රාජපක්ෂ නාඩගමේ මීගමු අඩව්ව තේරුම් ගන්න! – රැඩිකල් සෙන්ටර්

Date:

ජන අරගලයට මුවාවූ ඊනියා  ජාතිවාදී කලහකාරීන් පිරිසක් ඊයේ (10) මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ  ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට ගනුලැබූ පහත් උත්සාහය රැඩිකල් මැද සාමූහිකය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.  

එසේම එම පහත් උත්සාහය නිවැරදි ලෙස හඳුනාගෙන  ව්‍යර්ථ කිරීමට ප්‍රදේශයේ තරුණ ප්‍රජාව හා පූජකයන් එක්ව කටයුතු කළ බව දැනගන්නට ඇත.   

කුමන තත්ත්වයක් යටතේ හෝ ජාතිවාදයට, ආගම්වාදයට හිස එසවීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කළ ප්‍රදේශයේ පූජකයන් ඇතුළු  තරුණ ප්‍රජාවට රැඩිකල් මැද සාමූහිකයේ ගෞරවය එක් කර සිටිමු.

මාධ්‍ය වාර්තා මෙන්ම අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ,
ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමට පැමිණි පිරිස විසින් තෝරාගත්  කඩසාප්පු හා වාහන ගිනි තබා විනාශ කර, පොදුජන අරගලය මුළුමනින්ම ජාතිවාදී – ආගම්වාදී පීල්ලට මාරු කිරීමට උත්සාහ කළ බවය.   

ඒ වෙනුවෙන් ඔවුන් ඊයේ දහවල් කාලයේ සිටම මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිට ඇත. ඊට අදාළ සාක්ෂි පවා ප්‍රදේශයේ තරුණ ප්‍රජාව පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.      

මෑත ඉතිහාසයේ දේශපාලනය තුළ අපකීර්තිමත් සහ අසාර්ථක රාජපක්ෂ පාලනය සිය කැත කුණු වසා ගත්තේම අන්ත ජාතිවාදී සහ ආගම්වාදී ක්‍රියාමාර්ග හරහා ය.       

ඒ වෙනුවෙන් විවිධ වෙස් ගැන්වූ දඩ බලු බලකා,  වෙනම කන්න බොන්න දී, වැටුප් ගෙවා රාජපක්ෂවාදය විසින්  නඩත්තු කරන බවත් රහසක් නොවේ.    

ඒ අනුව මීගමුව කේන්ද්‍ර කරගනිමින්  ඊයේ දියත් වූයේ කුමක්ද යන්න තේරුම් ගැනීම දුෂ්කර නැත. 

එය මේ වන විට  රටේ මිනිසුන්ට බියෙන් සැඟව සිටින ආණ්ඩුව භාර රාජපක්ෂවරුන් ඇතුළු රාජපක්ෂවාදී නඩය යළිවතාවක් දේශපාලනය තුළ හිස එසවීම වෙනුවෙන් ගන්නා ලද අධම පහත් දේශපාලන උපක්‍රමයක් බව පැහැදිලිය.           

සැබවින්ම රාජපක්ෂවරුන්ට බංකර් සහ කඳවුරු තුළ හැංගෙන්න සිදුව ඇත්තේ නිරායුද සාමකාමී පොදු ජනතාවට බියෙන් ය. ඒ රාජපක්ෂවරුන් කවුද, මොනවද කළේ යන්න ගැන ප්‍රායෝගික අවබෝධයක් පොදු ජනතාව ලබා ඇති බව තහවුරු කරගෙන ඇති නිසාය.

රාජපක්ෂවරුන් රජුට සමාන කළ ජනතාව අද ඔවුනට, Go Home කියන තැනට පත්ව ඇත .

පසුබිම එසේ වූ බැවින් දැන් රාජපක්ෂවරුන් සිය පාපතර තුරුම්පු එකිනෙක අදින්න ගෙන ඇත. මැයි 09 වනදා සාමකාමී, නිරායුද ගෝල්ෆේස්  විරෝධතාකරුවන් වෙත සිය සංවිධානාත්මක මැර කල්ලි යොදවා ප්‍රහාරයක් එල්ල කරවීම එවැනි තුරුම්පු වකි. එහෙත් පොදුජනතාව, ජාතිභේද පසෙකලා ඊට මුහුණ දුන් බැවින් ඒ තුරුම්පුව බාල්දු විය      

ජාතිවාදී සහ ආගම්වාදී තුරුම්පුව රාජපක්ෂවරුන්ට ඉතිහාසයේ පුරා ඉමහත් සේවයක් සිදුකර ඇති තුරුම්පු වකි. මෙයද බාල්දු කළ හැකිව තිබෙන්නේ ජාතිභේද පසෙකලා එකට එක්වන පොදුජනතාවටමය.       

සැබවින්ම ප්‍රශස්ත මට්ටමක තිබූ රටක් වසර දෙකක් තුළ බංකොලොත් කළා පමණක් නොව දැන් සූදානම එකිනෙකා මරා ගන්නා අශිෂ්ට බිමක් බවට පත් කරන්නටය.   

එනිසා අපි වගකීමෙන් කියන්නේ රාජපක්ෂවරු මේ රට පාලනය කිරීමේදී අනුගමනය කළ වංචාව, දූෂණය, භීෂණය වගේම සිය පැවැත්මේ මතවාදය ලෙස සමාජගත කළ ජාතිවාදය සහ ආගම්වාදය ද රාජපක්ෂවරු සමග අවසන් කළ යුතුව ඇත.     

එවන් වූ සමාජ පිළිලයන් සහමුලින් තුරන් නොකරන තාක් මේ රටේ අනාගතය පිළිබඳ අද පරම්පරාව දකින සුබ සිහිනයන් සැබෑ කිරීම ඇති අවස්ථා අහිමි වූ සිහිනයන් පමණක්ම වනු ඇත.       

මෙහිදී සතුටු විය හැකි කරුණක් ද ඇත.    

ඒ මේ රට ගොඩනැගීමට නම් දූෂිත, අධම, අදූරදර්ශි පාලක කල්ලියක් වූ රාජපක්ෂවරු මෙන්ම රාජපක්ෂවාදීන් මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීමේ පරම අභිලාෂයෙන් ක්‍රියාකරන තරුණ පරම්පරාවේ ඒකායන ප්‍රාර්ථනාවක් ලෙස  ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මේ මුළුමහත් ශ්‍රී ලංකාව නිදහස් කරගත යුතු බව තිබීමය.  

ඒ බව ගෝල්ෆේස් පිටියේ පමණක් නොව රටපුරා විරෝධතා උද්ඝෝෂණ වල නිංනාද දෙමින් තිබේ.           

එබැවින්  ශ්‍රී ලංකා සමාජයේ බහු වාර්ගික, බහු භාෂාමය සහ බහු ආගමික ස්වභාවය පිළිගනිමින්, විවිධ වූ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරුකරන මිනිසුන් පිරි දේශයක් බවට, හෙට දවසේ මේ රට ගොඩනැගීම තවත් දුෂ්කර කටයුත්තක් නොවේ.          

ඒ සඳහා  අවශ්‍ය හඳුනාගත් පළමු මොහොතේ ම ජාතිවාදී ආගම්වාදී කළකෝලාහල ප්‍රචණ්ඩත්වය දුටු පළමු මොහොතේම ප්‍රතිකේෂ්ප කිරීම ය.      

අරගලය මෙතෙක් ලද තාවකාලික ජයග්‍රහණ අලුත් රටක් වෙනුවෙන් යථාවක් කර ගැනීමට නම් මෙ‍ෙතක් පවත්වා ගනු ලැබූ ඒ සියලු ජීවගුණ අඛණ්ඩව පවත්වා ගත යුතුව ඇත.     

ඒ වෙනුවෙන් එක්වෙමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු. සාමකාමී වෙමු.


ප්‍රචණ්ඩත්වය ප්‍රතිකේෂ්ප කරමු.          
සියලු අනන්‍යතා වලට ගරු කරමු.        

ජාතිවාදය භංග වේවා ! අරගලයට ජය වේවා !

ස්තූතියි.

රැඩිකල් මැද සාමූහිකය වෙනුවෙන්,

සංජය ලියනගේ
සී.එස්. කොඩිකාර
2022/05/11

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...