ඖෂධ හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් ගැන ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය අනතුරු හඟවයි

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ අඛණ්ඩව සැපයීම දැඩි අවදානමකට ලක්ව ඇති බැවින්, ඖෂධ සැපයුම් දාමය ස්ථාවර කිරීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ගෝලීය සැපයුම් දාම පිරිවැය ඉහළ යාම, විනිමය අනුපාත පීඩනය, භාණ්ඩ ප්‍රවාහන හා ඉන්ධන වියදම් වැඩිවීම, ආනයන බලපත්‍ර සම්බන්ධ ප්‍රමාදයන්, සහ අනුකූලතා හා නිදහස් කිරීමේ වියදම් ඉහළ යාම යන කරුණු එකට එකතු වී, රට තුළට ඖෂධ අඛණ්ඩව ගෙන ඒම අතිශය අපහසු තත්වයක් උද්ගතවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගතවූ මාස කිහිපය තුළ ඉන්ධන මිල ආසන්න වශයෙන් 38% ක් පමණ ඉහළ යාම, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා වැඩිවීම, ක්‍රියාකාරී ඖෂධ අමුද්‍රව්‍ය, ද්‍රාවක සහ ඇසුරුම් ද්‍රව්‍යවල ගෝලීය මිලද 70% ක් දක්වා වැඩිවීම, ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට එරෙහිව අවප්‍රමාණය වීම, ආනයන වියදම් තවත් ඉහළ යාම යනාදී කරුණු හේතුවෙන් ඖෂධ සැපයීමේ පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති බැවින් ඖෂධ සැපයිම් දාමය ස්ථාවර කිරීම සඳහා ….

ආනයන බලපත්‍ර ක්‍රියාවලියේ ප්‍රමාදයන් විසඳීම,
ආනයන බලපත්‍ර අලුත් කිරීම සහ මිල සමාලෝචන අතර නිසි අනුපිළිවෙළක් ඇති කිරීම,
සැපයුම් තිරසාරභාවයට බලපාන මෙහෙයුම්, ප්‍රවාහන, විනිමය සහ අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම නිසි ලෙස පිළිගැනීම,

වැනි පියවර වහාම ගන්නා ලෙසත් SLCPI ඉල්ලා ඇත.

ඔවුන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.