සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 18, කොළඹ (LNW): නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ අද (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව යි.
බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද පැවසීය.
නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම සංවර්ධන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමි වන්නේ නම් එය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බවද පෙන්වා දෙනු ලැබීය.
පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කල අතර, රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්‍රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් ප්‍රකාශ කළේය.
තරුණ දේශපාලනඥයන් ලෙස තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී ඔව්හු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර රටේ සංවර්ධන වැඩපිළිවෙළට අදාළ සිය යෝජනා ද ඉදිරිපත් කළ අතර, තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්‍රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක අශෝක හේරත් මහතා සඳහන් කළේ තමන් වෙනත් පක්ෂයක් නියෝජනය කළද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බැවින් එම වැඩපිළිවෙළට සහාය පළ කරන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ ආරම්භ කර 2025 වසරේ දී අවසන් වීමට නියමිතව තිබූ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දුන්නා නම් මේ වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බව පෙන්වා දුන් ඒ මහතා එදා ඊට අකුල් හෙළු පාර්ශ්ව වර්තමානයේ ජනාධිපතිවරයා දියත් කර ඇති 2048 සංවර්ධිත රටක් වැඩපිළිවෙළට අකුල් හෙළමින් සිටින බවද ප්‍රකාශ කළ අතර, ඉදිරි වසර 02 තුළ රටේ විප්ලවීය පරිවර්තනයක් සිදු කරමින් තවත් වසර 10ක් රටේ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද අශෝක හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.