*
Wednesday, May 22, 2024
spot_img

Latest Posts

බංකොලොත්කමට විසඳුම-ඉල්ලුම් පාලනය ද? ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම ද?

ලිපියේ පසුබිම 

පසුගිය දිනවල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය තුළින් උද්ධමනය මෙල්ල කොට, ආර්ථිකය ස්ථායීකරණය කළ බව යි. දැන් ඔවුන් පවසන්නේ, එම ස්ථායිකරණය තුළින් ආර්ථිකය වර්ධනය වීමට පටන් ගෙන ඇති බව යි. 

මෙය බොහෝ දේශපාලනික නායකයන්ට සහ මහජනතාවට නොතේරෙන ආර්ථික විද්‍යා පාඩමකි. ඊට හේතුව, එම සමස්ත ඉල්ලුම පාලන රාජ්‍ය ප්‍රතිපත්තියෙන් පොදු මහජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටී ඇති බැවිනි.

රටවල රජයන් විසින් තම ආර්ථිකයන් කළමනාකරණය කරනු ලබන්නේ, විවිධාකාර ආර්ථික සංකල්පයන් පදනම් කර ගෙන ය. සමස්ත ඉල්ලුම පාලනය යනු ඉන් එක් සාර්ව ආර්ථික සංකල්පයකි. එය එකම සංකල්පය නොවේ. 

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, එම සංකල්පයේ සාර්ව ආර්ථික විද්‍යා ස්වරුපය ඉදිරිපත් කිරීම යි. එමගින්, එම සංකල්පය කොතරම් දුරට වත්මන් බංකොලොත් ශ්‍රී ලංකා ආර්ථිකයට ගැලපේ ද? යන්න විමර්ශනයට උපකාරී වනු ඇත. එහෙත්, මෙම ලිපිය මගින් සැබෑ ලොව දත්ත විශ්ලේෂණයක් හෝ පර්යේෂණාත්මක දත්ත ඉදිරිපත් නොකෙරේ.

ආර්ථික කළමනාකරණය යනු කුමක් ද?

මින් අදහස් වන්නේ, රජය විසින් ආර්ථිකයට මැදිහත් වන ආකාරය යි. එය සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කිරීම, ආර්ථික වර්ධනය ඉහළ නැංවීම, සේවා නියුක්තිය ප්‍රසාරණය සහ විනිමය අනුපාතය පාලනය/ස්ථායිකරණය වැනි විවිධ ඉලක්කයන් පදනම් කර ගෙන සිදු කෙරේ.

ආර්ථිකය යනු වෙළෙඳපොළ පද්ධතියකි. එනම්, භාණ්ඩ, සේවා, ශ්‍රමය, භුමිය සහ ණය/මුදල් යනා දී වෙළෙඳපොළවල් ය. ඉහත දැක්වූ ආර්ථික ඉලක්කයන් යනු සමස්ත වෙළෙඳපොළ පද්ධතියෙන් තීරණය වන ප්‍රතිඵලයන් කිහිපයකි. එබැවින්, රජය විසින් තමාට මනාප ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ආර්ථිකයේ තෝරා ගත් වෙළෙඳපොළවල් කෙරෙහි මැදිහත් වනු ඇත. 

ආර්ථික කළමනාකරණ මෙවලම් මොනවා ද?

එම මෙවලම් පුළුල් වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස දැක්වෙයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු රාජ්‍ය අයවැය හරහා ආර්ථිකයට මැදිහත් වීම යි. මූල්‍ය ප්‍රතිපත්තිය යනු මහ බැංකුව විසින් රජයෙන් ස්වාධීන ලෙස ආර්ථිකයට මැදිහත් වීම යි.

බදු, වියදම්, ණය, නියාමනයන් සහ රාජ්‍ය ව්‍යවසායන් යනු ප්‍රධාන රාජ්‍ය මූල්‍ය මෙවලම් ය. මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන මෙවලම් වන්නේ, මුදල් මුද්‍රණය සහ මහ බැංකු පොලී අනුපාතයන් ය. 

මෙම ප්‍රතිපත්ති මෙවලම් යටතේ ක්‍රියාත්මක කළ හැකි අනුමෙවලම්වල කෙළවරක් නැත. ආර්ථිකය මුහුණ දෙන ගැටළු හඳුනා ගෙන ඒවා නිරාකරණය කොට ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීම පිණිස එම මෙවලම් තෝරා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ගණිත සූත්‍රයන් නොමැති අතර එය බලයේ සිටින රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ආර්ථික දැනුම මත රඳා පවතී.

ඉල්ලුම් කළමනාකරණය යනු කුමක් ද?

මෙහි අදහස වන්නේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ පවතින ඉල්ලුම කෙරෙහි මැදිහත් වීම සඳහා ප්‍රතිපත්ති මෙවලම් භාවිතා කිරීම යි. එනම්, ආර්ථිකයෙහි සමස්ත වියදම පාලනය කිරීමට උත්සාහ කිරීම යි. ඊට පරිභෝජනය, ආයෝජනය සහ ශුද්ධ අපනයන (අපනයන – ආනයන) අයත් වෙයි. ඊට හේතුව, ඉල්ලුම යනු වියදම තුළින් හට ගන්නක් බැවිනි. සමකාලින ආර්ථික අවශ්‍යතාවන් අනුව එය වියදම ප්‍රසාරණය හෝ සංකෝචනය හෝ විය හැකිය. ඒ සඳහා යෝග්‍ය යැයි පිළි ගැනෙන ප්‍රතිපත්ති මෙවලම් භාවිතා කරනු ඇත.

උදාහරණ ලෙස වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වත්මන් රජය විසින් භාවිතා කෙරෙන්නේ, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම/වියදම සංකෝචනය කිරීමේ ප්‍රතිපත්තිය යි. ඒ සඳහා සියළු රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් භාවිතා කෙරේ. බදු ඉහළ දැමීම, රාජ්‍ය වියදම් සහ ණය සීමා කිරීම, පොලී අනුපාතයන් ඉහළ දැමීම සහ මුදල් මුද්‍රණය සංකෝචනය කිරීම යනාදිය එවැනි මෙවලම් කිහිපයකි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් සමස්ත ඉල්ලුම කළමනාකරණය කිරීම හරහා ආර්ථිකය ගොඩ ගන්නා බව ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පැවසීමේ අදහස එය යි.

IMF ණය වැඩසටහනින් ආර්ථික ප්‍රතිසංස්කරණ නමින් නියම කොට ඇත්තේ එය යි. ණය ගන්නා සෑම රටකටම IMF නියම කරන්නේ එය යි. එසේ නොකළ හොත් IMF කණ්ඩායමේ කිසිම ණයක් ලැබෙන්නේ නැත.

සැපයුම කළමනාකරණය නොකෙරෙන්නේ ඇයි ?

භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ යනු ඉල්ලුම සහ සැපයුමේ අන්තර් ප්‍රතිඵලයකි. රජය වෙළෙඳපොළට මැදිහත් වීමේ දී ඉල්ලුම මෙන්ම සැපයුම ද ඊට ප්‍රතිචාර දක්වනු ඇත.

එහෙත්, ඉල්ලුම් කළමනාකරණ සංකල්ප ලාභීන් විසින් උපකල්පනය කරන්නේ, සැපයුම බාහිරව තීරණය තීරණය වන බව යි. එනම්, නිෂ්පාදන සම්පත් සැපයුම සහ ඵලදායිතාවය මත තීරණය වන බව යි. එබැවින්, ඔවුන් විශ්වාස කරන්නේ, පවතින සැපයුමට සරිලන ලෙස ඉල්ලුම/වියදම පාලනය කිරීමේ සංකල්පයකි.

එබැවින්, ඔවුන් විසින් සමස්ත ඉල්ලුම/වියදම පාලනය කිරීමේ දී, ඉල්ලුමට ඇතුළත් පරිභෝජනය, ආයෝජනය, අපනයන වැනි අංශ හෝ ජීවන මට්ටමට බලපාන වියදම් අංශ හෝ කෙරෙහි ප්‍රභේදනයක් නොකෙරේ. ඔවුන්ගේ අරමුණ වන්නේ සමස්ත ඉල්ලුම/වියදම ඉලක්කය යි.

ඉල්ලුම් කළමනාකරණ සංකල්පයේ සාර්ව ආර්ථික මූලධර්මය කුමක් ද?

මෙහි දී, ආර්ථිකයේ විවිධ අස්ථායිතාවයන්ට හේතුව ලෙස ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් සහ සැපයුම් පරතරය හෝ අසමතුලිතතාවයන් දැක්වෙයි.

  • ඊට අනුව, උද්ධමන පීඩනය යනු ආර්ථිකයෙහි අඛණ්ඩව පවතින ඉල්ලුම් අතිරික්තයේ (සැපයුමට වඩා ඉල්ලුම වැඩි වීම) ප්‍රතිඵලය යි. එබැවින්, ඉල්ලුම් සංකෝචන  ප්‍රතිපත්තිය අනුගමනය කෙරේ.
  • යුද්ධ, කැරළි කෝලාහල, දේශ ගුණික වෙනස්කම්, ගෝලීය තෙල් මිල ඉහළ යාම වැනි කුමන කම්පනයකින් උද්ධමන පීඩනයන් හට ගත්ත ද, මොවුන්ගේ අදහස වන්නේ, එය අධි ඉල්ලුමෙන් හට ගෙන ඇති බව යි. ඉල්ලුම් කළමනාකරණ ගෝත්‍රයේ බලවත්ම පාර්ශවයක් වන මහ බැංකුව කියන්නේ, මහජනයා අත පවතින මුදල් ප්‍රමාණය වැඩි බැවින් ඉල්ලුම ඉහළ ගොස් උද්ධමන පීඩනය හට ගෙන ඇති බව යි.
  • මීට ප්‍රතිවිරුද්ධව, ආර්ථිකයෙහි මිල ගණන් සහ නිෂ්පාදන පසුබැසීම යනු අඛණ්ඩව පවතින ඉල්ලුම් හිඟයේ ප්‍රතිඵලය යි. එබැවින්, ඉල්ලුම් ප්‍රසාරණ ප්‍රතිපත්ති අනුගමනය කෙරේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ අධිඋද්ධමනය සමඟ සැපයුම කඩා වැටෙද් දී, දැඩි ඉල්ලුම් සංකෝචන ප්‍රතිපත්ති අනුගමනය කරනු ලැබුවේ, කඩා වැටෙන සැපයුමට ගැලපෙන ලෙස ඉල්ලුම ද කඩා දැමීම සඳහා ය. එය අතිරික්ත ඉල්ලුම් සංකල්පය අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමකි. එහි සමාජ ආර්ථික ආදීනව ඉදිරි දශක කිහිපයක් පුරා පොදු මහජනතාව විඳිනු ඇත.

ඉල්ලුම් කළමනාකරණ සංකල්පය රූප සටහනකින් 

ඉහත දැක්වූ සරල සාර්ව ආර්ථික සංකල්පය සරල බිම් සටහනකින් පහත දැක්වෙයි. එහි දැක්වෙන සෑම ආර්ථික විචල්‍යයකටම අදාළ මූල ධර්මයන්, න්‍යයන් සහ පර්යේෂණ නිගමනයන් රාශියක් ඇත. 

එහෙත්, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම මොඩලය භාවිතා කරන්නේ සහ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් නිකුත් කරන්නේ, ඒ පිළිබඳ ව කිසිවක් නොතකා දේව මොඩලයක් මෙන් ක්‍රියාත්මක වන බව පිළි ගැනීමෙනි. 

සමාප්ත සටහන

  • නූතන මූල්‍ය සහ සැපයුම් ආර්ථික විද්‍යා මූල ධර්මයන් අනුව මෙය ගෝත්‍රීය ආර්ථික සංකල්පයකි.
  • මෙය සංවර්ධිත රටවල ව්‍යාපාරික චක්‍රයන් පවතින අවස්ථාවල රජයන් විසින් භාවිතා කෙරේ. ඊට හේතුව, එම රටවල සැපයුම් අංශය සහ මූල්‍ය අංශය බොහෝ පරිණත මට්ටමක ක්‍රියාත්මක වන බැවින් කෙටි කාලීන ආර්ථික චක්‍රයන් බොහෝ විට ආර්ථිකයේ ඉල්ලුම් උච්ඡාවචනයන් හරහා හට ගන්නා බැවිනි. එබැවින්, ඉල්ලුම් පාලන මොඩලය ඉතා කෙටි කාලීන ප්‍රතිපත්ති එළඹුමක් පමණි. එම රටවල සැපයුම් අංශයේ අඛණ්ඩ ව්‍යුහාත්මක වර්ධනය සහ තරගකාරිත්වය සඳහා නිරන්තරයෙන් ප්‍රතිපත්ති ගැනීම සිදු වෙයි. ඊට හොඳම උදාහරණය වත්මන් ඇමෙරිකානු රජයේ උද්ධමනය අඩු කිරීමේ පනත යි. එය උද්ධමන පාලන වගකීම භාර මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට කිසිම සම්බන්ධයක් නොමැති සැපයුම් ප්‍රවර්ධන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමකි.
  • ශ්‍රී ලංකාව වැනි නොදියුණු රටවල ව්‍යුහාත්මක ආර්ථික ප්‍රශ්නය වන්නේ සැපයුම් අංශයේ ප්‍රාථමික භාවය යි. එබැවින්, ආර්ථික අස්ථායිතාවයන් නිරාකරණය සඳහා ඉල්ලුම පාලනය කිරීමේ ප්‍රතිපත්තිය මෙම රටවලට නොගැලපෙන ප්‍රතිපත්ති සංකල්පයකි.
  • ඊට හේතුව, මෙම රටවලට අවශ්‍ය වන්නේ බහුතර ජීවන මට්ටම එසවීම සහ මානව සංවර්ධනය යි. එය, හුදෙක් උද්ධමනය හෝ ආර්ථික වර්ධනය හෝ ගෙවුම් ශේෂය පිළිබඳ ඉලක්කම් ඉලක්ක කොට කෙරෙන ඉල්ලුම් කළමනාකරණය ප්‍රතිපත්ති මගින් ලඟා කර ගත නොහැකිය. එය රජය විසින් මිල පාලනයන් කොට බහුතර ජනතාවට බත් මාළු එළවළු වේලක් දෙකක් කොහොම හරි එදිනෙදා කෑමට අවස්ථාව ලැබෙන ඉල්ලුම් කළමනාකරණයකින් ඉටු කළ හැකි දෙයක් නොවේ. එය, සංවර්ධිත රටවලට සාපේක්ෂ දියුණු ජීවන තත්ත්වයක් ඉලක්ක කෙරෙන පුළුල් ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම හරහා ඉටු කළ යුතුය.
  • නූතන ආර්ථිකයන් යනු භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම වෙන් කොට ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති මගින් රජයට ඕනෑ ඉලක්කයන්ට මෙහෙය විය හැකි ආර්ථිකයන් නොවේ. ඒවා සියළු වෙළෙඳපොළ අතර අන්‍යෝන්‍ය ඒකාබද්ධතාවයක් සහ අන්තර් රැඳියාවක් සහිතව දේශීය මෙන්ම ගෝලීය වශයෙන් ගොඩ නැගී ඇත. එසේම, ප්‍රතිපත්ති මෙවලම් සහ තෝරා ගත් ආර්ථික ඉලක්කයන් අතර මෙම සංකල්පය තුළ අපේක්ෂිත සබඳතාවයන් පවතී ද? යන්න පර්යේෂණ දත්ත නොමැති අතර ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හුදෙක් ඉදිරිපත් කරන්නේ සංකල්පීය කථාන්දරයන් ය. එබැවින්, ඉල්ලුම් කළමනාකරණය යනු ප්‍රයෝගික වැදගත්කමක් නොමැති හුදු මිත්‍යා ආර්ථික සංකල්පයකි. එමගින්, ගොඩ නගා ඇති සංවර්ධිත ආර්ථිකයන් ලෝකයේ නොමැත.
  • එබැවින්, මෙම අන්ධ ඉල්ලුම් කළමනාකරණ සංකල්පය නිර්දේශ කිරීමට ඉහළ වේතනයන් ගෙවා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන්ගේ සේවය අවශ්‍ය නොවේ. එය වඩාත් හොඳින් අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන්ට කළ හැකිය. ඔවුන්ට ඉගැන් වෙන්නේ ද එම මොඩලයයි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan