කෝඩුකාරයෝ වැඩකාරයෝ කියා පෙන්වති

0
1108

කොළඹ (LNW):ප්‍රථම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවන්තම ටෙස්ට් ජයග්‍රහණය ලබා දුන් අයර්ලන්ත කණ්ඩායම සිය සියවැනි ටෙස්ට් ජය ගැන සිහින මවමින් දෙවන ටෙස්ට් තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, දැවන්ත ප්‍රහාරයකට ලක් කළේ තමන් කෝඩුකාරයින් වුව ද වැඩ කාරයින් බව සහතික කරමින්.පළමු පරාජයේ පීඩනය සමඟ දෙවන ටෙස්ට් තරගයේදී ආරක්ෂාවීම දෙවැනි කොට ආක්‍රමණය වැදගත් බව කල්පනා කළ අයර්ලන්තය වෙනුවෙන් පමු කඩුල්ල දැවි යාමෙන් පසුව පිටියට පිවිසි නායක ඇන්ඩි බැල්බර්නි වේගවත් ප්‍රහාරයක් දියත් කරන්නට පටන් ගත්තේය.පන්දු යවන්නන්ගේ රිදිමයට සහ ඉලක්කයන් වෙනස් කරමින් ඔහු මෙන්ම ප්‍රහාරාත්මක වූ පෝල් ස්ට්‍රින්ග් පන්දු යවන්නන්ගේ විශ්වාසය පළුඳු කරමින් තමන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමෙන් ඉනික්බිතිව ටෙස්ට් පිතිකරුවන්ගේ ස්වරූපයට තැන්පත් වෙමින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 11 ක නොබිඳි සබඳතාවයක් ඇති කළේය.අනතුරුව ආබාධායක් නිසා ස්ට්‍රින්ග් පිටියෙන් ඉවත් වන තුරු එම සබඳතාවය දිගට ඇදුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිඳු බලපෑමක් කරන්නට ඉඩක් නොතබමින්ය.

නායක බැල්බර්නි විශිෂ්ඨ ඉණිමකින් අනතුරුව හිමිවිමට තිබුණම ශතකයක් අහිමි කර ගනිමින් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 95 ක් ලබා සිටියදී ය.ස්ට්‍රින්ග් විසින් හයේ පහර තුනක් ද සමඟ පිටියෙන් ඉවත් වන විට නොදැවී රැස් කර සිටි ලකුණු ප්‍රමාණය 74 ක් වූ අතර බැල්බර්නි ලකුණු 95 වෙනුවෙන් පන්දු 163 දී හතරේ පහර 14 ක් එල්ල කළේය.විශේෂයෙන් ප්‍රභාත් ජයසූරියට සහ රමේෂ් මෙණ්ඩිස්ට සිය රිද්මයට සහ ඉලක්කයට බාධා කරමින් ප්‍රහාරයන් දියත් කළ අත්දැකීම් සහිත මේ පිතිකරුවන් යුගලය ඇති කළ පීඩනය දවස පුරාම රඳවා ගැනීමට කඩුලු රකින ලෝකන් ටකර් ද සමත් වූ අතර පළමු දිනය නිමා වන විට ටකර් පන්දු 102 දි නොදැවී ලකුණු 78 ක් එකතු කර ගැනිමෙන් නොනැවතී කර්ටිස් කැම්පර් (27) සමඟ පස්වන කඩුල්ලට නොබිදි ලකුණු 87 ක සබඳතාවයක්ද එක් කරන්නට සමත් වී සිටියි.

පන්දු යැවීමෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් ලබා ගත්තද ඔහු ඊයේ දවස පුරා පළමු තරගයේදී මෙන්ම ගාලු තණිතීරුව තුළ ඔහුගේ කෙටි කාලීන ටෙස්ට් ජීවිතයේ ද ඇති කළ පීඩනය ගෙන ඒමට අපොහොසත්ව සිටිය බව දැක ගන්නට ලැබිණ.රමේෂ් මෙණ්ඩිස්ට එරෙහිව අයර්ලන්ත පිතිකරුවන් පන්දු ඕවරයකට ලකුණු 4.42 ක සාමාන්‍යයක් පවත්වා ගෙන යාමට සමත් වූ අතර පළමු ටෙස්ට් තරගයේදි සාර්ථක වූ විශ්ව ප්‍රනාන්දුගේ වේගයට ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් අයර්ලන්ත පිතිකරුවෝ ඔහුගේ පන්දු ඕවරයකින් සාමාන්‍ය 4.53 ක් රැස් කරගෙන සිටිති.

අද දවසේ තවත් ලකුණු 21 න් පසුව අයර්ලන්තය තමන්ගේ ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉණිමට පිවිසීමට නියමිතය.ඒ පිවිසීම සඳහා ඔවුන්ට තවත් කඩුලු හයක් අතැතිව සිටින අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අයර්ලන්තයේ හොඳම ටෙස්ට් ඉණිම වාර්තා කිරිම වැළක්වීම යන්න අමතක කර ඉක්මණින් අයර්ලන්ත ඉණිම නිමා කිරීමේ සැළසුම් ක්‍රියාත්මක කළ යුතුය.මෙවැනි පීඩාවකදි විකල්පයක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දු යැවිම සළකා බැලිමට නායක දිමුත් කරුණාරත්න උත්සාහ නොගන්නේ මැතිව්ස් ආබාධයෙන් පසුව පන්දු යැවීම ප්‍රතික්ෂේප කර පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට ඇතුළත්ව සිටින නිසා ද යන්න පැහැදිළි නැත.ධනාංජය ද සිල්වා සිය පන්දු යැවිම තුළ ලකුණු පාලනයක් ඇති කෙරුව ද ඔහු පන්දු යැවිමට යොදා ගත්තේ පන්දු ඕවර් 11 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යෙන් ලකුණු 350 ක් ඉලක්කයක්නම් හිමිවනු ඇත.ඊට වැඩි විමට ඇති ඉඩ ද විශාලය.ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට අවශ්‍යය වන්නේනම් සිය පළමු ඉණිම වේගවත්ව ක්‍රියාවට නැංවිය යුතුව ඇත.එසේ නොවී අයර්ලන්තයේ පළමු ටෙස්ට් ජයග්‍රහණයට ඉඩ නොදීම ගැන සිතා කටයුතු කිරීමට ද ඉඩ ඇත.නායක දිමුත් කරුණාරත්නගේ සහ නිශාන් මධුශ්කගේ සිටම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගැන සිතීමට අපහසු, පීඩනයක් ඇතිවන මට්ටමේ ලකුණු පූවරුවක් මේ වන විටත් අයර්ලන්තය සතුව ඇත.විශේෂයෙන්ම මේ ටෙස්ට් තරගයේදි ටෙස්ට් වරම් දිනා ගත් මැතිව් හම්ප්රේසගේ දඟ පන්දුවට සිව්වන ඉණිමේ දී ක්‍රිඩා කරන්න වන ශ්‍රී ලංකාවට යම් තර්ජනයක් එල්ල කළ හැකි බව ද ශ්‍රී ලංකාව අවබෝධ කර ගත යුතුය.

මේ දක්වා තරගයේ ලකුණු පූවරුවට පහත සබඳතාවයෙන් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/ireland-in-sri-lanka-2023-1363445/sri-lanka-vs-ireland-2nd-test-1363448/full-scorecard


ඡායාරූපයේ සිටින්නේ අයර්ලන්ත ඉණිමට ජීවය දුන් නායක ඇන්ඩි බැල්බර්නි ය.

සටහන – නිශ්මං රණසිංහ