*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදය සහ විසඳුම් 

ශ්‍රී ලංකා ආර්ථිකය වර්තමානයේ මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සම්බන්ධ හේතුඵල විග්‍රහ‌යෙහිදී හා විසඳුම් යෝජනා කිරීමෙහි දී, අනිවාර්යයෙන්ම, බහුලව යොදා ගැනෙන ප්‍රධාන ප්‍රවාහයට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු යැයි දේශපාලන ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකා සංගමය විශ්වාස කරයි. එසේ අනුගමනය කළ යුතු විග්‍රහ රාමුවආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නන්ගේ හා පොදු මහජනතාව ගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීම මෙම ප්‍රකාශනයේ අපේක්ෂාව වෙයි. 

පළමුකොටම, රට හා එහි ආර්ථිකය වර්තමානයේ මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය දේශපාලන ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකා සංගමයට නම් අරුමයක් හෝ පුදුමයක් නොවේ. පසුගිය දශක හතරක් පුරාවට අනුගමනය කෙරුණු නිදහස් හා විවෘත යැයි කියාගත් නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලින් සමස්ත ආර්ථිකයෙහි ජනිත කැරුණු යම්යම් ප්‍රතිවිපාකමෙම පවත්නා ආර්ථික අර්බුදයට එකහෙළා තුඩු දුන්නේය යන්න අපේ විශ්වාසයයි. ඒ වූ කලී කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන ක්‍රියාදාමයන්ට වඩා ආර්ථිකය තුළ ඉහළ ප්‍රමුඛතාවක් සංචාරක ක්ෂේත්‍රයට හා වාණිජමය ක්‍රියාකාරකම්වලට ලබා දුන් ප්‍රතිපත්ති ක්‍රියාදාමයක් විය. ඒ යටතේ රට හා සමාජය මෙහෙයවුණේ පැහැදිලිවම ණය මත රැඳුණු, ප්‍රදර්ශනාත්මක පරිභෝජන වෘද්ධියට තුඩු දුන්, පරිභෝජනවාදී ආර්ථිකයක් කරා ය.

1977 න් පසු සෑම වසරකම ආර්ථිකයේ පැවැති වෙළඳ ශේෂ හිඟය ඉහත කී මූලික අංග ලක්ෂණ නිසා පැන නැඟුණකි. සෑම වසරකම අපනයන ආදායමට වඩා බෙහෙවින් වැඩි ආනයන වියදමක් දැරීම නිසා විදේශ ණය බර උග්‍ර විණි. මෙකී තත්ත්වයන් යටතේ අදපවත්නා අර්බුදයට මුහුණ පෑමට සිදු වනු ඇති බව අප සංගමය බොහෝ කලක පටන් විග්‍රහ කරමින් සිට ඇත. 

තව ද, ප්‍රාග්ධන කාර්යක්ෂම නැති, තරගකාරී මිල කැඳවුම් රහිත හා අධික පිරිවැය සහිත මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ද මෙම ඩොලර් ණය කන්ද වඩ වඩාත් උස් කිරීමට ප්‍රබල ලෙස හේතු කාරක විය. ඩොලර් ණය මත ඉදි කෙරුණ ද, මෙකී ආයෝජන නිසා ප්‍රමාණවත් ඩොලර් ඉපැයුම් හෝ ඩොලර් ඉතුරුම් බිහි නොකැරිණි. විශේෂයෙන් 2009 න් පසු කාලයෙහි ආණ්ඩුව විසින් බොහෝ අධිවේගී මාර්ග හා වෙනත් යටිතල පහසුකම් ආයෝජන කරනු ලැබූයේ නොවටිනා ගණන් වලට විදේශයන්ට ණය වෙමිනි. 

මෙකී රෝග මූලයන්ට පිළියම් යෙදීමට අවශ්‍ය වික‌ල්ප ප්‍රතිපත්ති රාමුවක් කරා යනු වෙනුවට එදා මෙදා තුර පැවැති රජයයන් කෙළේ වඩ වඩාත් ණය වීම ය.  කලින් ගත් ණය ගෙවිය යුතු වන විට සහ සංචිත පහත යන විට ස්වෛරීත්ව බැඳුම්කර සහ වෙනත් මාර්ග ඔස්සේ යළි යළිත් ණය ගැනිණි.

2007න් පසු ඇරැඹී  ක්‍රමයෙන්  උත්සන්න වූ ජාත්‍යන්තරස්වෛරීත්ව බැඳුම්කර හරහා විදේශීය වාණිජ ණයට යොමු වීම මෙහිදී සිදුවූ බරපතලම තත්වයයි.  2015 හා 2019 අතර කාලය තුළ මෙ සේ  ගත් ණය මේ වන විට ගෙවීමට ඇති ස්වෛරීත්ව බැඳුම්කර වලින් බහුතරයක්  වන බව ද වාර්තා වෙයි. ණය පුනපුනා “රෝල් කිරීමේ” මෙකී තොරොම්බොල් ආර්ථික පිළිවෙත අනුගමනය කළ අපේ සියලු ආණ්ඩුරට බරපතළ අර්බුදයකට යට කර ඇත. තව ද, සංචිත පහළ යාම වළක්වාලීමට ජාතික සම්පත් විකුණීම හෝ උගස් කිරීම දක්වා ද යොමු වීමෙන් ජාතියේ අනාගත ස්වෛරීත්වය ද බරපතළ අවදානමකට ලක් කර ඇත. 

මේ වන විට ආර්ථිකය පවතින තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ක්ෂණික හෝ යටත් පිරිසෙයින් ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බව පැහැදිලි ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම එවැනි පිළියමක කොටසක් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධව කටයුතු කිරීම වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය හැඩ ගැසී ඇති ආකාරය අනුව අවශ්‍ය විය හැකි නමුත් එය ඉතාපරිස්සමින් කළ යුතු කාරණයක් බව අපි අවධාරණය කරමු. අද පවත්නා වූ අර්බුදකාරී තත්වයට රටේ ආර්ථිකය ඇද වැටුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩ සටහන් පෙළක් හරහා බව මෙහි ලා අපි සිහිපත් කරමු. ඒ කෙසේ වෙතත්, ප්‍රශ්නයෙන් මිදීම සඳහා අවශෙෂ බහුපාර්ශවීය සංවිධාන වලින් හා මිත්‍ර රටවලින් අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමේඋපාය මාර්ගය ද පවතින බව සිහිපත් කිරීම වැදගත්ය. 

මෙ වැනි කෙටිකාලීන විසඳුම් අවශ්‍ය බව දේශපාලන ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකා සංගමය ද පිළිගන්නා නමුදු, එකී පියවර රෝගය දිගුකාලීනව සුව කර ගැනීමට ඇති තිරසාර හා නියත මාර්ග අවහිර කිරීමට තුඩු නොදිය යුතු බව සංගමය අවධාරණය කරයි. 

මේ තත්වය හමුවේ ඉදිරි ආර්ථික උපාය මාර්ග තේරීමේ දී පහත දැක්වෙන නිර්ණායකයන් ගේ අදාළ බව ආණ්ඩුව හා ප්‍රතිපත්ති තීරකයන් වටහා ගත යුතු බව අප සංගමය අවධාරණය කරයි:

  1. කිසිදු කෙටිකාලීන ණය පහසුකමක් ලබා ගැනීමේ දී ඒ උදෙසා කොන්දේසි වශයෙන් දිගු කාලීනව ජාතික ආර්ථිකයේ ස්වෛරීත්වය පලුදු කර නොගත යුතු ය. 
  2. ජාතික සම්පත්, රාජ්‍ය දේපොළ හා උපාය මාර්ගික මර්මස්ථාන විදේශයන් සතු නොකිරීමට වග බලාගත යුතු ය.
  3. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය තුළින් එ්වායේ ඵලදායීතාව තහවුරු කිරීමේ අත්‍යවශ්‍යතාව දේශපාලන ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකා සංගමය එක හෙළා අවධාරණය කරයි. නිර්දේශපාලනික හා වෘත්තීමය ස්වාධීනත්වය නෛතිකව හා ව්‍යවස්ථාපිතව තහවුරු කෙරන කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපනය කර එම රාජ්‍ය ආයතන රටට බරක්නොව රුකුලක් බවට පත් කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමන තුරු සිටිය යුතු නැත. එසේම, රටට හා ජාතික ස්වෛරීත්වයට තර්ජනයක් නොවන පරිදි එවැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය ඉඩ හසර පාදා ගැනීමට එම සාකච්ඡා සම්මුතීන්ට රට වෙනුවෙන් සහභාගීවන නිලධාරීන් හා ප්‍රතිපත්ති තීරකයන් වග බලාගතයුතුය.
  4. පසුගිය ජනාධිපතිවරණයට පසුව ඉවත් කරන ලද හා ලිහිල් කරන ලද සියලු ඍජු බදු පිළිබඳ යළි සලකා බැලීමක් අවශ්‍ය වෙයි. රාජ්‍ය අයභාරයේ වක්‍ර බදු කොටස අඩු කර ඍජු බදු අනුපාතය ඉහළ දැමීමේ අවශ්‍යතාව අවධාරණය කරමු. එසේම, ඇති හැකි අයට භුක්ති විඳීමට ලැබෙන අධිවේගී මාර්ග සහනාධාරය වැනි අසාධාරණ සහනඉවත් කරමින් සැබෑ පිරිවැය වත් මාර්ග භාවිත ගාස්තු ලෙස පෞද්ගලික වාහනවලින් අය කෙරෙන පරිදි අදාළ මිල ගණන් හා ගාස්තු සංශෝධනය කිරීම ඔස්සේ රජයට ආදායම් ලබා ගත යුතු ය.
  5. කෙටිකාලීන විසඳුම් වශයෙන් ඉදිරිපත් කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ රටේ අහිංසක හා අඩු ආදායම්ලාභී සමාජ කොටස්වල පරිභෝජන මට්ටම් කෙරෙහි අහිතකර බලපෑම් ඇති නොවන අයුරු සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපනය කළ යුතු ය.
  6. පවත්නා ණය බර තුනී කර ගැනීමට ගන්නා පියවර තුළ අත්‍යවශ්‍යම මූලික අංගයක් වන්නේ ඉදිරි පරම්පරා ණය නොකර ආයෝජන ආදී කටයුතු පවත්වාගෙන යාම බව අප සංගමයේ අවධාරණයයි. එබැවින්, වෙළඳ ශේෂ හා ජංගම ගිණුම් හිඟය නැතිකර ගැනීමට වහා පියවර ගත යුතු ය. 
  7. අපනයන ප්‍රවර්ධනය, ආනයන ආදේශනය හා අත්‍යවශ්‍ය නොවන පරිභෝජන භාණ්ඩ  ආනයනය සීමා කිරීම මෙහිලා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග වෙයි. මේ සඳහා නිදහස් යැයි කියාගන්නා කොල්ලකාරී වෙළඳ ප්‍රතිපත්තියෙන් තීරණාත්මකව බැහැර විය යුතු ය. 
  8. අන් රටවල සාර්ථකව හා ස්වදේශ හිතකාමීව යොදා ගත් උපක්‍රමවලින් පාඩම් උගනිමින්, දේශීය ආර්ථිකයේ අවශ්‍ය අංශයන් තුළට, විශෙෂයෙන් ම තාක්ෂණසූක්ෂම අංශ තුළට හා එසේම නිෂ්පාදන ක්‍රියාවලීන්හි සහ විශේෂ වශයෙන් කර්මාන්ත නිෂ්පාදනයන්හි ඉහළ අවස්ථාවන් ට ළඟා විය හැකි වන සේ  ඍජු විදේශීය ආයෝජන ආකර්ශනයකර ගත හැකි වන ප්‍රතිපත්ති සකසා ක්‍රියාත්මක කළ යුතුය.  
  9. රාජ්‍ය අංශයේ දූෂණය හා නාස්තිය පිටු දැකීමට අවශ්‍ය නෛතික තත්ත්වයන් හා ක්‍රමවේදයන් වහා සකසා ස්ථාපනය කළ යුතු ය. අනෛතික ලෙස විදෙස් සම්පත් බැහැරට ගැළීම හා රට තුළට ආ යුතු සම්පත් පිටත රැඳීම වැළැක්වීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යතු ය.
  10. රාජ්‍ය ආයෝජන විමර්ශනය වෘත්තීමය හා ස්වාධීන තලයකට ඔසවා තැබීමට අවශ්‍ය නීති රෙගුලාසි හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වහාම ස්ථාපනය කළ යුතු ය. බලතල සහිත ජාතික සැලසුම් සභාවක් පත් කර, ඒ මගින් සියලු රාජ්‍ය ආයෝජනයන් හි සැබෑ ශක්‍යතා විමසා බැලීමටද, ඒ අනුව සුදුසු ව්‍යාපෘතිවල පමණක් ආයෝජනයන්අනුමත කිරීමට ද කටයුතු කළ යුතු වෙයි.  විදෙස් ණය මත මූල්‍යනය වන ආයෝජන සම්බන්ධයෙන්, තරගකාරී මිල කැඳවුම් අනිවාර්ය කරමින් හා විදෙස් ණය ගෙවීමට ප්‍රමාණවත් පමණට වත් විදෙස් මුදල් ඉපැයීමට එම ව්‍යාපෘති සමත් බවට තහවුරු කළහොත් විනා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ නොහැකි බවට නීති හා ආයතනික ව්‍යුහයන්සම්පාදනය කළ යුතු ය.
  11. රාජ්‍ය අංශයේ සියලු මිල දී ගැනීම් වල දී දේශීය නිෂ්පාදනයන් හා සේවා උදෙසා විනිවිද පෙනෙන සුළු ප්‍රමුඛතාවක් ලබා දිය යුතු ය. විදෙස් ණය මත ගොඩනැඟෙන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති කාර්යාල වලට අවසර ලැබීම තුළින් එවැනි ව්‍යාපෘති දිරිගැන්වෙන ලෙස සැකසී ඇති චක්‍රලේඛ සංශෝධනය කරමින් අදාළ සංවර්ධන කටයුුතු හැකිඋපරිම මට්ටමට දේශීයව හා රාජ්‍ය යන්ත්‍රණය ඔස්සේ ක්‍රියාත්මක කිරීම දිරි ගැන්වෙන ප්‍රතිපාදන ස්ථාපනය කළ යුුතු ය.
  12. දේශීය ප්‍රභවයන් හා සම්පත් භාවිතා කරමින් විදේශ වෙ‌ළෙඳපොළට සැපයිය හැකි තාක්ෂණික හා කාර්මික ක්ෂේත්‍රයන් වහා හඳුනාගෙන ඒවා කඩිනමින් ප්‍රවර්ධනය කළ යුතු ය. මේ සඳහා ව්‍යවහාරික නවෝත්පාදන හා පර්යේෂණ වෙත අවධානය යොමු විය යුතු ය.
  13. ජාතික කර්මාන්ත හා නවෝත්පාදන ප්‍රවර්ධනය උදෙසා සංවර්ධන බැංකුවක් පිහිටුවීමට පියවර ගත යුතු ය. ඒ තුළින් ව්‍යාපෘති ශක්‍යතාව අනුව සුදුසු යැයි තෝරා ගැනෙන ආයෝජනයන් මූල්‍යනයට පියවර ගත යුතු ය. 
  14. ජාතික ඓතිහාසික උරුමයක් වූ ඉතුරුම් හා අරපිරිමැසුම් සංස්කෘතිය යළි ස්ථාපනය කළ යුතු ය. ඒ සඳහා පාසල් මට්ටමෙන් වහ වහා ක්‍රියාත්මක විය හැකි ය. අනවශ්‍ය පරිභෝජන රටා සම්පත් නාස්තීන්ට තුඩු දෙනු විනා කිසිදු සංවර්ධනාත්මක ප්‍රතිඵලයක් ලබා නොදෙන බවත් සරල දිවි පැවැත්ම සතුට මෙන්ම තෘප්තිය ළඟාකර දෙන බවත්වටහා ගන්නා අනාගත පරපුරක් නිර්මාණය කිරීම අතිශය වැදගත් ය.

අත්සන් කළේ:

සුමනසිරි ලියනගේ

ලලිතසිරි ගුණරුවන්

(සම-කැඳවුම්කාරවරු)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan