1971 කැරැල්ලට අදට (05) අවුරුදු 54ක් සම්පූර්ණ වෙනවා. මේ සටහන ඒ කැරැල්ල ගැන කෙටි ආපසු හැරී බැලීමක් ….
ඔය කැරැල්ල ගහපු ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙන්න හේතුව වුණේ ඔවුන් කියන ආකාරයට සාම්ප්‍රදායික වමේ පාවාදීම. ඒ කියන්නේ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය කියන පැරණි වම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක රාජ්‍ය බලය වෙනුවෙන් සන්ධානගත වීම.
1965 බිහිවුණු ජනතා විමුක්ති පෙරමුණ වසර හයක් ගතවෙද්දී 1971 රාජ්‍ය බලය ලබාගැනීම වෙනුවෙන් කැරැල්ලක් ගැහුවා. පැරණි වම ඇමතිකම් තුනක් වෙනුවෙන් වාමාංශික ප්‍රතිපත්ති පාවාදුන් බව කියමින් එකී පැරණි වමත් මූලික වුණු සභාග ආණ්ඩුවට එරෙහිව තමයි ජවිපෙ කැරලි ගැහුවේ.
හැබැයි ඉතින් 1970 සභාග ආණ්ඩුව ගැන බැලුවොත් ඔවුන් ඔය වාමාංශිකයින් ඉහළින්ම අදහන සංවෘත ආර්ථිකය ගේන්න පුළුවන් උපරිම තලයකට ගෙනාවා. අද දවසට සාපේක්ෂව ආපහු හැරිලා බැලුවොත් අපට කියන්න වෙන්නේ “සාම්ප්‍රදායික වමේ පාවාදීම” කියන එක හොඳයි, ඒක තමයි විය යුත්තේ කියලායි. මොකද, තිරශ්චීන ඝාතන සිදුනොවී වමේය කියන අයට බලය ගන්න ඒ “පාවාදීම” හරහා අවස්ථාව ලැබුණා. ඒ “පාවාදීමට” එරෙහිව හදාපු පක්ෂය නිර්මල වමේ ආණ්ඩුවක් හදන්නය කියලා දෙපාරක් කැරලි ගහලා අතිවිශාල තරුණ ජීවිත සංඛ්‍යාවක් නිස්කාරණේ බිලි දුන්නා.
ඒ දෙපාරක් කැරලි ගහපු ජවිපෙම අද සන්නද්ධ කැරලි තියා තල කැරැල්ලක්වත් නැතිව, යම් ආකාරයක පන්ති සමාදනයකුත් – අරකිව්වා වගේ පාවාදීමකුත් – එක්ක යසට ආණ්ඩුවක් හදාගෙන ඉන්නවා. ඒගොල්ලො කරන්නෙත් කලින් ආණ්ඩු කරපුවාම තමයි. ඔය ආණ්ඩුවට විරුද්ධව කවුරුහරි කැරලි ගැහුවොත් ඔවුනුත් සිරිමා – ජේ. ආර්. – ප්‍රේමදාස කරපු ටිකම හෝ ඊටත් එහා යන දේවල් බලය රැකගන්න කරාවි, ඒකෙ දෙකක් නෑ.
එහෙම බැලුවාම වාමාංශික දේශපාලනය කියන්නේ අමු මිත්‍යාවක්. එස්, ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 1956දී රාජ්‍ය බලය ගන්න කරපු දේට වඩා වෙනසක් එතන නෑ. වාමාංශික දේශපාලනය කියන්නේ ජීවිතයේ එක්තරා කාලයකදී ඇතිවෙන සිතුවිලි සමුදායක්. හැබැයි ඒ සිතුවිලි සමුදාය නිසා තරුණ ජීවිත දස දහස් ගණනින් රටට අහිමි වුණා.
ඔය ගැන ලියද්දී අපි මීට කලින් වතාවක ලියපු දෙයක් මතක් වුණා. ඒ, 1971 කැරැල්ල මර්දනයට ගිය කරූ ජයසූරියගේ අනුකම්පාව නිසා ජීවිතය බේරාගත්තු කැරලිකරුවෙක් පසු කාලෙක රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම නිලධාරියෙක් වෙලා විශ්‍රාම ගිය ආකාරය ගැන. ඔහුට ජීවිතයේ දෙවැනි අවස්ථාවක් ලැබුණා. 71 කැරලිකාරයින් වෙච්චි වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, කේලී සේනානායක, මහින්ද විජේසේකර, ජයදේව උයන්ගොඩ, කැප්ටන් කුලරත්න (මාගා ඉංජිනියරින්) වගේ තව ගොඩක් අයටත් ඒ දෙවැනි අවස්ථාව ලැබුණා. ඔවුන් ඒ දෙවැනි අවස්ථාව ලිබරල් විදියට පාවිච්චි කළා.
හැබැයි ඔය කැරලි ක්‍රමය, පන්ති වෛරය වගේ එව්වා සහමුලින්ම අතෑරලා දාලා ඒ ඔස්සේ රාජ්‍ය බලයක් ගත්තු කට්ටිය අද ආයෙත් පරණ කැරැල්ල රොමෑන්ටිකකරණය කරමින් ඉන්නවා පේනවා ….
නන්දන වීරසිංහ කවියා එදා මෙහෙම ලියලා තිබුණා.
“එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන
ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන
හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන
මේ බක් මහෙත් ඉවුරෙන් අත වනනු මැන
ඒ බක් මහේ රෑ හඳ දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට
අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හෙඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු”
අපිත් එදා ඔය කවිය ඇහුවේ අඬ අඬා … නමුත් දැන් හිතෙන්නේ නම් මේවා හුදෙක් කවි ගායනා මිස ඉන් ඔබ්බට යමක් නැහැයි කියලායි. “මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු” කියලා ආලවට්ටම් දාලා කවියෙන් එදා කිව්වත් අද ආපහු හැරිලා බලද්දී නිරුවත් යතාර්ථය අපට කියන්නේ “ජීවිතය සුන්දරයි අසත්‍යය වෙන නැමුණු” කියලා නෙවෙයිද ??
~ රජිත විරාජ්
