ගෙවුණු අවුරුදු 20ක පමණ කාලය තිස්සෙ පොලිස් කෘෘරත්වය නිසා මිය ගිය මිනිසුන් ගැන අප ලියූ ලියුම් සෑහෙන ප්‍රමාණයක් තිබේ. නැවත නැවත ඒවා පුනරුච්ඡාරණය කරමින් ලියන්නට සිදුවීම තරම් ඛේදයක් තවත් තිබේ ද? වසර 150කට වැඩි වයසක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව ලෝකයට ගැලපෙන තරම් ශිෂ්ට වී මස් මඩුවක තත්වයෙන් ගැලවෙන්නේ කවදා ද? කොටින් කියනවා නම් මිනීමරන්නට – මිනීමරා නාට්‍ය පිටපත් ලියා ගැලවෙන්නට පොලිසියට ඇති බලපත්‍රය ජාතික ජනබලවේග රජයටවත් අහෝසි කළ නොහැකි ද?
වැලිකඩ පොලිසිය මගින් පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ ඉහෙන් බහින රෝගයක් නොතිබූ වයස 25ක තරුණයෙක් පොලිස් සිර මැදිරියේ හිස ගසාගෙන මිය ගොස් ඇතැයි පොලිසිය ම පවසයි. තරුණයාගේ සිරුරේ තැලීම් රැසකැයිද අනාවරණය ව තිබේ. ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී මවට දුරකතනයෙන් අමතා තමන්ට කරදර බවද කියා ඇත.
මෙම තරුණයා නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවීමට ගියවිට අත්අඩංගුවට ගත් බවත් ඔහුට මානසික රෝගයක් ඇති බව පෙනුණු බවත් පොලිසිය තවත් කතාවක් කියයි. පොලිසියේ මේ බයිලා සෑහෙන කාලයක් අසා ඇති අප තවදුරටත් මේවා විශ්වාස කරන්නේ නම් අපට මානසික රෝගයක් විය යුතු ය. තවදුරටත් මෙසේ මිනීමරාගෙන යන්නට පොලිසිය අදහස් කරන්නේ නම් මිනිසුන්ගේ බුද්ධියට නිගා නොකොට හොඳ තිරපිටපත් ආයතනයක සහාය ලබා ගැනීම සුදුසු ය.
සැකකරුවෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීමට විධිවිධාන පණවා තිබේ. පොලිසියේ මේ නාඩගම අවස්ථා ගණනාවකදී හෙළිව ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයද අවස්ථා ගණනාවකදී මේ ගැන නියෝග නිකුත් කර තිබේ. එනමුත් පැරණි සෙල්ලම ම රටක් ලෝකයක් ඉදිරියේ නැවත නැවත රඟ දැක්වේ.
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හෝ වෙනත් කිසිම හේතුවකට හෝ සැකපිට කිසිවෙකු අත්අඩංගුවට ගන්නේ නම්, ඔහු සිටින්නේ “සැකපිට“ මිස අපරාධකරුවෙකු ලෙස නොවේ. ඔවුන්ගේ ආරක්ෂාව ගැන පොලිසිය වගබලා ගත යුතු අතර, වාචික තර්ජනයක් හෝ නොකළ යුතු ය. සැකකරුගේ ළඟ ම ඥාතියෙකුට හෝ නීතිඥයා සම්බන්ධවීමට අවස්ථාව දිය යුතු ය. මෙම සිදුවීමේදී මේ කිසිවක් වැලිකඩ පොලිසිය විසින් කර තිබේ ද?
මේ කිසි සිදුවීමකදී මෙවැනි කිසිවක් සිදු නොවී අඳුරු යුගයන්හි ලෝකයේ වධකයන් ක්‍රියා කළ ලෙසින් පොලිසිය ක්‍රියා කරයි. මෙසේ පොලිසිය මිනිසකු මරා දැමූ කල සමාජයේ කතිකාවක් ඇති වෙයි. බොහෝ දෙනා මේ ගැන කතා කරති. පසුව එම මරණය සමීපතමයන්ට පමණක් ඉතිරි වේ. පොලිසිය මැරූ මිනිසුන් ගැන පරීක්ෂණ පවත්වන්නටද භාර වන්නේ පොලිසියට ය. ඉතින් නඩු ඇදේ. කිසිවක් සිදු නොවේ. නැවත පොලිසිය මෙලෙස මිනිසෙකු මරා දමයි. නැවතත් මේ විෂම චක්‍රය මෙලෙස ම සිදුවේ.
වැලිකඩ පොලිසිය ගැන ම සලකා බැලුවත්, පසුගිය වසරේ දී සල්ලිකාර බලපුළුවන්කාර සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් ලෙස සේවය කළ රාජන් රාජ්කුමාරි නම් වයස 40ක කාන්තාවද මරා දැමුණේ වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ය. එසමයේ ද මෙලෙස කතිකාවන් ඇති වුණ අතර පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යැව්වා අපට මතක ය. මේ මරණයට සාධාරණය ඉටු වී දැ යි අප කිසිවෙකු දන්නේ ද?
වාමාංශික මූලයන් දරණ, පොලිසියේ මේ කෘෘරත්වයෙන් ඇති පදම් බැට කා ඇති දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජනබලවේගය ආණ්ඩු කරන්නට පටන් ගත්තාට පසු මෙවැනි සැකකටයුතු මරණ කීයක් නම් පොලිසිවල සිදු වූයේ ද?
කිඹුලා කන එක ඉවසතෑකි, කොහිල කටු ඇනෙන එක ඉවසන්නට බැරි යැ යි කතාවක් තිබේ. පොලිසිය ජනතාවගේ ආරක්ෂකයා බවට ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් පිටුවේ පලවී ඇති බව දුටු විට සිහි වන්නේ එයයි.
මහජන බදු මුදලින් පඩි ලබන පොලිසියෙන් තඩි බා මහජනයා මිය යන්නේ නම්, අපි අපේ බදු මුදල් ගෙවන්නේ අපිව මරා දැමීම වෙනුවෙන් මිස අනෙකකට ද?
සැකකරුවන් ලෙසින් අත්අඩංගුවට ගත් අය වරදකරුවන් ලෙස සලකා පොලිසිය විසින් ම දඬුවම් දෙන්නේ නම්, අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යා යුතු නැත.
එක්කෝ පොලිසිය මිනී නොමරණ තැන දක්වා ශිෂ්ට කළ යුතු ය. නැත්නම් පොලිසියට සියල්ල භාර දී අධිකරණ පද්ධතිය විසුරුවා හැරිය යුතු ය.
ජාතික ජන බලවේග රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය ඉතිහාසයේ දිනයක ප්‍රශ්න නොකෙරෙන තැනට වැඩ කටයුතු කිරීම රජයට ම භාර ය.!
~ සඳුන් ප්‍රියංකර විතානගේ
