අගමැතිගේ මැයි දින පණිවුඩය

0
384

සමස්ත පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය කම්කරු ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසනය පිරිනමමි.

වසර දෙකකට අධික කාලයක් ලෝක වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ඔබ, රට හමුවේ පවතින මෙම ආර්ථික අර්බුදය හේතුවෙන්ද පීඩාවට පත්ව ඇති බව නොරහසකි.

අනපේක්ෂිතව මුහුණ පෑමට සිදුවූ මෙම ආර්ථික අර්බුදය හමුවේ වුවද දැඩි කැපවීමකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබ රටට ලබාදෙන ආදර්ශය සුළු පටු නොවේ.

කම්කරු සටන් වෙනුවෙන් ඔබ සමඟ පෙරට ආ මම, වගකීම් ලද සෑම විටම ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරියෙමි.

එසේ වුවද රට හමුවේ උද්ගතව ඇති මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජයගත යුතුය.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර දේශීය මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ඒ සඳහා අවශ්‍ය සහය ලබාගනිමින් සිටියි.

මේ සියලු ප්‍රයත්නයන්ගේ අවසන් ඉලක්කය සුබවාදී රටක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් කම්කරු ජනතාව කරනු ලබන අසීමිත කැපකිරීම ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here