විමල්ව හෝදන JVP – NPP ක්‍රියාකලාපය …?

විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූයේ 2008 වසරේදී ය. 88 – 89 කැරැල්ලෙන් පසුව 1993 වැනි කාලයක නැවත පිහිටුවන ලද ජවිපෙට සිටි දක්ෂතම කථිකයා මෙන්ම ජනප්‍රියම නායකත්ව චරිතය වූයේත් විමල් ය. විමල් ජවිපෙන් ඉවත්වූ පසුව ජවිපෙ විසින් ඔහුට චෝදනා ගණනාවකින් දමා ගසන ලදී. එහෙත් අද වනවිට ජවිපෙ වර්තමාන නායකයින්ගේ ක්‍රියාකලාපය විසින් සිදුකෙරෙමින් පවතින්නේ එදා ඔවුන්ට විමල්ට එල්ල කළ චෝදනාවලින් ඔහුව සෝදා පිරිසිදු කිරීම බව පැහැදිලිවම පෙනේ.

ඒ, මෙසේය.

මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධානයෙනි. මේ ශ්‍රීලනිප – ජවිපෙ සන්ධානයට මුල් වූයේ මංගල සමරවීර සහ විමල් වීරවංශ අතර පැවති අන්යෝන්‍ය අවබෝධය සහ විශ්වාසයයි‍. එකිනෙකට වෙනස් දෘෂ්ටිවාදයන් දරණ දේශපාලන පක්ෂ දෙකක් සන්ධානගත කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටුකළේ ඔවුන් දෙදෙනා විසිනි. ඒ සන්ධානය ගොඩනැඟුණේ හුදෙක් මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කරවීමට පමණක් නොව එල්ටීටීඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරවීම උදෙසා ය.

එහෙත් ඒ එල්ටීටීඊ සංවිධානය පරාජය කරවීමේ යුද්ධය සාර්ථකව ඉදිරියට ඇදෙද්දී එවකට මහින්ද සමග ළඟින්ම ගනුදෙනු කළ මංගල – විමල් හවුල කඩාකප්පල් කිරීමටත් විමල්ව ද හවුල් කරගෙන මහින්දගේ ආණ්ඩුව බිඳවට්ටවා යුද්ධය නැවැත්වීමටත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් විය. විමල් ඒ මොහොතේ තීරණය කළේ ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණය මැඬගෙන ජවිපෙ තුළ ඛණ්ඩනයක් ඇතිකරගෙන හෝ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට ය.

එසේ ජවිපෙ තුළ බෙදීමක් ඇතිකරමින් කණ්ඩායමක් ද රැගෙන මහින්ද කරා ගිය විමල්ට යුද්ධය අවසන් තුරු ජවිපෙ විසින් දරුණු ලෙස පහරදීමක් සිදුකෙරුණේත් නැත. එහෙත් එයින් පසු කලෙක විමල් ඇමති තනතුරු දරද්දී එම අමාත්යාංශවල සුළු ගණන්වල ඉන්ධන බිල්පත්වලට පවා පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකරමින් මාස ගණන් විමල්ව සිරගත කෙරිණි. එසේ කෙරුණේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේනගේ හෝ රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට නොවේ. එය ඒවා සිදුකරවූ පාර්ශ්වය මෙන්ම විමල් ද හොඳින්ම දන්නා කරුණකි.

විමල් ජවිපෙන් වෙන්වූ සමයේදී ජවිපෙ ඔහුට දමා ගැසුවේ ඔහු සුඛෝපභෝගී ජීවිතයක් සොයාගෙන ගිය බව කියමිනි. ඔහු විශාල නිවසක් ඉදිකළ බවට, ඔහු දේශපාලන සබඳතා හරහා මුදල් ඉපයූ බවට, ඔහු රජයේ දේපළ සහ රජයේ වාහන අවභාවිතා කළ බවට, ඔහු ඉහළ පැළැන්තියේ විවිධ චරිත ආශ්‍රය කරමින් ඔවුන් සමග සාද පවත්වමින් විනෝද වන බවට යනාදී වශයෙන් ජවිපෙ විමල්ට චෝදනා කළේ විමල් ආණ්ඩුවකට එකතු වීත් ජවිපෙ විපක්ෂයේ සිටියදීත් ය. අද වනවිට ජවිපෙ ජාතික ජන බලවේගය හරහා ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටී. ජවිපෙ නායකයින් අද ඇමති තනතුරු දරමින් සිටිති. අද ඒ ජවිපෙ ඇමතිවරුන්ගේ සුඛෝපභෝගී ජීවිත ජනතාවට පෙනෙන්නට පටන් ගෙන ඇත. ජවිපෙ ඇමතිවරුන්ගේ විශාල නිවාස ද එකින් එක හෙළිවෙමින් තිබේ. ජවිපෙ ඇමතිවරුත් අතිසුඛෝපභෝගී V8, රේන්ජ් රෝවර් වාහනවලින් ගමන් බිමන් යනු පෙනේ. ජවිපෙ නායකයින් සහභාගී වන ඉහළ පෙළේ සාද, උත්සව ගැන විවිධ කතා ජනතාවට අසන්නට ලැබේ. ජවිපෙ නායකයින්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශවලින් ද කෝටි ගණන් වටිනා ඉඩකඩම්, වාහන, ස්ථාවර තැන්පතු පමණක් නොව ක්‍රිප්ටෝ මුදල් පවා එළියට පනිමින් තිබේ. ඒ අනුව එදා ජවිපෙ නායකයින් විමල්ට චෝදනා මුඛයෙන් පැවසූ සියල්ලම අද ඔවුන් කරමින් සිටී. වෙනස එදා විමල් ආණ්ඩුවේත් ඔවුන් විපක්ෂයේත් සිටීම පමණි.

මෙයින් සිදුවන්නේ ජවිපෙ – ජාජබ වත්මන් නායකයින් තම එදිනෙදා ජීවිත තුළින්ම විමල්ව සේදීමයි. එනම්, එදා විමල්ට එල්ල කළ චෝදනා අසාධාරණ බව ජවිපෙ විසින්ම අද ඔප්පු කිරීමයි.

මේ අතර අසල්වැසි රටක බුද්ධි අංශ වාර්තාවකින් ද මේ කරුණුම විශ්ලේෂණය කර ඇති බවට ආරංචියක් ද දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ. ඒ, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේම ක්‍රියාකලාපය හරහා විමල්ව පිරිසිදු කිරීමක් සිදුවන බැවින් විමල් සමග නැගිටින බලවේග අඩපණ කිරීමට වහාම ආණ්ඩුව කටයුතු කළයුතු බවට අදාළ විදෙස් බුද්ධි සේවාව ආණ්ඩුවට නිර්දේශ කර ඇති බවට ය. එය කොතෙක් දුරට සාර්ථක වේදැයි අප දන්නේ නැත.

~ සුරේන් ජයසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...