් මස 03 වන දින විදෙස් සංචාරයක් නිමවී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු වූ හදීසි අනතුරක් හේතුවෙන් එදිනම කපුගේ අවාසනාවන්ත ලෙස මිය යන්නේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩැසක් ඉතුරු කරමින්.
නිර්මාණවේදියෙකු ලෙස ගුණදාස කපුගේ සංගීත ක්ෂේත්‍රය තුළ උස්ව කැපී පෙනුනේ හිතවතකු , රසවතකු මෙන්ම සොඳුරු මිනිසකු වශයෙනි. එහෙයින්ම එදා මෙදා තුර ඔහු රසික හදවත් තුළ සොඳුරු අඩහැරයක්ව නින්නාද වනු ඇත.
සටහන: සශිකලා මධුෂාණි
කවමදාවත් නොයෙන ගමනක් ගියාදෝ වැහි ලිහිණියෝ ……