නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. එහෙම වෙන තැනැක් නැති නම් අපිට කියන්න- ජනපති අනුර

රෂිකා හෙන්නායක මැයි 12, කොළඹ LNW :

මාතලේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවයේ වගකීම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව අදහස් දක්වන ලදී.

එහිදී එතුමා අවධාරණය කළේ රාජ්‍ය නිලධාරීන් නීත්‍යානුකූලව තම රාජකාරි ඉටු කිරීමේදී කිසිදු දේශපාලන බලපෑමකට හෝ බියකට පත් විය යුතු නැති බවයි.

පවතින නීතිමය බාධා ඉවත් කරමින් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට රජය සූදානම් බවත්, නීතිය සැමට සමානව සහ සාධාරණව ක්‍රියාත්මක වන බවත් මෙහිදී ප්‍රකාශ විය.

අතීතයේ පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය බැහැර කරමින්, සියලු දෙනා නීතියට යටත් වන නව පරිවර්තනයක් රට තුළ ඇති කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

මීට අමතරව, ආර්ථික කළමනාකරණය සහ ආපදා සහන සඳහා අතිරේක ප්‍රතිපාදන වෙන් කරමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය එකඟතාවන් තුළ කටයුතු කරන ආකාරය ද මෙහිදී පැහැදිලි කළේය.

මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ,

“යම් බියක් හැදීම සඳහා යම් උත්සාහයක් දරමින් සිටිනවා රාජ්‍ය නිලධාරීන් තුල. මම ඒක දන්නවා.  කිසි කෙනෙක් බය වෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ යෙදෙන්න බය වෙන්න. අපිට රටක් හැටියට ඉදිරියට යන්න, එකක් අපි නීතියට යටත් වෙන්න ඕනේ. දෙක අපි නීතියට බය වෙන්න ඕනේ. ජනාධිපතිවරයාද, ග්‍රාම නිලධාරිවරයාද නීතියට යටත් නීතියට බිය වන්න ඕනේ. නමුත් අපේ සමාජයේ යම් සංස්කෘතියක් ගොඩ නැගෙමින් තිබුණා යම් දේශපාලන අධිකාරියක සහායක් තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, ධනය තිබෙනවා නම්, යම් දේශපාලන අධිකාරියක් සමඟ සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද මොන කාලයක් විරාජමානව වැජඹුණා ද මොන හස්ථයන් තිබුණ ද ඒ කිසිවක් භාජනය කරන්නේ නෑ. අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්ථනයකට ලක් කරන්න. ඔබ දන්නවා ඕනෑම පරීක්ෂණයකදී නමක් ගෑවුණොත් ඒ කෙනාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද. ගන්න ඕනේ. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යවසනයක් බවට පත් කිරීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය වන්නේ නෑ. මා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා නම් මගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද? අපි නීතියට උඩින්ද? නෑ. නමුත් එවැනි මතයක් සංස්කෘතියක් ගොඩ නැගීමේ උත්සහායක් තිබෙනවා. හැදෙනාම නීතියට යටත් වෙන බිය වෙන සමාජයක් ඕනේ. නමුත් ඒ කිසිදේකින් රාජ්‍ය නිලධාරීන්ට තමාගේ සීමාවන් යටතේ වැඩ කිරීමට බධාවක් ඇති කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය බිය ගැන්වීමක් ද ? , ඒක වෙන්න පුළුවන්ද ? වෙන්න විදියක් නෑ.

නීතිය කිසිසේත්ම අසාධාරණව, වෛරයෙන්, පළි ගැනීමේ චේතනාවෙන් ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. එහෙම වෙන තැනැක් නැති නම් අපිට කියන්න. ඒ සඳහා නීතියේම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා සාධාරණත්වය පතන්න. ඒ නිසා ඔය ගොල්ලෝ වැඩ කරන්න බය නැතුව. ඔබ කිසිවෙකුට දේශපාලන අධිකාරියේ බලපෑමක් නෑ. එහෙම තියෙනවා නම් අපිට කියන්න. නිදහස්ව කාර්යක්ෂමව වැඩ කිරීම තමා අපේ අපේක්ෂාව. අපේ රටේ ජනාධිපතිවරු ගණනාවක් සිටියා නීතියෙන් ඔප්පුවෙලා තියෙනවා ව්‍යවස්ථාව කඩ කරලා තියෙනවා කියලා. අපි හැමකෙනාටම නීතියේ රාමුවක් තියෙනවා. සමහර අවස්ථාවල එය බාධවක් වේවී. ඒවා අපිට කියන්න අපි ඒවා වෙනස් කරමු අවශ්‍ය පරිදි සාකච්ඡා කරමින් ඉන්නවා ප්‍රසම්පාද ක්‍රියාවලි වෙනස් කිරීම සඳහා අවශ්‍ය තැන් වලට.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ණය වැඩසටහනක ඉන්නේ. ඒ ණය වැඩසටහන නිසා රජයට වසරකට වියදම් කළ හැකි ප්‍රමාණය ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 13යි. නමුත් මූල්‍ය කළමනාකරණ පනත ඇතුලේ තියෙනවා මෙවැනි ව්‍යවසන තත්ත්වයකදී ඒ තත්ත්වය අපිට අබිභවා යන්න පුළුවන්. ඒ නිසා මේ වසරේ දී අතිරේකව තවත් සියයට 1.3ක් එනම් තවත් බිලියන 500ක් වගේ, ඒ කියන්නේ සියයට 14.3ක් දක්වා වියදම් කරන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...