*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කරලා , හාල් කිලෝ පහට, හාල් කිලෝ විස්සට ඡන්දය ගන්න හදනවා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW): මේ 21වැනි සියවසේ හාල් කිලෝ විස්සක් බෙදා දී ඡන්දය ලබා ගැනීමට කල්පනා කරන බවත්, ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කරමින් හාල් කිලෝ පහට, හාල් කිලෝ විස්සට ඡන්දය ලබාගත හැකි දැයි බලන පිරිසක් අද බිහි වී ඇති බවත් , ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දිළිඳුභාවය ඔවුන්ට දේශපාලන පාපන්දුවක් වුණත් අපට අවසන් කළ යුතු සමාජ ඛේදවාචකයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

වැඩිදුරත් ඒ මහතා පැවසූවේ,

පසුගිය කාලයේ ආණ්ඩු ගොඩනඟන, ආණ්ඩු පෙරළන ක්‍රියාවලියේ සක්‍රිය, සැලකිය යුතු දායකත්වයක් සමෘද්ධි නිලධාරීන් විසින් දැරුවා. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාව ඉලක්ක කර ගත් දේශපාලනයක්. ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක කළා. සමෘද්ධිය ලබා දීම, සමෘද්ධිය කැපීම දෙකම තෝරා ගත්තේ ඔවුන්ගේ බල වුවමනාව වෙනුවෙන්. ඔවුන්ගේ බලය පරාජයට පත් කොට නව දේශපාලන හැරවුමක් වෙනුවෙන් සමෘද්ධි නිලධාරීන් අපත් සමඟ එක් වී සිටීමම විශාල ජයග්‍රහණයක්. කෙනෙක් ආර්ථික වශයෙන් දුප්පත් නම්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, දරුවන්ට නිසි අධ්‍යාපනයක්, ඒ පවුල්වලට නිසි පෝෂණයක් නැති බව තහවුරු වෙනවා. ඒ විතරක් නොවෙයි, දුප්පත් ජනතාව සමාජයේ කොන් කිරීමට භාජනය වෙනවා. පාසලේදී, පොලිසියේදී, බස් එකේදී, බැංකුවේදී හැම තැනකදීම පුරවැසියන් කොන් කිරීම සඳහා දුප්පත්කම යොදාගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් දුප්පත්භාවය විසින් සමාජයේ විවිධ අපරාධවලට බහුතරයක් තල්ලු කිරීමක් සිදු කෙරෙනවා. ඒ වාගේම දුප්පත්භාවය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අතරත් සම්බන්ධයක් තිබෙනවා. පවුල් කඩාවැටීමටත් ඒක හේතු වෙනවා. දුප්පත්කම කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි, ඊට එහා යන ඛේදවාචකයක්.

සහනාධාර අවශ්‍යද යන සංවාදයක් සමාජයේ ඇති කර තිබෙනවා. නමුත්, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දුප්පත් ජනතාව ඒ ව්‍යසනයෙන් මුදා ගැනීම ආණ්ඩුවේ වගකීමක් ලෙස අරගෙන තිබෙනවා. කොවිඩ් වසංගතය වෙලාවේ ඒ පුරවැසියන් රැකබලා ගන්න විශේෂ වැඩපිළිවෙළවල් පවා ඒ රටවල හඳුන්වා දෙනු ලැබුවා. ඕනෑම ආර්ථික ව්‍යසනයකදී ආර්ථිකයෙන් පිටමං කෙරෙන පොදු ජනයා රැකබලා ගැනීම සමාජයීය වාගේම ආණ්ඩුවක වගකීමක්. එය අත්හරින්න බැහැ. කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.4%ක් දිළිඳු ජනයා රැකබලා ගන්න යොදවනු ලැබුවා. බංග්ලාදේශයේ 0.8%ක්. වියට්නාමයේ 1.6%ක්. නමුත්, ශ්‍රී ලංකාවේ 0.4%යි. මේ කලාපයේ දිළිඳු ජනයා කෙරෙහි අඩුම අවධානය යොමු කර තිබෙන රට ශ්‍රී ලංකාවයි. එංගලන්තය වාගේ රටක විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ඔවුන් රැකබලා ගන්නවා. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දිළිඳු ජනතාව රැකබලා ගැනීමත්, ඔවුන් ආර්ථිකයට ඇතුළත් කර ගැනීමත් ක්‍රියාත්මක කරනවා. 1970දී හඳෙන් හරි හාල් ගෙනැත් නොමිලේ හාල් සේරු දෙකක් දෙන බව කීවා. 1977දී ධාන්‍ය රාත්තල් අටක් ලබා දෙන බව කීවා. 1989දී ‘ජනසවිය’ දෙන බව කීවා. ඒ වාගේම සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දාන්නත්, බත් කෑමෙන් පසු ගස්ලබු කෑල්ලක් කන්න ලබා දෙන්නත් ආදී වශයෙන් දිළිඳු ජනයා ඉලක්ක කර ගත් දේශපාලන ව්‍යාපෘති ඉදිරිපත් කළා. 1994දී ‘සමෘද්ධිය’ත්, බැසිල් රාජපක්‍ෂ ‘දිවිනැඟුමත්’, රනිල් වික්‍රමසිංහ ‘අස්වැසුම’ බවටත් පත් කරගෙන දිළිඳු ජනයා ඉලක්ක කරගෙන යනවා. දිළිඳු ජනයා ඔවුන්ගේ දේශපාලනයේ ඉලක්කය කර ගැනීමට නම්, ඒ ජනතාව දුප්පත්කමේ ගිලටීනයේ හිර කර තබා ගත යුතු වෙනවා. 21වැනි මේ සියවසේ හාල් කිලෝ විස්සක් බෙදා දී ඡන්දය ලබා ගැනීමට කල්පනා කරනවා. ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කිරීමෙන් පස්සේ හාල් කිලෝ පහට, හාල් කිලෝ විස්සට ඡන්දය ලබාගත හැකි දැයි බලනවා.

ඡන්දය ඉල්ලන අය සහ ඔවුන්ට ඡන්දය දෙන අය අතරේ කොතරම් වෙනස්කම් තිබෙනවාද? වේදිකාවේ සුකුමාර ජීවිත ගත කරන අය ඉන්නා අතර, වේදිකාව ඉදිරිපිට දුප්පත්කමේ පතුලේම යාචකභාවයට පත් කළ ජනතාවක් ඉන්නවා. කෑම පැකැට් එකක්, රුපියල් දාහක්, අරක්කු කාලක්, සාරියක් බෙදා රැස්වීම්වලට ගෙන්වා ගන්න උත්සාහ කරනවා. මේ ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කර නැත්නම්, ඇත්ත දේශපාලන සංවාදය එළියට එනවා. ඒ සංවාදය කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, පුරවැසියන්ගේ නිදහස, වංචා, දූෂණ, මහජනයාගේ ධනය හොරකම් කිරීමේ අපරාධය වාගේ සංවාද ඉදිරියට එනවා. හොරකම් කිරීම අපරාධයක් ලෙස භාර නොගෙන ඒ හොරකම් කළ දෙයින් සුළු කොටසක් ජනතාවට බෙදා දීම ලබාගෙන සැනසීමට පත් වෙන ජනතාවක් නිර්මාණය වී සිටිනවා. දුප්පත්භාවය විසින් සියලු සමාජ සාරධර්ම පසෙකට හෙළා තිබෙනවා. ඒ නිසා දුප්පත්භාවය පවත්වාගෙන යාම ඔවුන්ගේ දේශපාලනය බවට පත් කර තිබෙනවා. 2009 වර්ෂයට කලින් ලංකාවේ දුප්පත්භාවයේ සිටියේ මිලියන 03යි. අද දුප්පත්භාවය ලක්‍ෂ 70යි. මාසික ඒකපුද්ගල ආදායම රුපියල් 17,317ට වඩා අඩු අය දුප්පත් අය ලෙස සලකනවා. අපේ රටේ තුනෙන් එකක් දුප්පත්භාවයේ වෙළී සිටිනවා. ඡන්ද කාලයේදී සමෘද්ධි දීමනාව වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගේනවා. ‘අස්වැසුම’ මුලින් සැලැසුම් කර තිබුණේ එයට සහභාගී කර ගන්න පවුල් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කිරීමටයි. නමුත්, හදිසියේ ඡන්දය එන නිසා ඒ සහනාධාරය දෙන පිරිස වැඩි කරමින් ඉදිරියට යනවා. ඊට අමතරව හාල් කිලෝ විස්ස ගාණේ අතිරේකව ලබා දෙන්නත් ලෑස්ති වෙනවා. දිළිඳුභාවය පිළිබඳ ප්‍රශ්නය ඉතිහාසය පුරාම ඔවුන්ගේ දේශපාලන පිටියේ පාපන්දුවක් බවට පත් කරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපට දිළිඳුභාවය සමාජ ඛේදවාචකයක්; ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්; සමාජ අර්බුදයක් පිළිබඳ ප්‍රශ්නයක්.

දිළිඳුභාවයෙන් පෙළෙන ජනතාව එයින් මුදා ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් පිළිබඳව දන්නේවත් නැතිව ළමුන් මිය යනවා. පාසල් 1200ක දරුවන් අධ්‍යාපනයට අත්හැර ගොස් සිටිනවා. ඒ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමේ සාධාරණ අවස්ථාව මඟහැර තිබෙනවා. ආරම්භයේ දීම ඒ දරුවන්ව අධ්‍යාපනයෙන් පිටමං කිරීමට දුප්පත්භාවය හේතු වී තිබෙනවා. අපි මේ ප්‍රශ්නය ඡන්ද ලබා ගැනීමේ මෙවලමක් ලෙස නොව සමාජ ඛේදවාචකයක් ලෙස දකිනවා. අපට පෞද්ගලිකව ගත්තොත්, දුප්පත්කම පැෂන් එකක් නොවෙයි, ජීවිතය පිළිබඳ අත්විඳීමක්. ග්‍රාමීය දුප්පත් ජනතාව එයින් මුදා ගැනීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ආරම්භයේ ජනතාවට ආහාර ලබා දීම, සෞඛ්‍ය පහසුකම් ලබා දීම, දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි සෘජු සහනාධාර පුරවැසියන්ට ලබා දී ක්‍රමානුකූලව සක්‍රිය ආර්ථික වැඩපිළිවෙළක කොටස්කරුවන් බවට පත් කර ගනිමින්, ආධාරවලින් මුදා ගන්න ඕනෑ. අපේ ප්‍රතිපත්තිය ඒක. දිළිඳු ජනතාව සක්‍රියව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා තෙක් සෘජු මැදිහත් වීමකින් ඔවුන් රැකබලාගත යුතුයි. ශ්‍රී ලංකාවේ පළාත් අනුව වැඩිම පිරිසක්, සියයට 48%ක් දුප්පත්භාවයේ සිටින්නේ ඌව පළාතේ. දකුණු පළාතේ සියයට 41%ක්. සබරගමුවේ සියයට 40ක්. මධ්‍යම පළාතේ 38%ක්, උතුරු පළාතේ 33%ක්, උතුරුමැද පළාතේ සියයට 31%ක් වශයෙන් දුප්පත්භාවය විසිරී තිබෙනවා. කොළඹින් පරිබාහිරව ග්‍රාමීය දුප්පත්භාවය වැඩියි. ජාතික නිෂ්පාදිතයෙන් සියයට තිස්හයක් බස්නාහිරට කේන්ද්‍රගතව තිබෙනවා. දකුණු පළාතේ සියයට නවයයි. ඌව පළාතේ සියයට හතරයි. උතුරුමැද පළාතේ සියයට පහයි. ඒ පළාත්වල ජනතාව ජාතික නිෂ්පාදිතයට දායක කරගෙන තියෙන ප්‍රමාණය අඩුයි.

දුප්පත්භාවයෙන් ජනතාව මුදා ගැනීමේ පළමු පියවර සෘජු සහනාධාර වන අතර, දෙවැනි පියවර ආර්ථිකය ප්‍රසාරණය කිරීමයි. කොළඹ කේන්ද්‍රගත කර ගත් ආර්ථිකයේ සිට ගම් දක්වා ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕනෑ. ග්‍රාමීය දුප්පත්භාවය පදනම් කරගෙන නව ආයෝජන සහ එයට අනුරූපී බදු ප්‍රතිපත්තියක් හදන්න අපි ලෑස්තියි. බස්නාහිර පළාතට වඩා ඌව පළාතට ගෙන යන ආයෝජනවලට අමතර බදු සහන ලබා දෙන්න අපි සූදානම්. ඒ වාගේම පොලී අනුපාතත් ඒ ආකාරයෙන් වෙනස් වන නව සංවර්ධන බැංකුවක් අපි පිහිටුවනවා. ගමේ ඉන්න කෙනා ගමේම ජීවත් වෙමින්, ආර්ථිකයට දායක වනවා මිස ගමෙන් කොළඹට ඇවිත්. කොන්ක්‍රීට් ඇනීමෙන් දුප්පත්භාවයෙන් මිදෙන්නේ නැහැ. තුන්වැනි පියවර දැනටමත් ග්‍රාමීය ජනතාව ආර්ථිකයේ නියැළී සිටින ප්‍රභවයන් සංවර්ධනය කිරීමයි. ගොවියා, කුඩා තේ වතු හිමියා, ධීවරයා, සංචාරක ව්‍යාපාරයේ නියැළෙන්නා ආදී වශයෙන් දැනටමත් සම්බන්ධ වී සිටින ප්‍රභවයන් විද්‍යාත්මකව ඵලදායී ලෙස සංවර්ධනය කරන්න ඕනෑ. නිසි ආදායමක් ලැබෙන්නේ ඒ තුළින්. ග්‍රාමීය දුප්පත්භාවයෙන් මුදාගෙන ආර්ථිකයෙන් පිටමං කර සිටින මිනිස් දූවිලි සේ සලකන ජනතාව ආර්ථිකයේ ගෞරවනීය කොටස්කරුවන් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ වෙනුවෙන් හතරවැනි පියවර නව ආර්ථික ප්‍රභවයන් හඳුන්වා දීමයි. මේ ආකාරයෙන් අඛණ්ඩව පොරබැදීමෙන් ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්නවා. ඒ වෙනුවෙන් ක්‍රියාකාරී යාන්ත්‍රණය බවට පත් වන්නේ සමෘද්ධි නිලධාරී කණ්ඩායමයි. සියල්ල දේශපාලනීයකරණයට ලක් කර තිබෙන ක්‍රමයෙන් මුදා ගන්නා අතරම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිවකුත් යොදවා ගන්නේ නැහැ. බෙදන දේශපාලනය වෙනුවට ගොඩනඟන දේශපාලනය රටට හඳුන්වා දෙනවා. තව පැත්තකින් ග්‍රාමීය ක්‍ෂුද්‍ර මූල්‍ය ණය විශාල සමාගම් අතේ කේන්ද්‍රගත වී තිබීම වෙනස් කිරීමේ බැංකු හඳුන්වා දෙන්නත් ඕනෑ. අඩු පොළී අනුපාතයකට ග්‍රාමීය ජනතාවට ණය දෙන්න සමෘද්ධි බැංකු පද්ධතිය ක්‍ෂුද්‍ර මූල්‍ය පද්ධතියකට පරිවර්තනය කළ හැකියි. දැනටමත් රුපියල් බිලියන 238ක වත්කම් මේ බැංකුවලට තිබෙනවා. සමාජ ආරක්‍ෂණ අරමුදලේ බිලියන 14කුත්, ස්ථිර තැන්පතු අරමුදලේ බිලියන 43ක් පමණත්, ලොතරැයි අරමුදලේ බිලියන 19ක් පමණත් තිබෙනවා.

මේ සමෘද්ධි බැංකුම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය බවට පරිවර්තනය කරන්න ආසියානු සංවර්ධන බැංකුව වාගේ ආයතනවලින් ආධාර ලබා ගන්න පුළුවන්. මේ වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරයේ කටයුතු කරන ඔබ සියලු දෙනා වෙත නව සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙනවා. දේශපාලන ව්‍යාපෘතියක් නොව අපි හැමෝම එක් අරමුණකට වැඩ කරන අත්හළ නොහැකි සමාජ කාර්යභාරයක් ඉටු කරන පිරිසක් හැටියට ක්‍රියා කළ යුතුයි. එන්.පී.පී. පාලනයක් යටතේ අපි හැම දෙනාම එකතු වී දිළිඳු බවේ ඛේදවාචකයෙන් වේදනා විඳින ජනතාව මුදා ගැනීමේ එකම අරමුණකින් අපි ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකාවන්ව ක්‍රියා කරමු කියා ඉල්ලා සිටිනව”.

අද (07) දින NPP සමෘද්ධි ජාතික සාමුහිකය – මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan