Monday, May 23, 2022
spot_img
spot_img

Latest Posts

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…

පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට පුරා තැනින් තැන අපට පෙනෙන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ මාදිලියේ විරෝධතාවන් ය. ගෝල්ෆේස් පිටිය යනු එම අදහස සක්‍රීය විරෝධාකල්පයකින් ප්‍රකාශයට පත්වෙන කු2ඩා බිම්කඩකි. රටේ වෙනත් සෑම තැනකම එම අදහස, වෙනත් මාදිලිවලින් දෛනිකව ප්‍රකාශයට පත්වෙයි. වසා ඇති සෑම ඉන්ධන පිරවුම්හලකම ඇති හිස්කමත්, විවෘතව ඇති සෑම ඉන්ධන පිරවුම්හලක්ම ඉදිරියේ ඇති දීර්ඝ පෝලිම් රාශියත්, රෑ දවල් දින ගණන් පාරේ පේළියට තබා ඇති දීර්ඝ ගෑස් සිලින්ඩර පේලිත්, තවත් පැත්තකින්, වෙළෙඳසල් තුළ හාල් කිලෝවක්, එළවළු ටිකක් හෝ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් මිලදී ගැනීමට ලතවෙන මිනිසුන්ගේ සහ බෙහෙත් ටික සොයාගැනීමට නොහැකිව රෝහල්වල විඳවන රෝගීන්ගේ මුහුණුවලින් පළ වන කලකිරීම සහ කෝපයත් ආදී සෑම කැඩපතක්ම, ගෝඨාභය ඇතුළු සකල රාජපක්ෂලා වහා ගෙදර යා යුතු බව කියන සජීවී ප්‍රකාශනයන් ය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය, රාජපක්ෂ පවුලේ අනාගතය වෙනුවෙන් ගෝඨාභය තියාගෙන වෙනත් රාජපක්ෂ කෙනෙකු හෝ දෙන්නෙකු විටින් විට මාරු කොට රටේ පාලනය තවදුරටත් ගැටගසාගෙන යාමට බලන සාමූහිකයක තත්වයට පත්ව තිබේ.

චරිත සහතිකයක් අවශ්‍ය කරන්නේ, නොදන්නා කෙනෙකු හඳුනා ගැනීමට ය. නම කී පමණින් එයම චරිත සහතිකයක් වන මිනිස්සු සිටිති. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල වැනි නම් ඇසූ පමණින් කෙනෙකුගේ කල්පනාවට එන දුර්ගුණ ගති ලක්ෂණ රාශියකි. මොවුන් දැන් දෙපෝයකට කලින් ‘අවලස්සන ඇමරිකානුවාගෙන්’ රටත් ජාතියත් බේරාගැනීමට පන්දම් අතට ගෙන ආවේශ වී සිටි බවක් පෙනුනි. අපේ බොහෝ දෙනා ඒ ගැන ප්‍රමෝදයට පත්වූහ. අතීතයේ මොන වැරදි කර ඇතත්, මේ මොහොතේ වීර චරිත සේ අප ඔවුන්ව භාරගත යුතුව ඇතැයි කියැවුණි. එය හැඳින්වුණේ රාජපක්ෂලා පෙරලා දැමීමේ ‘දේශපාලනික උපායමාර්ගයේ’ එක් කොටසක් වශයෙනි.

මෙය ලියන මොහොත වන විට ඔවුන් සියල්ලන් සිටින්නේ අර රාජපක්ෂලා සමග ය. තමන්ගේ එකෙකු බා ගැනීම ගැන කෝපයට පත්ව, ඒකා අස්කරන තෙක් කිසි සමාවක් නැතැයි කී ඊනියා ‘ස්වාධීනයෝද’ මේ වන විට ඒ පෝලිමේ සිටිති. රටේ මිනිසුන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල රස්තියාදු වන අතරේ මෙකී පරපුටුවන් දැන් පෝලිම් ගැසෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බේරාගැනීමට ය.

ජනතාව අඩි ගණනක් ඉස්සරහින්

සම්මත නායකත්වයට ඉදිරියෙන් ජනතාව පෙළගැසෙන අසිරිමත් අවස්ථාව මෙයයි. සුපුරුදු පරිදි සම්මත නායකත්වයන් පසුපස්සේ නොගොස්, තමන්ගේ න්‍යාය පත්‍රය එකී සම්මත නායකත්වයන් මගින් පිළිගන්වනු ලබන අද්විතීය අවස්ථාව මෙයයි. ඒ ප්‍රවණතාව කොතෙක් දුරක සාර්ථකත්වයක් අත්කර ගනීද යන්න ගැන ස්ථිරව යමක් කිව නොහැකි වෙතත්, මෙය ලංකාවේ ඓතිහාසික මොහොතක් බව නම් ඉඳුරා කිව හැකිය. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල සහ රාජපක්ෂවාදය ගෙදර යැවීමෙන් තොරව අර්බුදයට විසඳුමක් නැති බව තේරුම්ගැනීමට තරම් අද ලංකාවේ හුදී ජනයා මුහුකුරා ගොස් සිටින බව එයින් පෙනේ.

අත්හදාබැලීම් කරන සාමාන්‍ය තැන විද්‍යාගාරයයි. අත්හදාබැලීම් කරන්නේ විද්‍යාඥයා ය. ඒ, සත්‍යය දැනගැනීම සඳහා ය. කරන අත්හදාබැලීම වැරදුණොත් විද්‍යාඥයා කරන්නේ ඒ වැරැද්දෙන් පාඩම් උගෙන ඊළඟට වඩාත් නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ අදාළ අත්හදාබැලීම් වෙත නැවත යොමු වීමයි. එහිදීත්, ඔහුගේ/ඇගේ අරමුණ වන්නේ සත්‍යය දැනගැනීමයි. (සත්‍යය යන වචනය නිරපේක්ෂ අර්ථයකින් නොගන්න).

විද්‍යාඥයා යනු, දැනුම් මට්ටමින් සහ බුද්ධි මට්ටමින් ඉහළ පුද්ගලයෙකි. එබැවින් ඔහුගේ/ඇගේ අත්හදාබැලීම් අසාර්ථක වුණත්, ඔහුගේ/ඇගේ ක්‍රමවේද, දැනුම සහ තර්ක ඥානය ගැන සාධාරණ විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් කෙනෙකුට තැබිය හැකිය. එහෙත් ජන්ම මෝඩයෙකු සහ මන්දබුද්ධිකයෙකු අත්හදාබැලීම් කිරීමට ගියොත්, ඔහුට/ඇයට කිසි දවසක සත්‍යය සොයාගැනීමට නොහැකි වෙනවා පමණක් නොව, ආපසු හැරවිය නොහැකි විනාශයන් රාශියක් ඔහුගේ/ඇගේ අත්හදාබැලීම් හරහා සිදුවීමටත් ඉඩ තිබේ. එසේම, ජන්ම මෝඩයෙකු වීමට අමතරව, ඔහු/ඇය බොරුකාරයකුත් වන්නේ නම්, අත්හදාබැලීම් කොච්චර කළත් සත්‍යය වෙනුවට ලැබෙන්නේ බොරුවම සහ මිථ්‍යාවම ය. තවද, ජන්ම මෝඩයෙකු සහ බොරුකාරයෙකු වීමට අමතරව එම පුද්ගලයා අවස්ථාවාදියෙකුත් තක්කඩියෙකුත් වන්නේ නම්, එවැන්නෙකු අත්හදාබැලීම් කිරීමෙන් සාක්ෂාත් කරගැනීමට බලන්නේ, බොරුව සහ ස්වාර්ථයම පමණි. ගෝඨාභය රාජපක්ෂ අයිති වන්නේ මේ අවසාන ප්‍රභේදයටයි. ඔහු පළමුව මෝඩයෙකි/නූගතෙකි. දෙවැනුව වංචනිකයෙකි. තෙවැනුව, ස්වාර්ථය පතන පවුල්වාදියෙකි. එවැනි ‘විද්‍යාඥයෙකුගේ’ පරීක්ෂණයක් සඳහා පාවිච්චි කෙරෙන විද්‍යාගාරය වන්නේ මුළු රටක්ම නම්, ඒ පරීක්ෂණ සඳහා යොදාගන්නා රටහාවුන් වන්නේ මුළු මහත් ජනතාවක්ම නම්, එම රටට සහ ජනතාවට අත්විය හැකි විනාශයේ තරම කෙතරම්දැයි මේ මොහොත වන විට අපි ප්‍රත්‍යක්ෂයෙන් වටහාගනිමින් සිටිමු.

රටම බංකොලොත්ලු

ඊයේ (04) මුදල් ඇමති අලි සබ්රි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙළේය. ලංකාවේ විදේශ විනිමය සංචිතය මේ මොහොත වන විට ඩොලර් මිලියන 50 ටත් අඩු මට්ටමකට වැටී ඇති බව ඔහු කීවේය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මේ රටේ පාලනය භාරගන්නා අවස්ථාවේ ඩොලර් මිලියන නොව, බිලියන 7.6 ක විදේශ විනිමය සංචිතයක් තිබුණි. එය ඩොලර් මිලියන 50 දක්වා හිඳෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ කෙළේ කුමක්ද? මෙතෙක් කල්, අජිත් නිවාඩි කබ්රාල්, බන්දුල ගුණවර්ධන සහ ආණ්ඩුවේ වෙනත් බකපණ්ඩිතයන් පුනපුනා අපට සුරංගනා කතා කීවේය. ඒ කතාවලට අනුව, කිසි දෙයකට අප බිය විය යුතු නැත. අපේ ණය ගෙවීමට පමණක් නොව, එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ සහ සේවා සපයාගැනීමටත් අවශ්‍ය කරන තරම් විනිමය සංචිතයක් අපට ඇත. රටේ ආර්ථිකය හැසිරවීම, ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ අතේ පවතින බවට කිසි සැකයක් ඇති කර නොගන්නැයි මේ පිරිස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එක් අවස්ථාවකදී ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවා දැමූ දා රෑ අජිත් නිවාඩ් කබ්රාල් රට ඉදිරියට විත් ලොකු කයිවාරුවක් ගැහැව්වේය. එකී ණය ගෙවාගැනීමට තමන්ට නොහැකි වෙතැයි අනාවැකි කී දුෂ්ට පුද්ගලයන්ට දැන් ඇස් ඇර බලන්නැයි ඔහු ආරාධනා කෙළේය.

ගෝඨාභය බලයට පත්වූ දා සිට මෙවැනි අත්හදාබැලීම් ගණනාවක් කර තිබේ. ඒ සෑම අත්හදාබැලීමක්ම තකතිරුයි. මුග්ධයි. ඒ නිසාම, ඒ කිසිවකින් හරවත් ප්‍රතිඵල අත්නොවුණා පමණක් නොව, ඔහුගේ අවසාන (අ)ගුණය වන ඔහුගේම ස්වාර්ථයේ අවසාන අරමුණ පවා (පවුල ආරක්ෂා කරගැනීමේ අරමුණ පවා) ඒ සියල්ල මගින් අනතුරට පාත්‍ර කරගත්තේය. අද වන විට “ගෝඨා ගෝ හෝම්” කියන තත්වයට මුළු රටම පත්ව ඇත්තේ, ඔහුගේ ඒ මුග්ධ භාවයේ තරම ප්‍රත්‍යක්ෂයෙන් හෙවත් ඇඟට වදින තරමට මෝරා ගොස් ඇති බැවිනි.

ගෝඨාභයගේ ‘අත්හදාබැලීම්’ කිහිපයක්

බලයට පත්වූ ගමන් ඔහු කළ ප්‍රථම අත්හදාබැලීම වුණේ, ආණ්ඩුවේ ආදායම ව්‍යපාරිකයන්ගේ සුඛ විහරණය සඳහා කැප කිරීමයි. රටක් ආණ්ඩු කිරීමට ආදායමක් තිබිය යුතුය. ඒ ආදායම සහ වියදම අතර හිඟයක් ඇතොත්, එය දරාගත හැකි මට්ටමේ හිඟයක් විය යුතුය. පවුලක් නිදර්ශනයට ගන්න: යම් පවුලක් තමන්ගේ දෛනික ආදායම සහ වියදම අතර විශාල හිඟයක් තබාගෙන දිගටම ක්‍රියා කළොත් සිදුවන්නේ කුමක්ද? යම් දවසක, ලෝකයාට දස අතේ ණය වීමට අමතරව, ඊළඟ වේල කෑමට පවා සතයක් අතේ නැති වන යම් මොහොතකට ඒ පවුල පත්වීමයි. රටේ අයවැය පරතරය පිළිබඳ කාරණයත් ඊට සමානයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන අවස්ථාවට කලින් අවසාන වරට (2018) අපේ අයවැය හිඟය වශයෙන් පැවතියේ (රටේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව) සියයට 5.32 කි. ඔහු බලයට පත්වී මාසයක් ඇතුළත (2019 නොවැම්බරයේදී) ඔහු පළමු අත්හදාබැලීම පටන්ගත්තේය. එනම් බදු සහන මාලාවක් සැපයීමෙනි. බදු සහන කියූ ගමන් කෙනෙකුගේ හිතට එන්නේ ජනතාවට සපයන සහන වැනි හැඟීමකි. එහෙත් ඇත්ත වශයෙන්ම 2019 නොවැම්බර් මාසයෙන් පසු මේ රටේ සාමාන්‍ය ජනතාවට තමන් මිල දී ගනිමින් සිටි කිසි භාණ්ඩයක හෝ සේවාවක මිල අඩු වීමක් පිළිබඳ මතකයක් තිබේද? නැත, ගෝඨාභය රාජපක්ෂගේ බදු සහන කෙලින්ම ගියේ ව්‍යාපාරිකයන්ගේ සාක්කුවට ය. මේ බදු සහන මාලාව දීම නිසා, රජයට එතෙක් ලැබෙමින් තිබුණු ආදායම සියයට 20 කින් අඩු විය. ඒ අනුව, 2020 අයවැය හිඟය (දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව) සියයට 12.76 ක් දක්වා වැඩි විය. මේ අත්හදාබැලීම ගෝඨාභය ආණ්ඩුවෙන් කළ ලොකු වැරැද්දක් බව මුදල් ඇමති අලි සබි්‍ර ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ජනතාව යනු පරීක්ෂණ සඳහා බඩ පලන රටහාවුන්ද?

ඊළඟ අත්හදාබැලීමට ගෝඨාභය රාජපක්ෂ යොදාගත්තේ මේ රටේ ගොවි ජනතාව ය. අතුරලියේ රතන සහ චන්න ජයසුමන වැනි කෘෂි විශේෂඥයන් නොවන පිරිසක් කාලයක් තිස්සේ වකුගඩු පිස්සුවකින් විඳෙව්වෝය. රජරට ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගයේ හේතුකාරකය රසායනික පොහොර භාවිතය යැයි ඔවුන්ගේ ප්‍රවාදයෙන් කියැවිණ. නාථ නමැති දෙවි කෙනෙකු ඒ ‘සත්‍යය’ ඔවුන්ට හෙළිදරව් කළ බවත් කියැවුණි. මේ රසායනික පොහොර-වකුගඩු සහසම්බන්ධය ඔප්පු කිරීමට අදටත් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත. එය කෙසේ වෙතත්, මේ සමග ඈඳුණු තවත් ප්‍රවාදයක් ආවේය. එනම්, කාබනික ආහාර නිෂ්පාදනය මගින් රටකට ශුද්ධ ලාභයක් අත්වන්නේය යන්නයි.

වර්තමාන ලෝක වෙළෙඳපොළේ කාබනික ආහාර පංගුව සියයට 2-4 අතර ප්‍රමාණයකි. ධනවත් යුරෝපයේ එය සියයට 2 කටත් අඩුයි. එසේ වී ඇත්තේ ඇයි? නිෂ්පාදන වියදම අධික නිසා ය. උදාහරණයක් වශයෙන්, කාබනික නොවන ආහාරයක මිල මෙන් තුන් ගුණයක මිලක් කාබනික ආහාරයක් සඳහා වෙළෙඳපොළේදී ගෙවන්නට සිදු වෙයි. ඊටත් අමතරව, රසායනික පොහොර භාවිතයෙන් ලබන අස්වැන්න කාබනික වගාවෙන් ලබා ගැනීමට නම්, ඒ සඳහා යෙදවිය යුතු භූමි ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි කළ යුතු වන්නේය. එහෙත් වගා කළ හැකි බිම් ප්‍රමාණය, දවසින් දවස ලෝකය පුරා අඩු වෙනවා මිස වැඩි වීමක් සිදු නොවන බැවින්, (වැඩි වීමක් කළ හැක්කේ තිබෙන කැලෑ ටිකත් එළි කිරීමෙන් පමණක් නිසා) කාබනික ගොවිතැන, වැඩි වන ජනගහනයක් පෝෂණය කිරීම සඳහා කොහෙත්ම නොසෑහෙන්නේය. ඒ සියලු තර්ක පැත්තකින් තියමු. දශක ගණනාවක් තිස්සේ කරගෙන ආ රසායනික පොහොර භාවිතයේ සිට කාබනික ගොවිතැනට පරිවර්තනය වීම කිසිසේත් එක රැයකින් කළ හැකි දෙයක් විය නොහැකි බව, කෘෂි විද්‍යාව ගැන හෝ වකුගඩු රෝග ගැන මෙලෝ අවබෝධයක් නැතිව සාමාන්‍ය බුද්ධියකින් සිතාගත හැකි දෙයකි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ නමැති ‘විද්‍යාඥයාට’ ඒ දැනුම නොතිබුණි. ඉතිං ඔහු අතුරලියේ රතන, චන්න ජයසුමන සහ fදාස්තර පාදෙනිය වැනි ‘උගතුන්’ කී නිසා රසායනික පොහොර ආනයනය එක රැයකින් තහනම් කෙළේය. අවසානයේ ප්‍රතිඵලය කුමක්ද? ගොවියන් දුප්පත් වීම, ආහාර හිඟය සහ මිල අධික වීම, එය පියවීමට වැඩියෙන් ආනයනය කිරීම සහ ඒ සඳහා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වීම වැනි අබග්ග රාශියකි.

ඊළඟට, වසංගතය ආවේය. එහිදී මොහු කළ මුල්ම අත්හදාබැලීම් ඔබට මතකද? එන්නතකින් තොරව, දේශීය ඖෂධ මාර්ගයෙන් කොරෝනාව සුවපත් කළ හැකි බව කීවේය. ඒ වෙනුවට ඔහු නිර්දේශ කෙළේ, පැණියක් සහ ගඟට මුට්ටි දැමීමකි. එය බොරුවක් බව, විද්‍යාවෙන් ඔප්පු කිරීමට කලින්, මුට්ටි දැමූ එකාම එම රෝගයෙන් කාලක්‍රියා කරමින් ඔප්පු කෙළේය. එන්නත ආවේ ඊළඟටයි. ඒ එන්නත දුන්නේ කෙසේද? වසංගතයෙන් වැඩියෙන්ම මියයන්නේ වයස අවුරුදු 60 ට වැඩි මිනිසුන් බව ඒ වන විට මුළු ලෝකයාම නිරීක්ෂණය කොට තිබුණු සත්‍යයකි. එහෙත් ලංකාවේ එවැනි භාවිතයක් තිබුණේ නැත. බාල මහලු සියලු දෙනාට, වයස පිළිබඳ අනුපිළිවෙලකින් තොරව, එන්නත දීගෙන ගියේය. මරණයට පත්විය යුතුව සිටි ස්වාභාවික මරණ මෙන් දෙගුණයක් වැඩිහිටි ජීවිත ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූහ.

ආර්ථික ‘මොළයක්’ රටකට කළ විපතක්

ඩබ්. ඩී. ලක්ෂමන් නමැති ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් මොහු ළඟට විත් අලුත් සොයාගැනීමක් තමන් ළඟ ඇතැයි කීවේය. එය හැඳින්වෙන්නේ, ‘නූතන මූල්‍ය න්‍යාය’ නමිනි. එම න්‍යායට අනුව, රටක කොච්චර සල්ලි අච්චු ගැසුවත් වෙළෙඳපොළේ බඩු මිල ඉහළ යාමකට එය බලපාන්නේ නැත. ආර්ථික විද්‍යාව යන වචනය ඉස්කෝලේදීවත් අසා නැති නායකයෙකුට, හතරඅතේ ආර්ථික පඹගාලක හිර වී සිටින නායකයෙකුට මෙවැනි ‘හෙළිදරව්වක්’ දිව ඔසුවක් වනු නියති. අච්චු ගැසීමට මැෂිමක් තිබේ නම්, කඩදාසි සහ තීන්තත් තිබේ නම්, තවත් ප්‍රශ්න කුමටදැයි එවැනි පුද්ගලයෙකුට නිතැතින් සිතෙනු ඇත. ඒ අනුව (අද වන විට) රුපියල් ටි්‍රලියන පහකුත් ඉක්මවන මුදලක් අලුතෙන් අච්චු ගැසීම ඇරඹුණි. ඔබ අද වෙළෙඳපොළට ගොස් පාන් ගෙඩියක් සඳහා රුපියල් 140 ක් ගෙවන්නේ ඒ හේතුවෙනි. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 343 ක් ගෙවන්නේ ඒ හේතුවෙනි. එය ගෝඨාභය රාජපක්ෂගේ තවත් ‘අත්හදාබැලීමකි.’

ඊළඟ ‘අත්හදාබැලීම’ ගැන මෙසේ සිතමු. යම් කෙනෙක් මගෙන් ණයක් ඉල්ලයි. ඔහු බේබද්දෙකි. සූදු අන්තුවෙකි. නාස්තිකාරයෙකි. ඒ නිසා, ඔහු ඉල්ලන ණය දීමට නම්, ඒ ණය ආපසු මට ගෙවන්නේ කෙසේදැයි පෙන්විය යුතු බව මම ඔහුට කියමි. අහවලාගෙන් තවත් ණයක් ඉල්ලා එය ගෙවිය හැකි බව ඔහු කියයි. නැත්නම්, දැනට මිල දී ගෙන ඇති ලොතරැයිය ඊළඟ ඉරිදා සහතික වශයෙන්ම ඇදෙන බැවින් මගේ ණය එයින් පියවිය හැකි බව ඔහු කියයි. ඒ කිසිවක් විශ්වාස නොකරන මම, ඔහු බීමෙන් සහ සූදුවෙන් අත්මිදෙන්නේ නම් සහ නාස්තිය නතර කරන්නේ නම් පමණක් යම් ණයක් දිය හැකි බව කියමි. ඔහුට ඒ ‘කොන්දේසි’ අල්ලන්නේ නැත. ඒ නිසා ඔහු පොලීකාරයන් සොයා ගියේය. අවුරුදු දෙකක් ගත විය. ඉහත කී පරිදි, දෙකෝටියක් ජනතාවට ආහාර, ඖෂධ සහ වෙනත් සේවා සැපයීම සඳහා තමන් අතේ දැන් ඇත්තේ, ඩොලර් මිලියන 5 ක් පමණක් යැයි කියන මොහොතට දැන් ඔහු පැමිණ සිටී. අයි.එම්.එෆ්. හෙවත් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ යාමට අවුරුදු දෙකකුත් කල්මැරූ කතාව කෙටියෙන් එයයි. මෙය තමා අතින් සිදු වූ වරදක් බව ගෝඨාභය රාජපක්ෂ අද අපට කියයි.

අද අපි ගෙවන්නේ 74 වසරක ශාපයක් යැයි කීම, නිශ්චිත ප්‍රශ්නයක් සාමාන්‍යකරණයට ලක්කිරීමකි. එම කතාවේ ඇත්තක් ඇතත්, එයින් සිදුවන්නේ නිශ්චිත සහ හදිසි හේතුව දියාරු කිරීමයි. මෙය වනාහී, සත්තකින්ම දෙවසරක ශාපයකි. මොහොතක් මෙසේ සිතන්න: අද උදේ 8 ට ලයිට් කපන බව ඔබට දැනුම් දී තිබේ. එය පැය 12 ක ලයිට් කැපීමක් බවත් ඔබ දනී. ඒත්, අදත් උදේට නැගිටින ඔබ වෙන දවස්වල කරමින් සිටි දේවල්ම කරනවා මිසක, ලයිට් තියෙන වෙලාවේ වහා කරගත යුතු වැඩ කොටස නොකර සිටී. උදාහරණයක් විදිහට, රක්ෂාවට යාමට ඇඳුම් ටික මැදගැනීම, රයිස් කුකුර් එකේ බත් ටික උයාගැනීම, ටෙලිෆෝනය චාර්ජ් කරගැනීම ආදී, ලයිට් තියෙන වෙලාවේ කරගත යුතු වැඩ පැත්තකින් තියා, වෙනදා වගේම බුදුන් වැඳීම, ශරීර අභ්‍යාස කිරීම වැනි දේවල් කරමින් සිටී. උදේ 8 ට ලයිට් යයි. බුදුන් වඳින වෙලාවේ ඇඳුම් ටික මැදගත්තා නම් මොන තරම් දෙයක්දැයි ඔබට වැටහෙන්නේ එවිට ය. පසුගිය අවුරුදු දෙකහමාරේ කතාව දළ වශයෙන් ඊට සමානයි.

මගේ ප්‍රශ්නය මෙයයි: ජනතාවක් සමග කරන මුග්ධ අත්හදාබැලීම්වල විනාශයට වන්දි ගෙවිය යුත්තේ ජනතාවද? එම අත්හදාබැලීම් කළ පාලකයාද?

ගාමිණී වියන්ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.