*
Monday, April 14, 2025
spot_img

Latest Posts

ඉන්දියානු තර්ජන මෙයින් හමාරයි!

කොළඹ LNW:IMF උගුලෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමේ මහා මෙහෙයුම ජයග්‍රහණය කළ වහාම NPP ආණ්ඩුව ඉන්දියානු තර්ජන අවසන් කිරීමේ මහා මෙහෙයුම ද ජයග්‍රහණය කර තිබේ. එහෙත් මේ මෙහෙයුම අද ඊයේ සිදුකළ දෙයක් නොවන බවත් ඊට 1965 දක්වා වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවත් අපි දනිමු. මා මේ ලිපිය ලියන්නේ ඒ සඳහා කැපවූ සහ දිවි පිදූ සියලු දේශප්‍රේමීන්ට උපහාරයක් වශයෙනි.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අරඹයා ශ්‍රී ලංකාව යනු වැදගත් සාධකයක් නිසා යටත් පිරිසෙයින් එය ඉන්දියාවට ලැදි රාජ්‍යයක් වශයෙන් හෝ පැවතීම ඉන්දියාව විසින් අපේක්ෂා කිරීමෙහි අසාධාරණයක් නැති නමුත් ඉන්දියාවේ ආධිපත්‍යයට නතු නොවී පැවතීමට ඇති කැමැත්තට සහ ආර්ථික වශයෙන් දියුණු රටවල උදව් ලබා ගැනීමට ඇති අයිතිය පරිදි ලංකාව ඉන්දියාවේ භූ-දේශපාලනික සතුරන් සමග පවා සහයෝගයෙන් කටයුතු කිරීමෙහි ද වරදක් නැත. මේ බවත් අවධාරණයට ගන්න. බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමෙන් පසුව පවා ලංකාව බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව සහ සහයෝගය අපේක්ෂා කළ අතර, එබැවින් 1948දී බ්‍රිතාන්‍ය විසින් ලංකාවට නිදහස ලබා දෙන්නේ, සමහර විට සිය භූ-දේශපාලනික අරමුණු ද පෙරදැරිව, ලංකාව තව දුරටත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත් රාජ්‍යයක් වශයෙන් තබා ගනිමින් ය. හුදෙක් එය නාම මාත්‍රික යටත් කර ගැනීමක් හෙවත් ඉතා ලිහිල් යටත් කර ගැනීමක් පමණක් බව, එනම් ලාංකිකයින්ගේ කැමැත්ත ද සහිත යටත් කර ගැනීමක් බව අපට හැඟෙන්නේ 1970 දී පිහිටු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1972 වර්ෂයේදී සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාවෙන් එකී බන්ධනය ඉතා පසුවෙන් අහෝසි කර ගැනීමට ලංකාවට හැකි වූ බැවිනි. එයින් පසුව ලංකාව කෙරෙහි වූ බ්‍රිතාන්‍යයේ වගවීම අවසන් වූ අතර, මා හට අනුව නම් ඒ වනාහි ලංකාවට නොකල්හි ලැබූ නිදහසින් උරුම වූ “පසුගාමීත්වයේ අවාසනාව” අවම කළ “වාසිදායක තත්ත්වය” පවා අහිමි කර ගැනීමකි. යටත් විජිත තත්ත්වයෙන් නිදහස් වීම අවශ්‍ය දෙයක් නමුත් ලංකාව බ්‍රිතාන්‍යයින්ගෙන් නිදහස ලබා ගත යුතුව තිබුණේ ඔවුන්ගෙන් උකහා ගතයුතුව තිබූ සියලු වටිනාකම් ලංකාවට උකහා ගැනීමෙන් සහ එමගින් ප්‍රමාණවත් ශික්ෂණයක් ලබා ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ කිරීමට මෙහිලා මම පසුබට නොවෙමි.

චීනයේ සහ රුසියාවේ අනුග්‍රහය ලංකාවට ලැබීමට පටන් ගන්නේ, ඒ පැවති සමගි පෙරමුණු රජයේ වාමාංශික ස්වරූපය කරණ කොට ගෙන ය. ඒ ගැන ඉන්දියාවේ අදහස කුමක්ද? නොපැහැදිලි නැත, ඉන්දියාවේ සහ චීනයේ දේශසීමා ආශ්‍රිත ප්‍රදේශ අරබයා ඉන්දියාව සහ චීනය අතර බලවත් සතුරුකමක් ගොඩ නැගී තිබූ බැවින්, ලංකාව චීනය සමග සබඳතා පැවැත්වීම සුළු තරමකින් හෝ ඉන්දියාවේ නොසතුටට හේතු වන්නට ඇත. එහෙත් එකාවන්ව බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි වීම වශයෙන් රුසියාව ඉන්දියාවේ ගජ මිතුරෙකු වූ බැවින් ලංකාව රුසියාව සමග සබඳතා පැවැත්වීම ඉන්දියාවට ගැටළුවක් වූයේ නැත. අවධාරණයට ගන්න – 1947ට පෙර ඉන්දියාව යනු අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. නිදහස ලබා ගත්තේ ඉතා වෙහෙසකර අරගලයක් මගින් ය. එසේ නිදහස ලබා ගැනීමෙන් පසුව පවා ඉන්දියාව බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි ස්ථාවරයක සිටි අතර, එහිදී ඇමෙරිකාවේ ආර්ථික අධිරාජ්‍යවාදයට පවා එරෙහි විය. නිදහස ලැබූ තැන් සිට ඉන්දියාවට අවශ්‍ය වූයේ ලෝකය තුළ ධනවත් සහ බලවත් රටක් වශයෙන් ස්වාධීනව නැගී සිටීමට ය. එහිලා යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් අවහිරකම් එල්ල වෙනු ඇතැයි සිතූ තරමින් මේ මෑතක් දක්වාම (සමාජවාදී කඳවුර බිඳ වැටෙන තෙක්ම) ඉන්දියාව කටයුතු කළේ සමාජවාදී රුසියාව සමග සහයෝගයෙන් ය. එය ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරේ කනස්සල්ලට හේතු වූ බව ඉන්දියාවේ බාහිර සහ අභ්‍යන්තර සතුරන්ට ඇමෙරිකාවෙන් යම් හෝ අනුග්‍රහයක් ලැබුණේ නම් එමගින් සනාථ වනු ඇත.

යටත්විජිතකරණ තරගයේදී ඉන්දියානු උපමහද්වීපයට බටහිර රාජ්‍යයන් තුනක ආක්‍රමණිකයින් පැමිණි නමුත්, පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණකයින් දෙපිරිස පරදවා, සමස්ත උප මහද්වීපය තමන්ගේ ආධිපත්‍යයට පමණක් නතු කර ගැනීමට බ්‍රිතාන්‍යයින්ට හැකි විය. එහිදී වර්තමාන ඉන්දියාවත් පකිස්තානයත් බංග්ලාදේශයත් එකම විජිතයක් වශයෙන් පාලනය කෙරුණු අතර ලංකාව එයටම ඈඳා පාලනය කිරීමට උනන්දු නොවීම, එනම් එය වෙනම විජිතයක් වශයෙන් පාලනය කිරීමට උනන්දු වීම විශේෂ කරුණක් වශයෙන් සැලකීම සුදුසු වනු ඇත. නොපැහැදිලි නැත, භූමියේ ප්‍රමාණයත් ඊට අයත් සම්පත් ප්‍රමාණයත් අනුව බ්‍රිතාන්‍යට වඩාත් වටින්නේ ඉන්දියාව ය. ලංකාවට වටිනාකමක් ලැබෙන්නේ එහි උපාය මාර්ගික පිහිටීම අනුව ඉන්දියාවේ ආරක්ෂාව අරබයා එය තීරණාත්මක වන බැවිනි. එනිසාම ලංකාව ඉන්දියානු පරිපාලනයෙන් බැහැරව සහ ස්වාධීනව තබා ගැනීම සුදුසු වූ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඍජු මැදිහත් වීමෙන් (ආණ්ඩුකාරයෙකුගේ මාර්ගයෙන්) ලංකාව පාලනය වූයේ ඒ නිසා විය හැකිය. ඉදින් 1947දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දියානු රාජ්‍යයට එහි ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ග්‍රහණයේ තබා ගැනීමට අවශ්‍ය වීම අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. එහෙත් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කර ගැනීම ඉවසුම් සහගතව ඉටු කරගත යුතු කටයුත්තක් බව දන්නා ඉන්දීය පාලකයින්, එදා මෙදාතුර කටයුතු කළේ එතෙක් ශ්‍රී ලංකාව තමන් විෂයයෙහි කීකරුව තබා ගැනීමට පමණක් බව සිතා ගැනීමට බැරිකමක් නැත. 1977 දක්වාම ශ්‍රී ලංකාව ඒ සඳහා වගවීමෙන් කටයුතු කළ නමුත්, ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් වේගවත් දියුණුවකට ලක් කිරීමට ඇති කර ගත් අධිෂ්ඨානය කරණ කොට ගෙන ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලයේදී ශ්‍රී ලංකාව යුරෝපයට සහ ඇමෙරිකාවට නැඹුරු වූ අතර, එකී තත්ත්වය විසින් ඉන්දියාවේ සැකයට ගොදුරු වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඉදින් කොන්ග්‍රස් පක්ෂයේ පාලන අවධියේදී ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දෙමළ ඊලාම් අරගලයට අනුග්‍රහය දැක්වූයේ මූලික වශයෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත පක්ෂවලින් එල්ල වූ පීඩනය නිසාවෙන් වුවද, ඊට අමතරව එය ද හේතුවක් වූ බව 1987 ජූලියේදී අත්සන් කෙරුණු ඉන්දු-ලංකා සාම ගිවිසුමේ සඳහන් වී ඇති ආරක්ෂක එකඟතාවන් මගින් සනාථ වේ. බැලූ බැල්මට එම එකඟතාවන් අන්‍යොන්‍ය වශයෙන් ඉතාමත් සාධාරණ වූ බව පෙනෙන්නට තිබූ නමුත්, ඉතා අවාසනාවන්ත ලෙස ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහජන එක්සත් පෙරමුණත්, තවත් සංවිධානත් විසින් එය ඉන්දියාවට යටත් වීමේ සහ රට දෙකඩ කිරීමේ ගිවිසුමක් වශයෙන් හුවා දක්වමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදුව 88-89 භීෂණය නිර්මාණය වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එම ව්‍යාපාරය එහි විප්ලවවාදී උපාය මාර්ගයට ගලපා ගැනීමට ක්‍රියා කිරීම නිසාවෙන් ය. “දේශප්‍රේමී අරගලයෙන් සමාජවාදයට”- එකල්හි එය ජවිපෙ උපාය මාර්ගය වූ අතර අරගලය සන්නද්ධ ක්‍රියාමාර්ගයක් වීම සාධාරණීයකරණය කරන ලද්දේ, දේශද්‍රෝහී ආණ්ඩුව විසින් දේශප්‍රේමීන් වෙත ප්‍රචණ්ඩත්වය දියත් කරන විට, ඊට උත්තර දීමට දේශප්‍රේමීන්ට සිදු වන්නේ ඊට සරිලන ආකාරයෙන් බව පවසමින් ය.

හැටේ දශකයේ පැන නැගුණු චීන-රුසියන් මත ගැටුමට සමගාමීව ලොව පුරා බොහෝ සමාජවාදී පක්ෂ මෙන්ම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද චීන පිළ සහ රුසියන් පිළ වශයෙන් දෙකඩ වීමකට ලක් විය. මේ කාලයේදී රුසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි රෝහණ විජේවීර විසින් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම හේතුවෙන්, නිවාඩු වාරයේදී ලංකාවට පැමිණීමෙන් පසු රුසියාවට නැවත යාම සඳහා වීසා නොලැබුණු අතර, එයින් පසු ඔහු චීන පිළේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් ටික කලක් කටයුතු කිරීමෙන් පසු එහිදී හඳුනාගත් කීප දෙනෙකු සමග එකතු වී 1965දී ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගන ලදුව, සිය සාමජිකයින්ට දේශපාලන දැනුම ලබා දීම සඳහා දේශන මාලාවක්ද සකස් කරන ලදී. “පංති පහ” නමින් ප්‍රකට වූ එම දේශනවලින් එකක් “ඉන්දියානු ව්‍යාප්තවාදය” වශයෙන් නම් කොට තිබූ අතර, ඉන්දියාව පිළිබඳ ජවිපෙ විරෝධය අප පළමුව දකින්නේ එහිදී ය. එහෙත් එයින් ප්‍රකාශ වූ ආස්ථානය ඔහුගේම හිතලුවක් යැයි සිතිය යුතු නැත. ඉන්දියාව කෙරෙහි වූ චීන විරෝධය න්‍යායික ස්වරූපකින් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළට ප්‍රේෂණය වී තිබෙන්න ඇති බවත්, රෝහණ විජේවීර විසින් “ඉන්දියානු ව්‍යාප්තවාදය” නමැති දේශනය සකස් කරන්නේ එහි ආභාෂයෙන් බවත් සිතා ගත හැකිය. එහෙත් 71 කැරැල්ල පරාජය වීමෙන් පසුව ජ.වි.පෙ. නැවත ගොඩ නැගීමේදී පැවැත් වූ පංති පහ තුළ ඉන්දියානු ව්‍යාප්තවාදය නමින් දේශණයක් නොතිබූ අතර, ජ.වි.පෙ. කෙරෙන් ඉන්දියානු විරෝධයක් දැකීමට නොලැබිණි. ජවිපෙ වෙතින් ඉන්දියානු විරෝධයක් යලි පැන නගින්නේ, ඉන්දියානු ආණ්ඩුව වසර ගණනාවක් තිස්සේ ලංකාවේ දෙමළ බෙදුම්වාදීන්ට අනුග්‍රහය ලබා දෙමින් සිට, 1987දී ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමත්, සමග ය. බෙදුම්වාදී අරගලයට මධ්‍යස්ථ විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කිරීමට ලංකා රජය ගිවිසුමෙන් එකඟ වූ අතර, එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යාමේදී බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ලවන විරෝධතා මැඩලීම සඳහා යුධමය ආධාර සැපයීමට ඉන්දියානු රජය එකඟ විය. ඒ අනුව ලංකා රජය වහාම පළාත් සභා පනත සම්මත කළ අතර, ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජයෙන් විශාල හමුදා සේනාංකයක් ලංකාවට එවන ලදී. එකල්හි ජවිපෙ විසින් එම කරුණු දෙක නිර්වචනය කළේ පළමුවැන්න (එනම් බලය විමධ්‍යගත කිරීම) රට බෙදීමක් ලෙස සහ දෙවැන්න (එනම් ඉන්දියන් හමුදාවේ පැමිණීම) ඉන්දියාව විසින් ලංකාව ආක්‍රමණය කිරීමක් වශයෙන් ය.

ලංකාව ඉන්දියාවට ඈඳා ගැනීමේ, එනම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමේ ඉන්දියාවේ “සුන්දර” කැමැත්ත සහ ලංකාවේ ඒ පිළිබඳ “සාධාරණ” ඇකැමැත්ත හැරුණු විට ඉන්දියාව සහ ලංකාව අතර කැපී පෙනෙන සතුරු කමක් ඇත්තේ නැත. එහෙත් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව භාවිතා කිරීමේ අභිලාෂයක් ඇමෙරිකාවට තිබෙන බව පිළිගන්නා උපන් ගෙයි ඇමෙරිකන් විරෝධීන් වූ ලංකාවේ වාමාංශික පක්ෂ, ඒ පිළිබඳ කොන්ත්‍රාත්තුව ලංකාව තුළ සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂය බව ඒත්තු ගන්වමින් කටයුතු කරන ලදුව ලංකාව විෂයයෙහි ඉන්දියානුවන් තුළ සැකයක් ජනිත කරන්නේ හෝ ඇති වූ සැකය තහවුරු කරන්නේ එම පක්ෂ විසින් ය. එ.ජා.ප.යේ ජේ. ආර් ජයවර්ධන යැංකි ඩිකී නමින් වාමාංශිකයින්ගේ සරදමට ලක් වූයේ, ඔහු කෙරෙන් විවෘතවම ප්‍රකට වූ ඇමෙරිකන් හිතවාදී ස්වරූපය නිසා නමුත් -අවධාරණයට ගන්න- ජේ.ආර්ගේ ඒ ඇමෙරිකන් ගැතිකමින් ලංකාවට වාසියක් විනා අවාසියක් සිදු වී නැති බව, ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපතිවරයා විසින් ලංකාව මත පැනවූ නව තීරු බදු ප්‍රතිශතය නිසා මුහුණ දීමට නියමිතව තිබෙන ආර්ථික අභියෝගය මගින් මැනවින් සනාථ වනු ඇත. ලංකාවේ අපනයන ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් අයත් වන්නේ ඇමෙරිකාවට ය. එකී අපනයනයන් සඳහා ඇමෙරිකාව පොළඹවා ගන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ පාලන කාලයේ නම් ඒ පිළිබඳ ගෞරවය ඔහුට හිමි විය යුතු වන වේ. ඉඳින් ඔහු විසින් ආරම්භ කරන ලද සමාජ ආර්ථික වැඩ පිළිවෙල ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක කිරීමට වාමාංශිකයින් ඉඩ ලබා දුන්නේ නම් (බාධා නොකළේ නම්) ලංකාවේ වර්තමන තත්ත්වය මීට වඩා අතිශයින්ම වෙනස් වන බවත්, මෙවැනි ආර්ථික අර්බුදයකට ලංකාව පත් නොවන බවත් ඉඳුරාම පැවසිය හැකිය.

කෙසේ නමුත් ජේ.ආර්. ජයවර්ධනගේ තාන්ත්‍රික භාවිතය ගැන අපතුළ අති විශාල වූ ප්‍රසාදයක් ඇතැයි සිතිය යුතු නැත. සමහර විට ඔහු කෙරෙහි අප තුළ පවතින අප්‍රසාදය, අප තුළ ඔහු කෙරෙහි පවතින ප්‍රසාදයට වඩා කිහිප ගුණයකින් වැඩි විය හැකිය. මක් නිසාද යත්,

  1. විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය දෙයක් නමුත් ජනාධිපතිවරයා තේරීම මහ මැතිවරණයේ ප්‍රතිඵලය මගින්ම සිදු නොකර, වෙනම පැවැත්වීම මගින් ඇතැම් විට අත්දකින ද්විත්ව (පරස්පර) බලය පිළිබඳ විෂම තත්ත්වයන්ට වග කිව යුත්තේ ඔහු ය.
  2. පෙර නොවූ විරූ ලෙස දේශපාලනයට මැරයින් සම්බන්ධ කර ගැනීම මගින් දේශපාලනය මැරකරණයට හුරු කරවන්නේ ඔහු ය.
  3. පාක්ෂිකයින් සතුටු කිරීම සඳහා ඔවුන්ට ආර්ථික අවස්ථාවන් පාදා දී ඔවුන්ට දේශපාලන අවස්ථාවන් පවා ලබා දීමෙන් (එනම් ජාවාරම් කිරීමට පහසුකම් සපයා මැතිවරණවලට ඉදිරිපත් වීමට ඉඩ දීම මගින්) දේශපාලන ක්ෂේත්‍රය පාදඩකරණයට ලක් කරන්නේ ඔහු ය.
  4. අනවරතව බලයේ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් සහ සමහර විට ඉන් පසුව එම පක්ෂය තුළ ඇති වූ භේද භින්න වීම් සඳහා කුමන්ත්‍රණකාරී ලෙස දායකත්වය සපයා දෙමින් අයුතු ලෙස විපක්ෂය දුර්වල කිරීමට කටයුතු කරන්නේ ඔහුය.
  5. සමගි පෙරමුණ වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ගැනීමට දායක වූ සම්ප්‍රදායික වාමාංශික පක්ෂ දුර්වල කිරීම සඳහා 1971 අප්‍රේල් කැරැල්ලේ චූදිතයින් නිදහස් කොට යලි සංවිධානය වීමට ඉඩදීම මගින් වඩාත් ආන්තික (කරදරකාරී) වමක් වූ ජවිපෙට යළි නැගී සිටීමට ඉඩ ලබා දෙන්නේ ඔහු ය.
  6. 1983 ජූලි භීෂණය (දමිල සංහාරය) දියත් කොට, එමගින් දමිළ ඊලාම් බෙදුම්වාදී ව්‍යාපාරයේ වර්ධනයට පෙර නොවූ තරමේ රුකුළක් දුන්නේ ඔහු ය.
  7. එ.ජා.ප.යේ ඇතැමුන් විසින් ඇති කළ එම දෙමළ සංහාරයේ වගකීම ව්‍යාජ ලෙස ජවිපෙ පිට පටවා එම පක්ෂය තහනම් කොට එය සන්නද්ධ අරගලයකට යොමු කිරීම මගින් 88-89 භීෂණයට පාර කපන්නේ ඔහු ය.

ත්‍රස්ත ක්‍රියාවන් දක්වා වර්ධනය වූ 87-89 අරගලය ජ.වි.පෙ. විසින් ඉන්දියානු අධිරාජ්‍යවාදයෙන් මව් බිම බේරා ගැනීමේ දේශප්‍රේමී අරගලයක් වශයෙන් නම් කළ නමුත්, සැබවින්ම එය උපක්‍රමික ක්‍රියාමාර්ගයක් පමණි. එනම් ජ.වි.පෙ. සැබෑ වශයෙන් කැප වී සිටියේ සමාජවාදී විප්ලවය වෙනුවෙන් වන අතර, අවස්ථානුකූලව (ඉතා සටකපට ලෙස) ඉන්දියානු ආක්‍රමණයක් මවා පෑවේ එමගින් ජනතා නැගිටීමක් සිදු කොට, උක්ත අරමුණ සපුරා ගැනීමට ය. ඒ වෙනුවෙන් ජ.වි.පෙ. විසින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් වූ නමටම පමණක් සීමා වූ සංවිධානයක් පවා ප්‍රකාශයට පත් කරන ලදුව ජ.වි.පෙ විසින් සිදුකළ සියලු ත්‍රස්ත ක්‍රියාවන්ගේ වගකීම ඊට පවරන ලද්දේ නීතිමය තත්ත්වයන්ගෙන් ආවරණය වීම පිණිස ය. සමාජය මත පැනවූ සියලු නියෝගයන් ප්‍රසිද්ධියට පත්කළේ, කීර්ති විජයබාහු නමින් වුව ද, එවැනි පුද්ගලයෙකු තබා ඒ නමින් නියෝජනය වූ පුද්ගලයෙකු පවා නොසිටියේ ය. කරුණු නොදන්නා අය කීර්ති විජයබාහු යනු ජ.වි.පෙ. සන්නද්ධ අංශයේ ප්‍රධානියා වූ සමන් පියසිරි ප්‍රනාන්දු යැයි සලකන නමුත් එය නිවැරදි නැත. ජනතා විමුක්ති පෙරමුණ විනා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් වූ සංවිධානයක් නොතිබූ බැවින් කීර්ති විජයබාහු කෙනෙක් සිටියේ යැයි සිතීම විකාරයකි. මවා පෙන්වාලූ එකී සිහින සෙන්පතියා ජ.වි.පෙ විසින් කීර්ති විජයබාහු ලෙස නම් කරන්නේ චෝල අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් ලංකාව මුදවා ගත්, කීර්ති කුමාරයාට හෙවත් පළමුවන විජයබාහු රජුට පිදූ උපහාරයක් වශයෙනි.

88-89 කාලය තුළ තමන් අතින් සිදු වූ ජීවිත සහ දේපොළ හානි සම්බන්ධයෙන් තමන් කණගාටු වන නමුත් ඊට වගකිව යුත්තේ තම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය අහිමි කරන ලද එදා පැවති එ.ජා.ප. ආණ්ඩුව බව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන විට, එයින් අවසාන වශයෙන් හැඟෙන්නේ ඒ පිළිබඳ චෝදනාවෙන් නිදහස් වීමට ඔවුන් තවදුරටත් උත්සහ කරන බවකි. එනම් එකල්හි ජ.වි.පෙ. විසින් සිදුකළ සියලු ත්‍රස්ත ක්‍රියාකාරකම්වල වගකීම ඒ පැවති ආණ්ඩුව විසින්ම භාර ගත යුතුව තිබේ. හොඳයි! එය එසේ විය යුතු යැයි අප විසින් පිළිගත්තේ යැයි සිතමු. එහෙත් ආණ්ඩුවේ මර්දනය තුළ ජීවිත අහිමි වූ හැට දහසකට වැඩි මිනිසුන් ගැන, ජීවිත අහිමි නොවූ නමුත් අප්‍රමාණ වූ වද වේදනාවන්ට ලක් වූ ඊටත් වඩා ප්‍රමාණයක් වූ මිනිසුන් ගැන, ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් නිසා පොදුවේ පීඩා වින්ද සමස්ත ජනතාව ගැන ටිල්වින් සිල්වා කියන්නේ කුමක්ද? ඒ පිළිබඳ වගකීමත් දැරිය යුත්තේ ඒ රජයමද? අසාර්ථක අරගලයක් සිදු කොට ඒ සා විශාල පීඩනයකට ලංකා සමාජය ගොදුරු කිරීමේ වරදින් නිදහස් වීමට ජ.වි.පෙ.ට හැකිවනු ඇතිද? ඇරැත් ජ.වි.පෙ. තහනම් කළ පමණින්, සහ තහනම ඉවත් කර ගැනීමට කටයුතු කොට එය අසාර්ථක වූ පමණින් ත්‍රස්ත ක්‍රියාමාර්ග තෝරා ගැනීමට ජ.වි.පෙ.ට ඇති අයිතිය කුමක්ද? නොපැහැදිලි නැත. තමන්ගේ උත්තරීතර අරමුණ වූ සමාජවාදය වෙනුවෙන් එසේ සිදු කිරීමට සිදුවනු ඇත. ඒ නැතත් ඉතා ආසන්න කාරණාව වූ ඉන්දියානු අධිරාජ්‍යවාදයෙන් මව් බිම නිදහස් කර ගැනීම වෙනුවෙන් සහ ඉන්දියානු මැදිහත් වීමෙන් දෙමළ ඊලමක් බිහිවීම වැලැක්වීම වෙනුවෙන් ජ.වි.පෙ. එසේ කටයුතු කළ යුතුව තිබිණි. එහෙත් සිදු වූයේ කුමක්ද?ඔවුන් සිය දේශප්‍රේමී අරගලය ජය ගත්තේද? යටත් පිරිසෙයින් මේ යැයි කිව හැකි කුමන හෝ ප්‍රයෝජනයක් එයින් ලැබුණේද? නැත!නැත!! නැත!!! මහා ජීවිත හානියක්, දේපොළ විනාශයක් සහ වසර ගණනාවකින් රට ආපස්සට තල්ලු වීමක් විනා අබමල් රේණුවක තරම් හෝ ප්‍රයෝජනයක් එයින් ලැබුණේ නැත. හාස්‍යජනක කරුණ නම් ඔවුන්ගේ ඒ දේශප්‍රේමී අරගලය පරාජය වූ නිසා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවීම ය. පළාත් සභා ක්‍රමය මගින් දෙමළ ඊළමට පාර කැපෙන බව පැවසූ නමුත් එවැන්නක් සිදු වූයේ ද නැත. දෛවයේ සරදමක් පරිදි පසු කාලයක ජ.වි.පෙ පලාත් සභා සඳහා තරග වදින විට, පළාත් සභා පිළිබඳ ඔවුන්ගේ විරෝධය විශාල ප්‍රමණයකින් අඩු වී තිබිණි. එතැන් සිට ඔවුන් විරුද්ධ වූයේ පළාත් සභාවලට, පළාත් සභා පනතින් නියම කොට තිබෙන ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම ගැන පමණකි. ඒ පිළිබඳ තත්ත්වය කුමක් හෝ වේවා, දැන් අප මේ නරඹමින් සිටින්නේ ජ.වි.පෙ. එදා සිට රඟ දැක්වූ ඒ දේශපාලන නාටකයේ හොඳම කොටස වේ. මක්නිසාද යත්, බලයට පැමිණෙන තෙක් නොනැසී පැවතුණු ඔවුන්ගේ ඉන්දියානු විරෝධය, බලය ලබාගත් වහාම හිරු දුටු පිණි මෙන් අතුරුදන් වී ගිය බැවිනි. නොබෝදා සිදුකළ ඉන්දීය අගමැතිවරයාගේ මෙරට නිළ සංචාරයේදී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා ඔහු සමග එක ගිවිසුමක් නොව ගිවිසුම් හතක්ම අත්සන් කළේ ඉතා පුදුම සහගත ලෙස ඉන්දියානු මැදිහත් වීම් සහ ඉන්දියානු ආයෝජන පිළිබඳව එතෙක් ජවිපෙ විසින් වපුරන ලද හුඹස් බිය එක් නිමේෂයකින් අහෝසි කරමින් ය. ජයවේවා! ‍යථාර්ථවාදී අපට සැබවින්ම ඒ ගැන පුදුමයක් නැති අතර, අපට දැන් හැඟී යන්නේ සමහර විට වර්තමාන ජනාධිපතිවරයා විසින් පළාත් සභා පනත ප්‍රකාරව, පළාත් සභා සඳහා පොලිස් බලතල සහ ඉඩම් බලතල පවා ලබා දීමට කටයුතු කරනු ඇති බවකි. සමහර විට 13ට එහා ගිය විසඳුමක් පවා උතුරේ ප්‍රශ්නය සඳහා ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. කමක් නැත, බොහෝ කලක් තිස්සේ හඹ හඹා සිටි ආණ්ඩු බලය දැන් ලැබී ඇති හෙයින්, එනම් යථාර්ථය දැකීම සඳහා ආලෝකය ලැබී ඇති බැවින් කළ යුතු සුදුසු දේ දැන් ඔවුන්ට ද වැටහෙනු ඇත.

පෙර නොවූ විරූ දේශපාලනික විනෝදයක් මෙකල්හි අප විඳින්නේ බොහෝ කල් සිට අප කැමතිව හුන් මේ දේවල් එතෙක් කල් ඊට නොකැමැති වූ ජනතා විමුක්ති පෙරමුණ විසින්ම සිදු කරන බැවිනි. ඔව්! ඒ අනුව සැබවින්ම මේ දේවල් මෙතරම් පහසුවෙන් ජනතා විමුක්ති පෙරමුණටම විනා අනෙක් කිසිවෙකුටත් කළ නොහැකි වනු ඇත. ඉදින් යලි විපක්ෂයට නොයවා ජනතා විමුක්ති පෙරමුණ අඛණ්ඩවම ආණ්ඩු පක්ෂයේ තබා ගැනීමට ජනතාව වග බලා ගත යුතුය. එය යලි විපක්ෂයට හරවා යැවීමෙන් සිදුවන්නේ, එතැන් සිට එය විසින් මහාමාර්ගවල යළි දියත් කරන උද්ගෝෂණ ව්‍යාපාර නිසා, ගමනාගමනයට බාධා ඇති වීමත්, එමගින් අපගේ දෛනික කටයුතු ප්‍රමාද දෝෂයන්ට ලක් වීමත් අඩපණ වීමත් ය.

ගැමුණු කුසුම් දිසානායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan