ගල් අඟුරු ප්‍රශ්නය නිසා විශාල බලශක්ති ප්‍රශ්නයක් එන්න පුළුවන් – SJB සුජීව අනතුරු අඟවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: රට තුළ සිදුවී ඇති ගල් අඟුරු වංචාව හේතුවෙන් රටේ විශාල බලශක්ති ප්‍රශ්නයක් ඇති වීමට ඉඩකඩක් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.

ප්‍රමිතියෙන් තොර ගල් අගුරු දහනය කිරීම හේතුවෙන් ලක් විජය බලාගාරය හරහා ජනනය කරන විදුලි ප්‍රමාණය අඩුවී තිබෙන අතර මේ නිසා රට තුළ බලශක්තිය දැඩි අර්බුදයකට පත්ව තිබෙන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම නිසි කාලය තුළ ගල් අඟුරු නැව් ගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් ද ලක් විජය බලාගාරයට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය නොලැබිමෙන් විදුලි ජනනය අවම වෙන බව මන්ත්‍රීවරයා කියා සිටියි.

”ඒ අනුව මේ වසරේදී ලක්විජය බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය වන්නේ සියයට 50 ක් පමණයි. ඉතිරි සියයට 50 ඩිසල් බලාගාර හරහා නිෂ්පාදනය කර ගැනීමට සිදුවී තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් තුළ රට තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය වුවත් ආණ්ඩුව එය සිදුකරන්නේ නැහැ. විදුලි කප්පාදුවක් සිදුකළහොත් ජනතාව තුළ මතුවන විරෝධය හේතුවෙන් ආණ්ඩුව විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නැහැ. ඒ වගේම ජල විදුලිය උත්පාදනය සදහා විදුලි ඒකකයට වියදම් කරනු ලබන්නේ රුපියල් 3 ක් වැනි සුළු මුදලක්. ඒ වගේම ගල් අඟුරු වලින් විදුලිය උත්පාදනය සදහා විදුලි ඒකකයට වියදම් කරනු ලබන්නේ රුපියල් 23 ක වගේ ප්‍රමාණයක්. නමුත් ඩිසල් වලින් විදුලි උත්පාදනය සඳහා විදුලි ඒකකයකට රුපියල් 80 ක පමණ මුදලක් වැය කරන්න සිදුවී තිබෙනවා. මේ සියල්ල ගත් විට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 60 ක වැනි මුදලක් වැයවෙනවා. කෙසේ නමුත් රටට ලැබෙන ඩිසල් තොග විදුලිය නිශ්පාදනය සඳහා යොදවන්න සිදුවෙලා තිබෙනවා. කෙසේ හෝ ඩිසල් ගෙන්වීමේදීත් විශාල වංචාවක් සිදුවී තිබෙන බව මේ වනවිට වාර්තා වී තිබෙනවා. ඩිසල් සඳහා ලෝකයේ වැඩිම මිල ලංකාව ගෙවලා තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය කිරිමෙන් නිෂ්පාදනය වන්නේ අඩු විදුලිය ප්‍රමාණයක්. ඒ නිසා රටට සිදුවන පාඩුව බිලියන 20 ක් පමණ වෙනවා. නමුත් මේ හරහා සිදුවන වක්‍ර බලපෑම් හේතුවෙන් රටට බිලියන 200 ක පමණ පාඩුවක් සිදුවෙන්න හැකියාව තිබෙනවා. මෙය ආර්ථිකයට විශාල හානියක්.” යනුවෙන් මන්ත්‍රීවරයා පවසයි.

කෙසේවෙතත් ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබෙන අතර එම කොමිසම හරහා 2009 සිට ගල් අඟුරු ආනයනයේදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ සියල්ල පිළිබඳ විමර්ශනය කරන හෙයින් මෙම ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් දන්නා තොරතුරු සියල්ල කොමිසම වෙත ලබා දෙන ලෙසයි රජයේ පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ.