*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ, කෝපයෙන් කලබලයෙන් අපට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ එකම දේශපාලනය වෙලා – NPP නායක අනුර (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW):

ස්වීඩනයේ ස්ටොක්හෝම්හි ජාතික ජන බලවේගයේ ජන හමුව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ, මේ මැතිවරණයේදී ඡන්ද ලබාගැනීම සඳහා විශාල ලෙස සල්ලි පොම්ප කිරීමට අනෙකුත් පක්ෂ බලාපොරොත්තු වන බවත් ඒ, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා බවත් ය.

ඔවුන්ගේ වරප්‍රසාද, බලය, දූෂිතභාවය, නාස්තිය මේ සියල්ල නතර වීමේ කඩඉමකට පැමිණ ඇති හෙයින් රූපවාහිනී සංවාදවල පාර්ශ්ව තුනම එකට එකතුවී NPP එකට ප්‍රහාර එල්ලකරන බවත් ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක්, වැඩසටහනක් නැහැ. වියරුවෙන්, කෝපයෙන් කලබලයෙන් NPP එකට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම එකම දේශපාලනය බවට පත්කරගෙන තිබෙන බව ඔහු කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා,

ඔබ දුරබැහැර සිටියත් ලංකාව අත්නොහැරිය, ලංකාව පිළිබඳ අවධානයෙන් ඉන්න, අපේ රටටත්, අපේ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරන කණ්ඩායමයක්. ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී තිබෙනවා. ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතුයි. අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොවෙයි. මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ව්‍යසනයක්. කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන වෙනස් කිරීමකින් පමණයි. මේ වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර දිනකදී ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයක් එනවා. මේ මැතිවරණයෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකි නම්, අපේ රට වෙනස් කරන්න පුළුවන්. ඔබ සාර්ථක මැතිවරණ ප්‍රතිඵලයක් ලබාදීමට සූදානම් බව පෙනීයාමෙන් අපට හැඟෙන්නේ ඔබ අප කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවයි. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳකින්වත් හෝ හානි නොවෙන්න ඉඩ නොතබන බවට අප සහතික වෙනවා.

තවදුරටත් අපේ රටට මේ විදිහට ගමන් කරන්න දෙන්න බැහැ. මෙය වෙනස් කළ යුතුයි. එය පහසු කාර්යයක් නොවෙයි. මේ පාලක කණ්ඩායම් එය වෙනස් කිරීම නතර කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනවා. අපි පැරදුණොත් අපි පසුවදා සිටම දේශපාලනය කරනවා. එයාලගේ තාත්තාගෙන් පුතාටත්, පුතාගෙන් පුතාටත් දේශපාලනයේ හිමිකම උරුමයක් කොට ලියාගෙන තිබෙනවා. ඔවුන් පැරදුනොත් මේ සියල්ලම ඔවුන්ට අහිමි වෙනවා. ඔවුන් සලකන්නේ දේශපාලනය ඔවුන්ගේ උරුමය ලෙසයි. වංචාව, දූෂණය, නාස්තිය ඔවුන්ගේ වරප්‍රසාද බවට පත්වී තිබෙනවා. ඔවුන් පරාද වුණොත් මේ සියල්ල අහිමි වෙන බව එයාලා දන්නවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න කළ හැකි සියලු දේ කරනවා. ඕගොල්ලෝ කවදා හෝ හිතුවද, චන්ද්‍රිකා, මහින්ද, රනිල් සතුරු කඳවුරු එක වේදිකාවකට එයි කියා. මේ ජනාධිපතිවරණයේදි මේ සියලු සතුරු කඳවුරු එක වේදිකාවකට එනවා. ආණ්ඩුවේ අය පමණක් නොවෙයි විපක්ෂයත් එහෙම එකතු වෙනවා. මේ රටේ පොදු ජනතාවගේ දේශපාලනයට විරුද්ධව ඒගොල්ලෝ එකට එකතු වෙනවා.

රනිලුත් ස.ජ.බ.යත් එකතු විය යුතුයි කියා ඔවුන්ගේ පාක්ෂිකයන් වේදිකාවල හඬ නගනවා. රනිල් සහ ස.ජ.බ. එක්ක එකතු වීමට පුද්ගලික ගැටුම පමණයි බාධකයකට තිබෙන්නේ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නැහැ. ප්‍රතිපත්තමය වෙනසක් තිබේ නම්, සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රිවරු කණ්ඩායමකට විමධ්‍යගත අරමුදලෙන් කෝටි 40කට ආසන්න මුදලක් රනිල් වෙන්කරයිද? ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් නම්, එක්සත් ජනපදයට යනකොට ස.ජ.බෙ. මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ඩුබායි යන කොට ස.ජ.බෙ. ගම්පහ මන්ත්‍රී මාන්නප්පෙරුම, උගන්ඩාවේ යන කොට පොළොන්නරුවේ ස.ජ.බෙ. මන්ත්‍රී කිංස් නෙල්සන්, ඔස්ටේ්‍රලියාවේ යනකොට ඉසාද් රහුමාන් මන්ත්‍රීවරු එක්කගෙන යනවා. ඒගොල්ලන් එකතු වීම සඳහා සියලු පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. ප්‍රතිපත්තිමය වෙනසක් තිබේ නම් මෙසේ කටයුතු කරයිද? ජාතික ජන බලවේගය අතට පාලන බලය ඒම නවත්වන්න නම් එකට එකතු විය යුතු යැයි ඔවුන් හිතනවා.

එපමණක්ද? විශාල මාධ්‍ය මෙහෙයුමක්ද තිබෙනවා. සැමදෙනාගේ මතයන්ට සාධාරණ ඉඩක් දෙනවා යැයි කියපු මාධ්‍ය දෙස බලන්න. මහජනයාගේ ධනය අයථා ලෙස එකතු කර ගත් අය එකට එකතු වෙමින් සිටිනවා. මේ මැතිවරණයේදී ඡන්ද ලබාගැනීම සඳහා විශාල ලෙස සල්ලි පොම්ප කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහායි. ඔවුන්ගේ වරප්‍රසාද, බලය, දූෂිතභාවය, නාස්තිය මේ සියල්ල නතර වීමේ කඩඉමකට ඇවිත් තිබෙනවා. රූපවාහිනී සංවාදවල පාර්ශ්ව තුනම එකට එකතුවී ප්‍රහාර එල්ලකරනවා. ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක්, වැඩසටහනක් නැහැ. වියරුවෙන්, කෝපයෙන් කලබලයෙන් අපට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම එකම දේශපාලනය බවට පත්කරගෙන තිබෙනවා.

මේකට මුහුණ දෙන්න අපි කළ යුතු වන්නේ කුමක්ද? අපි සතුව තිබෙන එකම අවිය, ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී කිරීම පමණයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආයතන විශාල ගණනක් ජයග්‍රහණය කරන බවට වාර්තා පළවෙමින් තිබුණා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා මැතිවරණය පැවැත්වූයේ නැහැ. අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී තිබෙන්නේ සංවිධානාත්මකව එකතු කරන ලද මහජන බලයක්. අප ග්‍රාම සේවා වසම් විශාල ප්‍රමාණයක් කොට්ඨාස සභා හදා තිබෙනවා. සියලුම වෘත්තීන් එකට පෙළගස්වා තිබෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්, විශාලම බලවේගය ලෙස එකතු කොට තිබෙනවා. විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුව, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්ගේ සමුළු ඉතා ඉක්මනින් පවත්වන්න සූදානමින් ඉන්නවා. ගුරුවරුන්, ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන් ආදී රාජ්‍ය සේවයන් ඒකාබද්ධ කරමින් තිබෙනවා. වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන්, ගොවි ජනතාව, ඒකාබද්ධ කරමින් ඉන්නවා. ඒ, අපට ශක්තිය තිබෙන්නේ ජනතාව සමඟ නිසයි.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ප්‍රබලතම පෙරමුණක් කියා අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශාල මැදිහත් වීමක් තිබුණා. ඔහු ජනතාවගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු බිඳ වැට්ටුවාට පස්සේ ඔහු පලවා හරින්න කියන මතය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් පැන නගින්න පටන් ගත්තා. අද ලංකාවට වෙනසක් ඕන කියන විශාල හඬක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මතුවෙමින් තිබෙනවා, වගේම ඔවුන්ගේ ප්‍රධානම තේරීම ජාතික ජන බලවේගය බවට පත්වෙමින් තිබෙනවා. මේ රට වෙනස් කළ යුතුයි, යන මතවාදීමය අදහසක් ඔබට තිබෙනවා. මේ තිබෙන්නේ ඔබ තුළ රටත් ජනතාවත් පිළිබඳ තිබෙන ආදරයේ සහ වේදනාවේ ප්‍රකාශනයක්. ඒ සඳහා ඔබට විශාල කාර්යයක් තිබෙනවා. බොහෝ දුරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 පැවැත්වෙනවා. ඒ කාලෙට ලංකාවට එන්න කියා, මම ඔබට ආරාධනා කරනවා. ඔබ පාවිච්චි කරන සමාජ මාධ්‍ය හරහා මේ මතය පතුරුවන්න. ඔබගේ ඥාතීන්ට, හිතවතුන්ට මේ රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, පාලකයන් ගැන කියන්න. මේ වගේ රටක් අපට අවශ්‍යයි කියන පණිවිඩය දෙන්න. අපේ රටේ පාලකයන්ට වඩා වෙනස් දේශපාලකයන් ඉන්නා බව කියන්න. නීතිය පාලකයාගේ කැමැත්ත නොවෙන බවත්, සාධාරණ විය යුතු බවත් කියන්න. ඥාතීන්ට, මිතුරන්ට හොඳ රටක්, හොඳ පාලනයක් කියන්නේ මොකක්ද යන පණිවිඩය ගෙනියන්න. ඒක වෙනස් කිරීම සඳහා සාමූහිකව මැදිහත් වෙන්න කියන ආරාධනය කරන්න. අපට තිබෙන ප්‍රධානම අභියෝගය බලය ලබා ගැනීම. ඒ සඳහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා.

ඒ වගේම බලය ලබාගත්තාට පසුව මේ රට හදන්න ඕනෑ. අපේ රටේ විනාශයට හේතුව දේශපාලන සංස්කෘතියයි. එය වෙනස් කළ යුතුයි. 1994 සිට 2024 දක්වා අවුරුදු 30ට ආණ්ඩු කීයක් හැදුවද? හැබැයි මේ දක්වා නිමල් සිරිපාල, ඇමති. ජී.එල්. පීරිස් 2015 හැරුණු කොට අනෙක් හැමදාම ඇමති. අපේ දේශපාලන සංස්කෘතියේ මන්ත්‍රීවරු සල්ලිවලට එහෙට මෙහෙට පනිනවා වගේම ඉන්නත් සල්ලි ගන්නවා. වරප්‍රසාද, අමාත්‍ය ධුරවලට, සල්ලිවලට එහෙට මෙහෙට පැන්නොත් ගෙදර යවන ආණ්ඩුවක් අපි හදමු. මහින්ද හොරා කියල කෑ ගහන රනිල් වික්‍රමසිංහත්, රනිල් වික්‍රමසිංහ හොරා කියලා කෑ ගහන මහින්ද රාජපක්ෂත් අද එකට එකතු වෙලා ආණ්ඩු කරනවා. මේ දේශපාලනය නතර කළ යුතු නැද්ද? අපි ආණ්ඩුවක් හදලා මේ ඔක්කොම හොරු අධිකරණයට යවමු. නීතියට වඩා උඩින් පාලකයා ඉන්න මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු.

ඒ වගේම නිවැරදි ආර්ථික ගමනක් අපට අවශ්‍යයි. 1947 ඉන්දියාව නිදහස ලබන විට එහි ජාතික නායකයන් වුණු නේරු, ගාන්ධි, පාතෙල් වැනි නායකයන්ට තමන්ගේ රට ගෙනියන්න ඕනෙ කොහාටද කියල දැක්මක් තිබුණා. ඒ දැක්මට අනුව පදනම හැදුවා. ඒ හදපු ජාතික ආර්ථික සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද හඳට යන, කලාපෙට ඖෂධ, බීජ සපයන, මෝටර් රථ නිෂ්පාදනය කරන, රෙදිපිළි නිෂ්පාදනය කරන ඉන්දියාවක් ගොඩනැගී තිබෙනවා. අපේ නායකයන්ට අපේ රට ගෙනියන්න ඕනෑ දිසාව පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. අපේ රටේ පාලකයෝ එකිනෙකාට එරෙහිව ඇනකොටා ගන්න රටක් නිර්මාණය කළා. අපිට ගැටුම්කාරී ඉතිහාසයක් නිර්මාණය කළා. අපේ මුළු දේශපාලනයම ක්‍රියාත්මක වුණේ අනෙකාට එරෙහිවයි. ඒ නිසාම රටේ ආර්ථිකය හදන්න නොවෙයි, ජාතිය බේරා ගැනීමේ සටන් ඇති වුණා. එයින් අපේ කාර්මික පද්ධතියන් සියල්ලම කඩා වැටීම සිදුවුණා. කඩදාසි, සිමෙන්ති, රසායනික, තුනී ලෑලි, කිරි කර්මාන්තය ඇතුළු සියල්ලම කඩා වැටුණා. ඒ නිසාම අවසානයේ තිබෙන දෙයක් විකිණීමත්, ණයට ගැනීමත් හැර වෙනත් ආර්ථිකයක් අපට නැතිව ගියා. පේෂකර්මාන්ත ශාලා, ඛනිජතෙල් එක, වතු ටික විකුණුවා. අද විදුලිය, ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල් එක, ගෑස් එක, විදුලි බලාගාර, ජලාශ ටික විකිණීමට කැසකවනවා. අපේ නායකයන්ට රට ගෙනයන්න ඕනෑ ආර්ථික දිසාව පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. 2021 වන විට විකිණීමට දෙයක් නැතිව ගියා වගේම අපට ණය ලබාගත නොහැකි වුණා. තෙල්, ගෑස්, ගෙන්වන්න බැරි වුණා. ලයිට් නැතිව ගියා. බෙහෙත් නැති වුණා. රට කඩා වැටුණා. අපේ රටට නව ආර්ථික ගමන් මාවතක් අවශ්‍යයි.


අපේ රටේ පිහිටීම මත ආර්ථිකයක් ගොඩ නැගිය හැකියි. අපේ රට ආසන්නයේ ප්‍රධාන නැව් මාර්ග හතරක් තිබෙනවා. මේ නැව් මාර්ග හතරේ වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. ලෝක මුහුදු මාර්ගයෙන් සිදුකරන භාණ්ඩ වෙළඳාමේ තුනෙන් එකක් සිදුවෙන්නේ අපේ මුහුදු තීරයේ. අපි වැදගත් සන්ධිස්ථානයක පිහිටා තිබෙනවා. මේ පිහිටීම මත නාවික කේන්ද්‍රයක් බවට පත්කළ හැකි හොඳ විභවතාවයක් තිබෙනවා. ලෝක වරායන් අතර කොළඹ වරාය 25, 26 වගේ තැනක ඉන්නවා. ඉන්දියාවේ ජවහල්ලාල් වරාය සිටින්නේ 33 වන ස්ථානයේ. අපේ කොළඹ හා ත්‍රීකුණාමල වරායවල් ඉතා වැදගත් තැනක පිහිටා තිබෙනවා. හම්බන්තොට වරාය සේවා වරායක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ වරාය ආශ්‍රිතව නව නාවික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි. නාවික කර්මාන්තයට තරුණයන් යොමු කළ යුතුයි. නාවුක අපි පුහුණු කරන්න ඕනෑ. 4%ක වෙළඳපොළක් අත්පත් කර ගත හැකි නම් ඩොලර් බිලියන 5ක ආර්ථිකයක්. ඒකට අපි තාක්ෂණයත්, ආයෝජනත් ගෙන ආ යුතුයි.

අපට සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරියට යාමට පුළුවන්. ඒකට අලුත් තත්වයන් නිර්මාණය කරන්න ඕනෑ. ඒ වගේම අපේ රටේ විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. 90%කට වැඩි කාබන් ප්‍රතිශතයක් තිබෙන මිනිරන් වගේම මන්නාරම් දෙසට විහිදෙන විශාල ඛනිජ නිධියක්, තිබෙනවා. පරන්තන්වල නැවත රසායන කර්මාන්ත ශාලාවත්, වීදුරු නිෂ්පාදනයත් පටන් ගන්න පුළුවන්. සුපර්පොස්පේට් නිෂ්පාදනය කළ හැකියි. ස්වභාවික සම්පත් මත කර්මාන්ත නිෂ්පාදනයට ප්‍රවිෂ්ට වෙන්න ඕනෑ. ඉන්දියාව අයි.ටී. ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 150ක් ගන්න කොට ලංකාවේ මුළු ආර්ථිකයම ඩොලර් බිලියන 75යි. නව අධ්‍යාපන පරිවර්තනයක් හරහා අයි.ටී. ක්ෂේත්‍රයේ ශ්‍රම ඉල්ලුම සම්පූර්ණ කර වෙළඳපොළ අත්පත් කර ගත යුතුයි. ඒකට අපි ඇතුල් විය යුතුයි. අපි ඒ වෙනුවෙන් සැලසුම් හදා තිබෙනවා. අවුරුදු 5-6ක් ඇතුළත් ඩොලර් බිලියන 15ක ආර්ථිකයකට අපට යාමේ හැකියාව තිබෙනවා. කෘෂිකර්මාන්තය ගම්වල ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගයයි. නව බීජ ප්‍රභේද, නව වගා සැලැස්මක්, ගබඩාකරණය, තාක්ෂණය මගින් කෘෂිකර්මාන්තය නවීකරණ කළ යුතුයි.

අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා. පාසල් පද්ධතියේ විශාල වෙනසක් කළ යුතුව තිබෙනවා. නව විෂය නිර්දේශ හඳුන්වා දීම, අධ්‍යාපනයේ පැතිරුණු පාරවල් ගණනාවක් නිර්මාණය කිරීම, අපේ අපේක්ෂාවයි. සෞඛ්‍යයේ විශාල පරිවර්තනයක් කළ යුතුව තිබෙනවා. අපේ රටේ ජනතාව විශාල ලෙස බෝ නොවෙන රෝගවලින් පෙළෙනවා. පෝෂ්‍යදායක ආහාර වේලක් පිළිබඳ අවබෝධය ජනතාවට අවශ්‍යයි. ඒ සමගම ශරීරයට ව්‍යායාමය අවශ්‍යයි. අපි නිරෝගී සම්පන්න, සෞඛ්‍යය පිළිබඳ දැනුම තිබෙන ජනතාවක් හැදිය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. මේ සියල්ල කේන්ද්‍ර කර ගත් නව ආර්ථික සැලසුමක් අපට අවශ්‍යයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් හා නව ආර්ථික ගමනකට රට පරිවර්තනය කිරීමත් මගින් අපට මේ රට දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබේවි.

මෙතනදී ඔබටත් වැඩක් තිබෙනවා. අපේ ආර්ථිකයේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ආර්ථිකයට ඉතා වැදගත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ආර්ථිකයට ප්‍රවිෂ්ට විය හැක්කේ දේශපාලන සබඳතාවයක් තිබෙනවා නම් පමණයි. කුඩා කණ්ඩායමක් අත ආර්ථිකය කේන්ද්‍රගත වී තිබෙනවා. හැකියාව, දක්ෂතාව, වුවමනාව, තාක්ෂණ හැකියාව තිබෙන, මුදල් තිබෙන, කෙනෙකුට අපේ ආර්ථිකයට ප්‍රවිෂ්ට වීමට අවස්ථාවක් නැහැ. අපි අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට ආර්ථිකයට ප්‍රවිශ්ට වීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නම්. ඔබ අපව හඳුනන්න වුවමනා නැහැ, ඔබට ව්‍යාපාරයකට ප්‍රවිෂ්ට විය හැකියි. එපමණක් නොවෙයි ඔබට අවශ්‍ය ආයෝජන අවස්ථා අපි හදන්නම්. අපි ආර්ථික සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව ආර්ථිකය ඉදිරියට යනවා. බය නැතිව ඔබ ආයෝජන ගේන්න. ඔබ මේ රටවල්වල ජීවත් වෙමින් තාක්ෂණික හැකියාවෙන් ප්‍රාඥයන් වී සිටිනවා. ඒ ඔබේ හැකියාව, දැනුම ලංකාවට අරගෙන එන්න. ඒ සඳහා අපි අවස්ථාව හදන්නම්. අපි ඔබ එකතු වෙලා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනගමු. පළමුවෙන්ම බලය ගනිමු. දෙවනුව රට ගොඩනගමු. ඒ සඳහා සියලු දෙනාම එකතුව වැඩ කරමු”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan