2024 වසර අදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වේවි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ, මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

” භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මෙම වසරේ මුදල් ප්‍රවාහ කළමනාකරණය කිරීමේ දී දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා. ඒ වර්තමානයේ පවතින නීති අනුව ණය ලබාගැනීමට සහ මුදල් මුද්‍රණය කිරීමට නොහැකිවීම නිසයි. සුබසාධන සහ පුනරාවර්තන වියදම් හේතුවෙන් රජයේ වියදම් තත්ත්වය ද වැඩි වී තිබෙනවා. නමුත් සැබෑ මුල්‍ය කළමනාකරණයක් රට තුළ ක්‍රියාත්මක වන බව ද කිව යුතුයි.

පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී 2020 වර්ෂයේ පළමු වන කාර්තුව සමඟ 2024 වර්ෂයේ පළමු කාර්තුව සංසන්දනය කළහොත්, 2024 වර්ෂයේ මුල් කාර්තුව තුළ පුනරාවර්තන වියදම් 35% කින් වැඩි වී තිබෙනවා. ණය පොලී ආපසු ගෙවීමෙහි 114% ක වැඩි වීමක් තිබෙනවා. ප්‍රාග්ධන වියදමෙහි ද 60% ක වැඩි වීමක් තිබෙන බව කිව යුතුයි. රාජ්‍ය ණය ප්‍රාග්ධන ආපසු ගෙවීමෙහි ද 177% ක වැඩි වීමක් තිබෙන බව පෙන්වාදිය හැකියි.

එසේම සුබසාධන ප්‍රතිලාභ වශයෙන් 2020 වර්ෂයේ මුල් කාර්තුවේ දී සමෘද්ධිය ගෙවීම සඳහා රුපියල් මිලියන 93,670ක් වැය කර තිබෙනවා. නමුත් 2024 වර්ෂයේ මුල් කාර්තුවේ දී අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 117,107ක් වැය කර තිබෙනවා. 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී එහි 25% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ වගේම මෙම වසරේ මුල් කාර්තුවේදී රාජ්‍ය අදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් ලඟා කරගැනීමට සමත් වී තිබෙනවා. මෙම වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 787ක් බලාපොරොත්තු වුණා. නමුත් අප රුපියල් බිලියන 834ක් උපයා ගෙන තිබෙනවා.

එහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 430ක් උපයා දී තිබෙනවා. මෙම කාර්තුව තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 354කට ආසන්න අදායමක් උපයා දී තිබෙනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 51ක පමණ අදායමක් උපයා දී තිබෙනවා.

මෙම තත්ත්වය ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක පැහැදිලි ජයග්‍රහණයක් වනවා සේම අපගේ ගමන් මඟ පිළිබඳ ධනාත්මක තත්ත්වයක් බව ද පැවසිය යුතුයි. රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය ද මේ තත්ත්වයට හේතු වී තිබෙනවා.

එසේම මේ ආකාරයට ආදායම් ලැබෙන රටාව අනුව සළකා බැලීමේදී 2024 වසර අදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වනු ඇති බව විශ්වාස කල හැකියි.

තවද ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට මතුපිට උද්ධමනය පෙබරවාරි මාසයේ දී 5.1% ක් පැවතුණා. එය මාර්තු මාසයේ දී 2.5% ක් බවට පත්ව තිබෙනවා. පෙබරවාරි මාසයේ දී 5.1%ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ දී 0.7% දක්වා විශාල අඩුවීමක් සිදුව තිබෙනවා.

මේ සෑම දත්තයක් හරහාම රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව කිව හැකියි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...