වතු කම්කරුවන්ට වැටුප් වැඩිකරන්න වතු හාම්පුතුන්ටත් වගකීමක් තිබෙනවා – වඩිවේල්

Date:

කොළඹ LNW:“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට සහ රජයට අපගේ ස්තූතිය පිරිනමනවා. නමුත් වතුහාම්පුතුන්ගේ සංගමය මීට අකුල් හෙළමින් සිටිනවා. හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගි වීම දිගින් දිගටම මඟ හරිමින් සිටියා. රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේ දී ද හාම්පුතුන්ගේ සංගමය මුනිවත රකිමින් සිටියා. නමුත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සිය බලය යොදා ගනිමින් රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් සඳහා නීත්‍යානුකූලව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඩොලරයේ අගය වෙනස් වීමත් සමඟ ජනතාවට සහන නොදී වතු සමාගම් කකුලෙන් ඇදීම අසාධාරණයි.රජයට වගේම වතු හාම්පුතුන්ගේ සංගමයටත් මේ පිළිබඳ වගකීමක් පැවරි තිබෙනවා. ඒ නිසා සමාගම්වලට ආණ්ඩුවේ තීරණවලට විරුද්ධව යන්න බැහැ. වතු සමාගම් පවසන්නේ අවසන් තීරණය සඳහා ඉහළ මට්ටමේ කමිටුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. නමුත් සම්පූර්ණ වතු සමාගම් 22 ම අයිති පුද්ගලයින් පස් දෙනෙකුටයි. ඔවුන් තේ වතු ක්ෂේත්‍රයේ පමණක් නොව සංචාරක ව්‍යාපාරය, කුඩා පරිමාණ නිෂ්පාදන, කෘෂිකර්මාන්තය සහ මැණික් වැනි ක්ෂේත්‍රවල ද නිරත වනවා. ඒ වගේම වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති එක්ව මෙම වැටුප් වැඩිවීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...