*
Friday, November 22, 2024
spot_img

Latest Posts

(VIDEO):පාස්කු ප්‍රහාරයට වසර පහයි. මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ. යුක්තිය වෙනුවට තවදුරටත් රැවටීම!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී මේ වන විට වසර පහක් ගතව තිබෙනවා. මිනිස් ජීවිත 269ක් සදාකාලික නිහඬ කරමින් තවත් 500කට පිරිසක් පූර්ණ හෝ අර්ධ අබාධිත තත්ත්වයට පත්කරමින් කළු මතකයන් පමණක් ඉතිරි කරන ලද එම මිලේච්ජ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න ගෙවුණු වසර පහ තුළම රටට අනාවරණය වුණේ නැහැ. විටින් විට මතු වූ නොයෙක් කතන්දර මෙන්ම මහ මොළකරුවන් නම් කිරීමම ජුගුප්සාව පමණක් ඉතිරි කර තිබෙන පසුබිමක අතනොහැරම ඊට යුක්තිය ඉටුකරගැනීමට සිදුව තිබෙනවා.

රකට නිරායුධ අහිංසක මිනිසුන් හිටි හැටියේ මෙලෙස ඝාතනය වීම, එවැනි අනතුරක සෙවනැළි වැටී තිබියදීත් ඒවා ගණන් නොගෙන පූර්ව නිගමන තුළ හිඳිමින් වගකිව යුත්තන් ක්‍රියා කිරීමේ වරදේ සිටම ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීම අවැසි දෙයක්. එදා 2019 අප්‍රේල් 21 සිදු වූ එම ප්‍රහාර මාලාවෙන් පසු බොහෝ සෙයින් ජනතාවගේ මනසින් ඈතට ගොස් තිබුණු ජාතික ආරක්ෂාව යළි කරළියට පැමිණි අතර ප්‍රහාරයේ උණුසුම යන්නත් පෙරම ගෝඨාභය රාජපක්ෂ මතු වන්නේ තමන් මෙකී ප්‍රහාරයේ සුල මුල හෙළිදරව් කරමින් ඊට යුක්තිය ඉටුකරන බවටත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවටත් පපුවට ගසා ගනිමින් ප්‍රතිඥා දෙමිනි.

කන්න නැතත් ඉන්න රටක් ඔනෑ නිසා 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂගේ නමට ඉදිරියෙන් මනාප කතිරය ගැසුවද අවසානයේ වුණු දෙයක් නොමැති අතර පාස්කු විමර්ශන පවා අවධානමට ගිය අතර ගෝඨාභයගේ පාස්කු යුක්තිය මිරිඟුවක් තහවුරු වුණා. එතැනින් නොනැවතී ජනතා කරමතින් පැමිණි රාජපක්ෂලාට පස්ස දොරින් පැන යාමටම සිදුවුණේ මෙරට කළු දේශපාලනය ගැන ජනතාවට මිල කළ නොහැකි අත්දැකීම්,පාඩම් රැසක් ඉතිරි කරමින්.

උතුරු යුද්ධයෙන් පසු දේශපාලනය තුළ බලය වෙනුවෙන් තලුමරන්නට අලුත් කාරණයක් සෙවිය යුතු වීමත් එහිදී මුස්ලිම් ප්‍රජාවට එරෙහි ජාතිවාදය උලුප්පා ගැනීමට ක්‍රියාත්මක දේශපාලන අධිකාරිය සමත් වූ අතර එතෙක් කාලයක් සක සංකාවක් නොතිබුණු සිංහල මුස්ලිම් සහයෝගය අතරට සතුරෙක් රිංගවීමට සමත් වුණා. වැඩ කොත්තුවේ සිට වෛද්‍ය සාෆි දක්වාම පැමිණ අවසානයේ අසල්වැසි මුසල්මානුව දෙස සැකයෙන් බලන තැනටම එය පිළිලයක් වූ බව කිව යුතු වෙනවා. පාස්කු ප්‍රහාරය තුළ එම ජාතිවාදී විරෝධය තවදුරටත් ඇවිලීම නම් හොඳින් සිදුවුණ කාරණයක්.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඇතුළු විමර්ශන මඟින් බොහෝ කරුණු රැසක් අනාවරණය වී තිබුණද වසර පහක් යනතුරු එකතැන කැරකෙන මේ පාස්කු යුක්තිය ගැන විශේෂයෙන් කතෝලික සභාව ඇතුළු සිවිල් සමාජය අඛණ්ඩව අවධානයෙන් පසුවුවද පවතින ක්‍රමය තුළ නම් එකී යුක්තිය සිහිනයක් බවට දැන් පසක් වී තිබෙනවා.එය කතෝලික සභාව විසින්ම ප්‍රකාශ කර තිබෙන අතර අරගදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්ම පැවසුවේ තමන් එදා ගෝඨාභය රාජපක්ෂගේ බහට රැවටුණු බවයි.

ආගමික කටයුත්තක් මැද අනපේක්ෂිත ලෙස එලෙස මිනිස් සංහාරයක වින්දිතයින් බවට පත්ව සිටින පසුබිමක යුක්තිය අපේක්ෂා කළපාර්ශවය සිදුකළේ යුක්තිය වෙනුවට තවදුරටත් ගිනිගොඩකට තල්ලු කිරීම නම් ඒ දේශපාලන පසුබ්ම තුළ සාධාරණය බොහෝ ඈත බව ප්‍රත්‍යක්ෂ කරගැනීමට සිදුවෙනවා.

එදා ජනාධිපති සේනාධිනායක ලෙස මෛත්‍රීපාල සිරිසේන එදා අගමැති අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිට දේශපාලන ධුරාවලියත් ආරක්ෂක නිලධාරී ධුරවලියත් ඇතුළු සමස්තය අද එදාටත් වඩා හොඳින් පසුවෙන තත්ත්වයක පාස්කු යුක්තිය ඉටුකිරීමට වංගු පිට වංගු ගසන්නේ කුමන හේතුවක් නිසාද යන ප්‍රශ්නය පවතිනවා. අදටත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහරය සම්බන්ධ කාරණයේදී හැසිරෙන ආකාරය විවාදාත්මකයි. එම ප්‍රහාරය පසුපස දේශපාලන අරමුණක් නොතිබුණේ නම් සහ එය ආගමික අන්තවාදී ක්‍රියාවක්ම පමණක් නම් එම විවාදාත්මක තත්ත්වයන් නිරාකරණය නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය තවත් පැත්තකින් මතුවන්නක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු චූදිතයින් මානව හිමිකම් කඩකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන් වී සිටියද තවමත් මේ ප්‍රහාරය පසුපස සැඟව සිටින බලවේගය අනාවරණය නොවිමම ප්‍රශ්නයක්. තත්ත්වය මෙසේ පවතින විට පසුගියදා වත්මන් පොලිස්පති එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටුවාපිටිය පල්ලියටද ගොස් පාස්කු ප්‍රහාරයේ වින්දිතන්ගේ සුවදුක් විමසීමට ගොස් තිබුණා. සදාකාලික අඳුරු මතකයන් සමඟ ජීවත් වීමට සිදුව තිබෙන මිනිසුන්ව අතනොහැර ඔවුන් සමඟ සිටීම යහපත් කාරණයක් වුණත් දේශබන්දු තෙන්නකෝන් මහතාටද ආරක්ෂක නිලධාරී යාන්ත්‍රණය තුළ අධිකරණය තුළින්ම චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහු පොලිස්පති ලෙස පත්කිරීමට කතෝලික සභාවේද දැඩි විරෝධයක් එල්ල වුණේ එම පසුබිම මත හිඳිමින්. එහෙත් නොවිය යුතු බොහෝ දේ සිදුව ඇති භුමියක එය විතරක් වැළකී තිබුණොත් එයත් පුදුම සහගතයි. එපමණටම මේ රටේ ක්‍රියාත්මක දේශපාලන යාන්ත්‍රණය ගැන ඇත්තේම අපේක්ෂා බිඳවැටුණු ස්වභාවයක්. එවැනි පසුබිමක පාස්කු යුක්තිය තවමත් රතු පලස යට සැඟවී තිබීම ගැන වුණත් පුදුම විය යුතු නැහැ.

මේ වන විය යළි ජාතික මැතිවරණ උණුසුමක් සමඟ දින ගෙවෙමින් තිබෙන අතර ප්‍රධාන විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගයද ඔවුන්ගේ ආණ්ඩු තුළ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන බවටත් සෘජුව මෙන්ම වක්‍රව ඊට සම්බන්ධ වූ සියලු දෙනාම නීතිය හමුවට ගෙන එන බවටත් පොරොන්දු දී තිබෙනවා. අදටත් මේ රට තුළ ඇත්තේ නීතිය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත නිසි බලය සමඟ ස්වාධීනත්වය, දේශපාලන බලපෑම් නොමැති නම් පාස්කු ප්‍රහාරයට පමණක් නොව තවත් යුක්තිය අපේක්ෂා කරන අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට තිබුණා. ඒත් ඒ සියල්ලම යුක්තියෙන් බොහෝ ඈතට ගිහින්. එය තමයි අදට පෙනෙන්න තිබෙන සත්‍ය. ඉතින් මේ සත්‍ය තවදුරටත් පිළිගත යුතුද නැද්ද කියන කාරණය යුක්තිය අහිමිව පාස්කු ප්‍රහාරයෙන් වසර පහක් ගතවන මොහොතේ හෝ තීරණය කළ යුතු නොවේද?

සැබෑ ලෙසම පාස්කු විමර්ශන තවදුරටත් විවිධ පැතිවලට යොමුකරමින් අවසන් නොවුණු තත්ත්වයකට ගෙන ඇත්තේ කුමන අරමුණක් වෙනුවෙන්ද? මෙම මිලේච්ච්ජ ප්‍රහාරය සැලසුම් කරන්නේම බලය අතපත්කරගැනීමේ අපේක්ෂාවකින් ද? එසේ නැත්නම් එම විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර ඇතුළු විමර්ශකයින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ඉවත් කරන්නේ ඇයිද? ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන නිර්දේශ හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ ඇයි? මේසා ගැටලුසහගත ප්‍රශ්න වැලක් දැන් මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සමඟ ගැට ගැසී තිබෙනවා. මේ ගැට ගැට ලෙසම ඉතිහාසයට ඉක්නොවිය යුතුවන අතර මේ යුක්තිය ඉටුකරගැනීම අත්‍යවශ්‍ය, අනිවාර්ය කාරණයක් ලෙස සමාජය විසින්ම එකී බලපෑම දේශපාලන අධිකාරිය වෙත එල්ලකළ යුතු නැද්ද?

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan