සටහන – රුවන් නෙළුගොල්ල
ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේ ඇතැම් කොටස් වැරදි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ජාතික ජන බලවේගය විසින් දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව, දූෂණය මුලිනුපුටා දමා ඇති බැවින් මේ ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි යන්න ආණ්ඩුවේ දැඩි ස්ථාවරය බව පැවසූ අමාත්යවරයා මේ විගණන වාර්තාවට ඇතැම් කරුණු ඇතුළත් වී ඇති ආකාරය ද ප්‍රශ්න සහගත බවත් සඳහන් කළේය.
“අපි වංචාව දූෂණය දේශපාලන ක්ෂේත්‍රය තුළ සීරෝ කරලා තියෙන්නෙ. එනිසා මේ සිදුවීම ඇතුළේ කිසිදු වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි ආණ්ඩුවේ ස්ථාවරය. ඒක මමත්, අපේ ඇමතිවරු කියන්නෙත් ඒ කතාවම තමයි. එතකොට ඒ වංචාවක් වෙලා නැති වටපිටාවක් ඇතුලේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගේනවා.. ආණ්ඩුව බහුතරයෙන් දිනනවා කියන එක කොහොමත් අපි දන්නවා. ඒක අපේක්ෂිත තත්වයක්.. ඉතාම පැහැදිලියි ආණ්ඩුවේ ස්ථාවරය විතරක් නෙමෙයි මේ සිදුවෙන ක්‍රියාවලිය ඇතුලේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරපු ක්‍රමවේද ඇතුලේ කිසිඳු අඩුවක් වෙලා තියෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ.
විගණකාධිපති වාර්තාවෙත් වංචාවක් වෙලා කියලා නෑ. විය හැකි තත්වයන් ගැන ඔවුන් කරුණු කියනවා. එතකොට විගණකාධිපතිවරයා, විගණකාධිපතිනියගේ වාර්තාව එහෙම නම් කියන්න ඕන, මෙන්න මේ ප්‍රසම්පාදන කොමිසම, නැත්නම් ප්‍රසම්පාදන කොන්දේසි යටතේ මේ ලියාපදිංචිය, මෙන්න මේ වෙලාවේ සිද්ධ වෙලා තිබුනේ නැහැ කියලා.. ඒ නිසා තමයි මෙය අදාළ නැත්තේ කියලා කියන්න ඕන. ප්‍රසම්පාදන කොමිෂන් එක 2025 අගෝස්තු මාසේ ලියපු ලියුම තියනවා.. මේකෙ තියෙනවා බිඩ් එක තියන වෙලාව වෙනකොට අර රෙජිස්ට්‍රේෂන් එකත් කරගන්න පුළුවන් කියන එක. ඒකෙන් කියන්නෙ මේක මූලික වැරැද්දක් නෙවෙයි කියන එක.
විගණකාධිපති වාර්තාවේ ඒ අදාළ ඉදිරිපත් කිරීම වැරදියි.. බිඩර්ස්ලට ලියපු ලියුම තියෙනවා… මේ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් වෙන වෙලාව වෙනකොට 4980ක්නේ තැම්පතු දාලා තියෙන්නේ ඇයි 20ක් දාන්නේ ආපහු.. එයා එතකොට ඩොයුමන්ඩ් එක අරන්. ට්‍රාන්සැක්ශන් එක වෙනකොට තමා දන්නේ 20ක් අඩුයි කියලා.. හරියට මුදල් ගෙවලා නෑ කියන්න හදන්නේ ඒක නිසා…
මං මේ කියන්නේ ඒකයි. මේ සමහර වාර්තා ආපු විදිහත් මේවාගේ ඇතුලේ සමහර කරුණු එකතු වෙච්ච විදිහත් ගත්තහම ප්‍රශ්න තියෙනවා. විගණකාධිපති වාර්තාව වැරදියි කියන එක නෙමේ මේ කියන්නේ.. ඒකේ තියෙන සමහර කරුණු, කොටස් වැරදියි කියලා”
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.


