පහළින් තියෙන්නේ ගෙවුණු 2022 වර්ෂය තුළ රජයේ ආදායම් හා වියදම්. ඇස්තමේන්තු හෝ පුරෝකථන නෙමෙයි. ඇත්තම ගණන්.
බදු ආදායම – රුපියල් බිලියන 1,751.1යි
බදු නොවන ආදායම – රුපියල් බිලියන 228.1යි
ප්‍රදාන – රුපියල් බිලියන 33.4යි
ආදායම් සහ ප්‍රදාන එකතුව – රුපියල් බිලියන 2,012.6යි
පොලී ගෙවීම් හැර වර්තන වියදම් – රුපියල් බිලියන 1,954.4යි
ප්‍රාග්ධන වියදම් – රුපියල් බිලියන 952.9යි
පොලී ගෙවීම් හැර වියදම් එකතුව – රුපියල් බිලියන 2,907.4යි
ප්‍රාථමික අයවැය හිඟය – රුපියල් බිලියන 894.8යි.
පොලී වියදම් – රුපියල් බිලියන 1,565.2යි.
සමස්ත අයවැය හිඟය – රුපියල් බිලියන 2,460.0යි.
දළ දේශීය නිෂ්පාදිතය – රුපියල් බිලියන 24,147.7යි.
ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස – 8.3%යි.
පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස – 12.0%යි
පොලී වියදම් දදේනි % ලෙස – 6.5%යි.
ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස – 3.7%යි.
සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස – 10.2%යි.
රජයේ සමස්ත ආදායම් හා අනෙකුත් ලැබීම් දදේනියෙන් 8.3% මට්ටමේ තිබියදී පොලී ගෙවීම සඳහා පමණක් දදේනියෙන් 6.5%ක් ගෙවන්නට සිදු වී ඇති තත්ත්වයක සිට සමස්ත අයවැය තුලනය කර ගැනීමක් ගැන සිතීම සිහිනයක්. මෙය හඹා යා හැකි සිහිනයක් වුවත්, ඒ සඳහා අවම වශයෙන් වසර තිහ හතළිහක කාලයක් යා හැකියි. මෙවැන්නක් වසර දහයකින් පහළොවකින් කළ නොහැකියි.
සමස්ත රාජ්‍ය අයවැය තුලනය කරගත නොහැකිය යන්නෙන් අදහස් වන්නේ අයවැය තුලනය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා කියන එකයි. එසේ අලුතෙන් ණය ගන්නට සිදුවන්නේ පරණ ණය ගෙවීම සඳහා අලුතෙන් ගන්නට සිදුවන ණය වලට අමතරවයි. පසුගිය වසරේ රජයේ අයවැය හිඟය පියවා ගත්තේ පහත පරිදියි.
මහ බැංකුවෙන් ලබාගත් ණය – රුපියල් බිලියන 1,338.4යි.
වාණිජ බැංකු වලින් ලබාගත් ණය – රුපියල් බිලියන 300.3යි.
අනෙකුත් දේශීය ණය – රුපියල් බිලියන 396.4යි
දේශීය ණය එකතුව – රුපියල් බිලියන 2,035.1යි
විදේශ ණය – රුපියල් බිලියන 424.8යි
එකතුව – රුපියල් බිලියන 2,460.0යි.
පොලී ගෙවීම්ද ඇතුළුව අයවැය හිඟය පියවීම සඳහා ගත යුතු වූ ණය ප්‍රමාණය දදේනියෙන් 10%ක් පමණ වුවත්, පරණ ණය ගෙවීම සඳහා දදේනියෙන් 27%ක පමණ වූ තවත් ණය ප්‍රමාණයක් අවශ්‍ය වී තිබුණා. රජයට ණය පැහැර හරින්නට සිදු වුනේ රාජ්‍ය ආදායම මෙන් හතර ගුණයකටත් වැඩි, දදේනියෙන් 37%ක් පමණ වූ, වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය තරමට අලුතෙන් ණය ගත නොහැකි වූ නිසයි.
පරණ ණය ගෙවීමට පමණක් අලුතෙන් ණය ගනිද්දී වුවත්, විණිමය අනුපාතය වෙනස් වීම වැනි හේතු නිසා ණය ප්‍රමාණය ඉහළ යනවා. අලුත් ණය අරගෙන පරණ ණය වල පොලී ගෙවද්දී ණය ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ප්‍රාථමික අයවැය හිඟයක් ඇති විට ණය ප්‍රමාණය ඊටත් වඩා වැඩි වෙනවා. ලංකාවේ ණය ප්‍රමාණය තවතවත් වැඩිවීම සැලකිය යුතු කාලයක් (දශක කිහිපයක්) යන තෙක් කිසිසේත්ම නොවැලැක්විය හැකි දෙයක් වුවත් එසේ වැඩි වන ණය ප්‍රමාණය පාලනය කළ හැකියි.
ණය වැඩිවීම පාලනය කර ගත හැකි පළමු හා පහසුම ක්‍රමය ප්‍රාථමික හිඟය ප්‍රාථමික අතිරික්තයක් කර ගැනීමයි. දෙවන ක්‍රමය පොලී වියදම් අඩු කර ගැනීමයි. පොලී වියදම් අඩු කරගත හැකි පළමු ක්‍රමය ණය ප්‍රමාණය අඩු කර ගැනීමයි. දෙවන ක්‍රමය පොලී අනුපාතික අඩු කර ගැනීමයි. පළමුවැන්න කිසිසේත්ම නොකළ හැකි දෙයක් නිසා කළ හැකි දෙය දෙවැන්නයි.
කළ යුත්තේ පොලී අනුපාතික අඩු කර ගැනීමනම් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළේ ඇයි කියන එක බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. මෙයට කෙටි පිළිතුර මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළේ පොලී අනුපාතික අඩු කර ගැනීමට බවයි.
විසෙන් විස නසනවා කියන එක ලංකාවේ ගොඩක් අය අසා තිබෙන දෙයක්. ආර්ථිකය පාලනය කිරීමත් බොහෝ විට විසෙන් විස නැසීමක්. උද්ධමනය අඩු කර ගැනීම සඳහා විදුලි ගාස්තු, බදු ආදිය වැඩි කරන්න වෙනවා. රටට විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීම සඳහා රටෙන් එළියට නිදහසේ විදේශ විණිමය ගෙන යාමට ඉඩ සලසන්න වෙනවා. අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට වැඩියෙන් ආනයන කරන්න ඉඩ දෙන්න වෙනවා. නිෂ්පාදනය කාර්යක්ෂම කර ගැනීමට අකාර්යක්ෂම සමාගම් වැහෙන්න ඉඩ හරින්න වෙනවා. මේවා සිදු වෙන ආකාරය අදාළ සිද්ධාන්ත නොදැන නිකම්ම සිතා තේරුම් ගන්න අමාරුයි.
දිගුකාලීනව පොලී අනුපාතික අඩු මට්ටමක තබා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී පොලී අනුපාතික වැඩි කළ යුතුයි. මේ වන විට ලෝකය පුරාම මහ බැංකු විසින් කරමින් සිටින්නේ මෙයයි. නියම වෙලාවට නොවුණත්, ප්‍රමාද වී හෝ පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතිනවා. මේ වැඩේ කලින්ම කළානම් උද්ධමනය හෝ පොලී අනුපාතික මෙපමණ ඉහළ යන්නේ නැහැ. පහත රූප සටහනේ තිබෙන්නේ මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරද්දී වුවද, වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති ආකාරයයි.
ඉදිරි මාස තුන තුළ උද්ධමනය 15-20% මට්ටමට පහත වැටෙද්ද්දී පොලී අනුපාතිකද එම පරාසය දක්වා ක්‍රමයෙන් පහත වැටීමට නියමිතයි. උද්ධමනය 5% මට්ටම දක්වාත්, පොලී අනුපාතික 7%ට වඩා අඩු මට්ටමක් දක්වාත් අඩු කර එම මට්ටම් වල ස්ථාවර ලෙස තබා ගැනීම IMF වැඩ පිළිවෙළෙහි ඉලක්කයයි.
~ ඉකොනොමැට්ටා
RN