සටහන – නිශ්මං රණසිංහ
මැයි 13, කොළඹ (LNW): ඔහු වසර විස්සක් තිස්සේ වේග පන්දුවෙන් පෑ හපන්කම් අමරණීය මතකයක් වනු ඇත.අවුරුදු 21 පමණ සිට අවුරුදු 42 වන තෙක්ම වේග පන්දු යවන්නෙක් ලෙස රටක් නියෝජනය කිරීම පහසු නැත.නියෝජනය කිරීම මෙන්ම දස්කම් පවත්වාගෙන යාම ඊටත් වඩා දුෂ්කර කාර්යකි.නමුත් මේ අපහසු සියල්ල පහසුවෙන් කළ මෙතෙක් ලොව පහළ වූ වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේග පන්දු යවන්නා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම හමාර කරන බව නිවේදනය කර ඇත.
නමින් ජේම්ස් මිචෙල් ඇන්ඩර්සන් නම් වූ ඔහුට ආමන්ත්‍රණය කිරීමේදී මිචෙල් යන්න භාවිතයට ගැණුනේ නැත.මුලත්,අගත් එක් කර ජේම්ස් ඇන්ඩර්සන් ලෙස භාවිතා වූ ඔහු ප්‍රිය මිතුරු සමාගම්වල දී ජිමී පමණක් විය.
වෙහෙස දරා ගනිමින් දින පහක් පුරා පවතින තරග 187 ට ක්‍රිඩා කිරීම යනු සාමාන්‍ය මිනිස් සිරුරකට කිරීමට අපහසු වැඩකි.පන්දු 39,877 ක් ඔහු යවා ඇත.පන්දු ඕවර් 6646.1 ක් ඔහු යවා ඇත.මේ වැඩේ පහසු නැති වේගවත් දිවීමක්,එසේම පන්දු යැවීම සඳහා ලබා ගන්නා පිමිමක් සහිත ඉල්පීමක් ඇති වැඩකි.මේ ස්වභාවය නිසාම වේග පන්දු යවන්නන්ගේ තරග දිවිය සමහර විට කෙටි කලකින් ආබාධ සහිතව නිමා වන්නේය.එය නවත්වා ගැනීමට ඇති හොඳම දේ අඛණ්ඩ කැපවීමය.ශාරිරික යෝග්‍යතාවය වෙනුවෙන් ශක්තිය ජවය වෙනුවෙන් ව්‍යායාම කිරීම වගේම නමනීයත්වය ද සුරැකෙන ව්‍යායාම නොකඩවා සිඳු විය යුතුය.
ඒ නිසා ඇන්ඩර්සන්ගේ රඳා පැවත්මම දස්කම් තරම්ම ආකර්ශණිව සය ආශ්චර්යමත් වැඩකි.ඔහු 2022 මැයි 22 දා සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වී ඇත.ඉන් වසර 21 ක් ගෙවුණු තැන දැන් ඔහු සිය සමුගැනීමේ ටෙස්ට් තරගය ලෙස තෝරා ගෙන ඇත්තේ ජූලි 10 – 14 අතර පවත්නා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගය ය.
බොහෝ දෙනෙක් සිතුවේ ඇන්ඩර්සන් මුරලිගේ වාර්තාව වන කඩුලු 800 ට සමීප වෙනු ඇති බවය.එහෙත් කඩුලු 100 ක් යනු සිතන තරම් පහසු කාරණයක් නොවන්නා සේ ම ඊට නිශ්චිතව තරග කෙතරම් ප්‍රමාණයක් වැය කරන්නට වේ ද යන්න ද සැක සහිතය.වයසත් සමඟ ගෙවෙන හැකියාවන් කළමණාකරනය කර ගැනීමට දැරිය යුතු වෙහෙස සුළු නැත.සමහර විට මේ ශාරිරික වැය කිරීම්ම දිනෙක අනාබාධිත විශ්මිත වේග පන්දු යවන්නාට ආබාධ මුණ ගස්වන හේතුවක් වන්නට ද හැකිය.එහෙත් බොහෝ අයගේ කීම් සහ ඉල්ලීම් සමඟ ඇන්ඩර්සන් ද ඒ සිහිනයේ ඇලී ගැලී සිටි බව ඇතැම් ප්‍රකාශවලින් පැහැදිළි විය.

නමුත් අප්‍රේල් මාසයේදී ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සමඟ ගොල්ෆ් පිටියේදී හමුවූ අවස්ථා සහ එංගලන්ත ක්‍රිකට් කළමනාකාර අධ්යක්ෂ රොබ් කී සමඟ වූ වැඩිදුර සංවාද ඇන්ඩර්සන්ගේ බුද්ධිය අවදි කරන්නට සමත් වී ඇත.ඔහු එංගලන්තයට වසර විස්සක් කඩුලු දඩයමෙන් ලබා දුන් සහය මෙන්ම ඕස්ට්‍රේලියානු සංචාරය ගොඩනැගීමේදී ඔහුගෙන් වෙනස්ව සිතන්නට එංගලන්තයට උපකාර කරන ලෙස ද ඔවුන් ලිහිල් සහ ආදරණිය බසකින් ඔහුට අවධාරණය කරන්නට ඇත.
දැන් සියල්ල නිමා කරන්නට ඇන්ඩර්සන් සූදානම් ය.ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඒ බව සඳහන් කර ඇත.
“ඩැනියෙලා, ලෝලා, රූබි සහ මගේ දෙමාපියන්ගේ ආදරය සහ සහයෝගය නොමැති වූවානම් මට මේ දේවල් කළ නොහැකියි. ඔවුන්ට විශාල වශයෙන් ස්තූතියි. ඒ වගේම මගේ කාර්යය ලෝකයේ හොඳම කාර්යය බවට පත් කරන්නට දායක වූ ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට ස්තූතියි.”
ඔහු ඔහුගේ සාර්ථකත්වයේ කීර්තියේ හිමිකරුවන් නම් කරමින් ප්‍රකාශ කර ඇත.එහෙත් කවදාවත් වෙහෙසක් නොපෙණි,වයසක නොදුටු ජෙම්ස් ඇන්ඩර්සන් වේග පන්දුව කරා දිව එන රිද්මය ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ තව බොහෝ කළක් ජීවත්වනු ඇත.ඔහුට වයස මතක් කර දිය යුතු තරමට තරුණාවේශයෙන් සිටි බව නොරහසකි.එසේම ඔහු ක්‍රිකට් ලෝලියාද දුටුවේ හැමදාම තරුණ පෙණුමෙන්ය.සදාකාලික තරුණයෙක් වූ ජෙම්ස් ඇන්ඩර්සන්ගේ හැකියාවන් යළි දකින්නට නොහැකි ලෙස ජූලි මාසයේ දී ඔහුගේ භාවිතාවට ජාත්‍යන්තර පිටිය වැසී ගිය ද,මිනිස් මතකයට ඉතිහාසය පුරාවට යළි යළිත් සිහිපත් කරන්නට අවශ්‍යය වෙන දස්කම් ඉතුරු කර පන්දු යවන්නෙක් ලෙස තවත් පරම්පරා ගණනක් මේ විශිෂ්ඨයාගේ වාර්තාවන් ක්‍රිකට් වංශ කතාවේ කතබස්වලදී හමුවනු ඇත.

ජෙම්ස් ඇන්ඩර්සන් එංගලන්තයට පමණක් නොව ලෝක ක්‍රිකට් ක්රීඩාවටම වටිනාකමක් එක් කළ ක්‍රීඩකයෙක්ය.