නිශ්මං රණසිංහ ,අප්‍රේල් 08, කොළඹ LNW:
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක සීමිත පන්දු වාර සහ පන්දු ඕවර් 20,අවුරුදු 19 න් පහල තුන් කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් එංගලන්තය පරදවා ලකුණු 52 ක් ජයක් ශ්‍රී ලංකාව අත් කර ගත්තා.පන්දු ඕවර් 50 තරගයේදී ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත් පන්දු ඕවර් 50 පෙරාතුව ලකුණු 170 ට ශ්‍රී ලංකා ඉණිමට තිරිංග දැමීමට එංගලන්තය සමත් වුණා.
ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුවම චමෝදි පැවසුවේ ඔස්ට්‍රේලියාවේ තණතිලි මත වේගයෙන් පන්දු යැවීමට ඇති අවස්ථාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ තණතීරුවලට වඩා යම් අපහසුවක් පැන නඟිනු ඇති බවය.ඊට හොඳම සාක්ෂිය වූයේ එංගලන්ත කණෟඩායමේ ටෘඩි ජොන්සන් ය. ඇය පන්දු ඕවර් 8.4 ක් යවා ලකුණු 9 ට කඩුලු 4 ක් දවා ගන්න සමත් වූවාය.එහෙත් ඇයගේ වේගයටත්,වේගය තරම්ම තර්ජනයක් ඇති කළ මාරියා ඇන්ඩෘස්ගේ දඟ කැවීමටත් ඔරොත්තු දෙමින්,ඔස්ට්‍රේලියානු තණතිලි හුරු ලිමිනි තිලකරත්න අගනා ඉණිමක් දියත් කළාය.පන්දු 85 දී ලකුණු 51 ක් ඇය ලබා ගත්තාය.හතරේ පහර 2 ක් සහ එක් හයේ පහරක් පමණක් ඇතුළත් වූ එම ඉණිමට මනා සහයක් දුන් ශෂිනි ගිම්හානි පන්දු 50 දී ලකුණු 39 ක් ලැබුවේ ද හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමඟය.ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සබඳතාවයක් ඇති කරන්නට ද සමත් විය.
පන්දු ඕවර් 42.4 ට පසුව ඇරඹෙන එංගලන්ත ඉණිමේ දී ශ්‍රී ලංකාව පන්දු යැවීම සඳහා වේග පන්දු යවන්නන්ම ආරම්භයට යොදා ගත්තේ නැත.ධනෝධ්‍යා සෙව්මිණි සමඟ නායිකා චමෝදි ප්‍රබෝධා පන්දු යැවීම ආරම්භ කළාය.ධනෝධ්‍යා පන්දු ඕවර් 3 ක් පමණක් යැවීය.ඇය ලකුණු 19 ක් ලබා දී කඩුල්ලක් ලබා ගත්තාය.ඩාරියා දිසානායක අනේක මඳ වේග පන්දු යවන්නිය වූ අතර ඇය පන්දු ඕවර් 2 ක් පමණක් යවා ලකුණු 9 ක් ලබා දුන්නාය.
වේගයට වඩා තණතීරුව දෙවන අර්ධයේදී දඟ පන්දුවෙන් වශී කර ගැනීමට හැකි බව චමෝදි යැවූ පළමු පන්දුවේ සිටම පැහැදිළි වන්නට වූවාය.ඇය සිය පන්දු ඕවර් 10 ම යවා ලකුණු 13ක් දී කඩුලු 3 ක් දවා ගත්තාය.අසෙනි තලගුනේ පන්දු ඕවර් 9.1 දී ලබා දුන්නේ ලකුණු 11 ක් පමණි.ඇයද කඩුලු 3ක් දවා ගත්තාය.ඉතාම අඩු වයසේදී සිය දඟ පන්දුවෙන් ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගත් ශෂිනි ගිම්හානි මේ වන විට ප්‍රහාරාත්මක පිතිකාරිණියක් ලෙස විශ්වාසයෙන් ගොඩ නැඟෙමින් සිටින්නීය.එහෙත පන්දු යවන්නියක ලෙස ඇය සතු වෙනස් ඉරියව්ව සමග ගොඩ නඟාගත් අනන්‍යතාවය සහ හැකියාව යම් ආකාරයකට ගිලිහෙමින් තිබීම කණගාටුදායකය.ඇය නැවත පන්දු යැවීමෙන් ඉහළට ගැනිමට අවැසි මට්ටමද නිර්මාණය කර ගැනීමට පුහුණු කාර්ය මණ්ඩලයේ අවධානය යොමු විය යුතුය.ඇය එංගලන්තයට එරෙහිව එක් කඩුල්ලක් දවා ගැනීමට පන්දු ඕවර් 9 ක් යවමින් ලකුණු 35 ක් ලබා දුන්නාය.
එංගලන්තය වෙනුවෙන් බ්‍රයෝනි ගිල්ග්‍රාස් ලකුණු 35 ක් ලැබුවාය.එසේම අවසන් මොහොතේ අංක 10 පිතිකරු ලෙස පැමිණි බී විල්ස් පන්දු 20 දී නොදැවී ලකුණු 20 ක් ලැබුවේ හයේ පහරක් සහ හතරේ පහරක් ද එල්ල කරමින්ය.එහෙත් ඒවා ශ්‍රී ලංකා පන්දු යැවිමේ බල ඇණියේ ශක්තිය පළුඳු කරන්නට සමත් මට්ටමේ නොවිණ.තරගයේ එංගලන්තය මුහුණ දුන් 43 වන ඕවරයේ පළමු පන්දුවට අවසන් කඩුල්ල ලෙස වීනස් වීරප්පුලි අසෙනි තලගුණේ ට ගොදුරු වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 118 ක් ව තිබියදීය.



