පසුගිය 7 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ විශේෂ කරුනු තුනක් පහත දැක්වෙයි (වීඩියෝව නරඹන්න) .
2023 වර්ෂයේ දී මහ බැංකුවට රුපියල් බිලියන 114 ක පාඩුවක් සිදු වූ බව.
මහ බැංකුව විසින් රජයට දී තිබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් සිදු වූ පළමු දින පාඩුව රුපියල් බිලියන 700 කට අසන්න ප්‍රමාණයකින් මහ බැංකු මූල්‍ය වාර්තාවලට පහරක් වැදුන බව.
මෙම පාඩුව යනු මහ බැංකුව විසින් රාජ්‍ය ණය පහළ දැමීම සඳහා රජයට සහ බදු ගෙවන්නට සැපයූ මූල්‍ය වාසියක් බව.\
මෙම ලිපියේ අරමුණ වන්නේ
මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ දෙවැනි සහ තෙවැනි කරුනුවල අසත්‍යතාවය සහ
ණය ප්‍රතිව්‍යුහගතකරණ පාඩුව යනු රජයට සහ බදු ගෙවන්නට අධික පාඩුවක් සිදු කළ මුදල් වංචාවක් බව කරුනු සහිතව ඉදිරිපත් කිරීම යි.
මහ බැංකුවේ අලාභය යනු අයෝග්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් සහ මුදල් ප්‍රතිපත්ති අක්‍රමිකතාවන්හි ප්‍රතිඵලයක් බව ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරමි.
ආයතනික මුදල් වංචාවන්
රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් වාර්තා වන මුදල් වංචාවන් ප්‍රධාන කොටස් දෙකකි.
පළමුව, විවිධ ක්‍රමවේදයන් හරහා මුදල් සොරකම් කිරීම.
දෙවනුව, නව්‍යශීලී ගිණුම්කරණ උපක්‍රමයන් අනුගමනය කිරීම හරහා සත්‍ය මූල්‍ය තත්ත්වය වසන් කිරීම.
ඉහත දැක්වූ රු.බි.700 ක පමණ පාඩුව මෙම දෙවන වර්ගයේ මුදල් වංචාවකි.
නව්‍යශීලී ගිණුම්කරණ වංචාවන් යනු මොනවා ද?
මෙහි නීති විරෝධී සහ සදාචාර විරෝධී භාවය ලෝකයේ පළමුවෙන් වාර්තා වූයේ 2001 වර්ෂයේ දී ඇමෙරිකාවේ එන්රෝන් සමාගමෙනි. එම වංචාව වූයේ සමාගමේ ණය සහ අලාභ දායි වත්කම් සමාගමේ මූල්‍ය ගිණුම්වලින් ඉවත් කොට, වංචාකාරී ගිණුම්කරණය හරහා විශේෂිත අරමුණු ඒකක නම් වූ නාමමාත්‍ර සමාගම් වෙත පැවරීම යි. එමගින්, එන්රොන් සමාගමේ ලාභය සහ මූල්‍ය තත්ත්වය උසස් බව හුවා දැක්වීම හරහා සමාගමේ කොටස් මිල ඉහළ නංවන ලදි.
මින් සමාගමේ සියළු පාර්ශවකරුවන් රැවටීම හෝ නොමඟ යැවූ අතර, ණය හිමියන්ට සහ කොටස් හිමියන්ට විශාල පාඩු සිදු විය. ඊට හේතුව, පාර්ශවකරුවන් විසින් සමාගම් සමඟ ගනුදෙනු කරනුයේ, ප්‍රකාශිත මූල්‍ය වාර්තාවන්හි ඇතුළත් තොරතුරු පදනම් කර ගෙන වන බැවිනි.
එබැවින්, 2001 වර්ෂයේ දී සමාගම බංකොලොත් වූ අතර රජය විසින් පැවරූ මුදල් වංචා නඩුවක් මගින් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරුට දීර්ඝ සිර දඩුවම් ලබා දෙන ලදි. එසේම, සමාගමේ විගණක වරයා වූ ආතර් ඇන්ඩර්සන් විගණක සමාගමේ බලපත්‍රය අහෝසි කරන ලදි.
ඊට පසුව, ඇමෙරිකානු පාර්ලිමේන්තුව විසින් සමාගම්වල යහපාලනය, ගිණුම් පවත්වා ගැනීම, මූල්‍ය වාර්තා සැකසීම, වගකීම සහ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ව සාබේන්ස්-ඔක්ස්ලේ පනත නම් වූ නීති සංග්‍රහයක් 2002 වර්ෂයේ දී පනවන ලදි. එබැවින්, ලෝකය පුරා ප්‍රසිද්ධ සමාගම් පිළිබඳ ආයතනික විශ්වාසය ඉහළ නැංවීම සඳහා සමාගම් කළමනාකරුවන් සහ නියාමකයන් විසින් මෙම පනතේ ප්‍රතිපාදනයන් මාර්ගෝපදේශයක් ලෙස අනුගමනය කිරීම දැකිය හැකිය.
නව්‍යශීලී ගිණුම් උපක්‍රමයන් හරහා ආයතනවල ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශනයන් විකෘති කිරීම විවිධ යටි අරමුණු මත සිදු වෙයි. ඒවා හඳුනා ගත හැක්කේ සැක සහිත මූල්‍ය තොරතුරු විමර්ශනය කිරීමෙනි.
මෙම අර්ථයෙන් ගත් විට මහ බැංකුව විසින් මෙතරම් ඉහළ ණය ප්‍රතිව්‍යුහගතකරණ අලාභයක් පෙන්වීම නව්‍යශීලී ගිණුම් උපක්‍රමයක විකෘති මූල්‍ය ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.
මෙහි දැක්වෙන ණය ප්‍රතිව්‍යුහගත කරණය යනු කුමක් ද?
මෙහි ණය ප්‍රතිව්‍යුහගත කරණය යනු මහ බැංකු අධිපතිට වැරදීමකි. ඔහු සහ රජය විසින් පුන පුනා එය දැක්වූයේ දේශීය ණය ප්‍රශස්ථ කරණය ලෙස ය. මහ බැංකුව විසින් රජයට දෙන ලද ණය ද ඉන් කොටසකි. ඒ අනුව, මහ බැංකුව විසින් රජයට දෙන ලද පොලී රහිත අත්තිකාරම් සහ භාණ්ඩාගාර බිල්පත් ණයවල එකතුව වූ රුපියල් බිලියන 2,713 ක් සඳහා රුපියල් බිලියනක 221 ක මුහුණත වටිනාකමට නව භාණ්ඩාගාර බිල්පත් 12 ක් ද, රුපියල් බිලියනක 2,492 ක මුහුණත වටිනාකමට නව භාණ්ඩාගාර බැඳුම්කර 10 ක් ද 2023 සැප්තැම්බර් මස 21 දින මහ බැංකුවට නිකුත් කරන ලදි.
ණය ප්‍රතිව්‍යුහගත කරණයෙහි පළමු දින අලාභය ලෙස දක්වා ඇත්තේ කුමක් ද?
මහ බැංකු අධිපති විසින් පවසන්නේ, එසේ ප්‍රතිව්‍යුහගත කළ ණය මත 2023 සැප්තැම්බර් මස 22 දින ම රුපියල් බිලියන 700 ක පමණ පාඩුවක් මහ බැංකුව ට සිදු වූ බව යි. එය ද සාවද්‍ය ප්‍රකාශයකි. ඊට හේතුව, මහ බැංකු මූල්‍ය වාර්තාවන් අනුව එය රුපියල් බිලියන 766 ක් වීම යි.
මෙම අලාභය ලෙස දක්වා ඇත්තේ, එම බිල්පත් සහ බැඳුම්කර සඳහා 2023 සැප්තැම්බර් මස 22 දින ද්විතීය වෙළෙඳපොළේ පැවති මිල ගණන් අනුව වටිනාකම ගණනය කොට පොත්වල සටහන් කිරීම හේතුවෙන් සිදු වූ අලාභය යි. ඒ අනුව, රජයට දෙන ලද මහ බැංකු ණයවල එදින වෙළෙඳපොළ වටිනාකම ලෙස මහ බැංකු පොත්වල සටහන් වූයේ රුපියල් බිලියන 1,947 ක් පමණි. එනම්, 28.2% ක අලාභයකි. එනම්, 28.2% ක වට්ටම් මිලකි. එහෙත්, රජය විසින් මහ බැංකුවට අනාගතයේ දී ආපසු ගෙවන මුදල වනුයේ රුපියල් බිලියන 2,713 ක් වන මුහුණත මිල යි.
මෙසේ වත්මන් වෙළෙඳපොළ මිල ගණන් මත වත්කම්වල වටිනාකම ගණනය කොට ගිණුම්වල සටහන් කිරීම විශාල මූල්‍ය වෙළෙඳ ව්‍යාපාරික ආයතන සඳහා නිර්දේශිත ගිණුම් ප්‍රමිතියකි.
පළමු දින අලාභය වංචාකාරී ගණනය කිරීමක් වන්නේ ඇයි?
මෙසේ ගිණුම් සකසා මහ බැංකුවට අලාභයක් පෙන්වීම ඉහත දැක්වූ ඇමෙරිකානු එන්රොන් සමාගමේ සිදු වූවාක් මෙන්, යටි අරමුණු මත කරන ලද මූල්‍ය වංචාවක් විය හැකි බවට මූලික කරුනු රැසක් ඉදිරිපත් කළ හැකිය.
පළමුව, මහ බැංකුව යනු මූල්‍ය වෙළෙඳ ආයතනයක් නොවන අතර ප්‍රතිව්‍යුහගත නව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කළඹ ලාභ ඉපයීම පිණිස වෙළෙඳාම සඳහා පවතින මූල්‍ය වත්කම් කළඹක් නොවේ. එබැවින්, මෙහි දී, මහ බැංකු මූල්‍ය වාර්තාවන් සැකසීම සඳහා ව්‍යාපාරික ගිණුම් ප්‍රමිතීන් අනුගමනය කිරීම අයෝග්‍යය.
දෙවනුව, ව්‍යාපාරික ගිණුම්කරණයේ දී, වත්කම්වල වෙළෙඳපොළ වටිනාකම ගණනය කරනුයේ මූල්‍ය වාර්තාවන් සැකසීමට අදාළ දිනයන් සඳහා ය. උදාහරණ ලෙස කාර්තු අවසාන දින සහ මුදල් වර්ෂය අවසාන දින. එහෙත්, මහ බැංකු මූල්‍ය වාර්තාවල නව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කළඹෙහි වෙළෙඳපොළ වටිනාකම/මිල ගණන් මත අලාභය දැක්වෙන්නේ 2023 වර්ෂය අවසාන දින සඳහා නොව 2023 සැප්තැම්බර් මස 22 දින සඳහා ය. 2023 වර්ෂය අවසාන දිනයේ දී එම වෙළෙඳපොළ වටිනාකමට සිදු වූයේ කුමක් ද? යන්න නොදැක්වෙයි.
තෙවනුව, මහ බැංකු මූල්‍ය වාර්තාවල සඳහන් වන්නේ ද්විතීය වෙළෙඳපොළ රාජ්‍ය සුරැකුම්පත් මිල ගණන් අනුව මෙම වටිනාකම ගණනය කළ බව යි. එහෙත්, මෙම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළේ වෙළෙඳාම් නොවේ. ඊට හේතුව, ඒවා වෙනත් පොදුවෙන්දේසිවල දී නිකුත් කොට නොමැති බැවිනි. එබැවින්, මීට ආදේශක ලෙස භාවිතා කළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිල ගණන්/ඵලදා අනුපාතයන් හෝ යොදාගත් උපකල්පනයන් හෝ ඒවා ගණනය කළ ආකාරය දක්වා නැත.
සිවුවනුව, 28.2% ක වට්ටමක් සහිත මිලක් දේශීය රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ එදින පැවති බව පිළිගත නොහැක. එවැනි ඉහළ වට්ටම් පවතින්නේ මහ බැංකුව විසින් ගෙවීම පැහැර හරින ලද ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ය. දේශීය ණය ප්‍රශස්ථ කරණය කරනු ලැබුවේ, දේශීය ණය තිරසාර භාවය සහ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ය. එබැවින්, මෙම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල මුහුණත වටිනාකම රජය විසින් නියමිත දින මහ බැංකුවට ආපසු ගෙවනු ඇත. දේශීය රාජ්‍ය ණයවල කිසිම පැහැර හැරීමක් සිදු වීමේ අවදානමක් පවතින බවට මහ බැංකුව විසින් තහවුරු කොට නොමැත.
පස්වනුව, මහ බැංකුව විසින් නියාමනය කෙරෙන බැංකු සහ මූල්‍ය ආයතන සහ සේවක අර්ථසාධක අරමුදලේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනවල වටිනාකම ද මෙවැනි වට්ටම් මත ගණනය කෙරේ නම්, ඒවා බංකොලොත් විය යුතුය. මහ බැංකුව විසින් අනුගමනය කරන වට්ටම් අනුපාතයන් එම ආයතනවලට ද වඩාත් මූල්‍ය සුරක්ෂිත භාවය සඳහා අනුගමනය කරන ලෙස නියම නොකිරීම ප්‍රශ්නයකි.
සයවනුව, මහ බැංකුව විසින් මහ බැංකු ලාභයෙන් රජයට ලාභ බෙදීම ගණනය කිරීමේ දී, මෙසේ වත්කම් වෙළෙඳපොළ මිල ගණන් මත වටිනාකම් ගණනය කිරීමේ දී හට ගෙන ඇති සත්‍ය ලෙස නොලැබූ (උපලබ්ධි නොවූ) පොත් ලාභ හෝ අලාභ ඉවත් කරනු ලැබේ. එහෙත්, මෙම රුපියල් බිලියන 766 ක එම පොත් අලාභය ඉවත් කොට නොමැත. එබැවින්, රජයට ගෙවිය යුතු ලාභය රුපියල් බිලියන 314 ක අලාභයක් ලෙස ඇස්තමේන්තු වී ඇත. එසේ ගෙවිය යුතු ලාභය අලාභයක් ලෙස ඇස්තමේන්තු කිරීමේ ගණකාධිකරණ මූල ධර්මයක් නොමැත. එම අලාභය ඉවත් කළා නම්, රජයට ලැබිය යුතු ලාභය රුපියල් බිලියන 452 ක් වනු ඇත. එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත අලාභයක් පෙන්වීම හරහා මහ බැංකුව විසින් රජයට ගෙවිය යුතු ලාභය වසන් කොට ඇත. රාජ්‍ය මුදල් අර්බුදයකට පත්ව සිටින මෙම අවස්ථාවේ රුපියල් බිලියන 452 ක ආදායමක් රජයට අහිමි කිරීම විශාල මූල්‍ය වංචාවකි.
සත්වනුව, රුපියල් බිලියන 766 කින් මහ බැංකුවේ වත්කම් පහළ ගොස් ඇති බැවින් එය මහ බැංකුවේ අයිතිකරු වන රජය සහ බදු ගෙවන්නන්ට සිදු වූ අලාභයකි. එය ඉදිරියේ දී තවත් ඉහළ ගිය හොත්, මහ බැංකුව ද බංකොලොත් වී, මහ බැංකුව බේරා ගැනීම සඳහා අවශ්‍ය කොටස් මුදල් සැපයීම සඳහා බදු ඉහළ දැමීමෙන් අරමුදල් සපයා ගත යුතුය.
අටවනුව, ඉහත දැක්වූ කරුනු අනුව මෙම අලාභය යනු මහ බැංකුවේ පොත්වල සටහන් වී ඇති රාජ්‍ය ණය ප්‍රමාණයේ වටිනාකම පහළ යාමකි. එහෙත්, රාජ්‍ය පොත්වල සඳහන් වී ඇති ණය මුහුණත වටිනාකම වන රුපියල් බිලියන 2,713 ක මුදල නියමිත දිනවල මහ බැංකුවට ආපසු ගෙවනු ඇත. එබැවින්, මෙම අලාභය යනු මහ බැංකුව විසින් රාජ්‍ය ණය පහළ දැමීම පිණිස රජයට සහ බදු ගෙවන්නට සැපයූ මූල්‍ය වාසියක් බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම හුදෙක් රජය සහ මහජනයා මුලා කිරීමට උත්සාහ කිරීමකි. ඊට හේතුව, මහ බැංකු අධිපතිවරයෙකුට මෙවැනි අති සරල මූල්‍ය කරුනක් අවබෝධ කර ගැනීමේ දැනුම පවතින බැවිනි.
නවවනුව, මුදල් මුද්‍රණය කිරීම හරහා රුපියල් ට්‍රිලියන 4 කට වැඩි වත්කම් තොගයක් මත ගනුදෙනු කරන මහ බැංකුවට, රජයට ගෙවීමටවත් ලාභ නොමැති බව ප්‍රකාශ කිරීම මහ බැංකු ආර්ථික විශේෂඥයන් හැර කිසිවෙකු පිළි නොගනු ඇත. මහ බැංකුව විසින් තම මහජන වගකීම් ඉටු කරන්නේ මුදල් මුද්‍රණය කිරීම හරහා නම්, අලාභ සිදුවීම පිටුපස ඉහත දැක්වූ වැනි බොහෝ මූල්‍ය වංචාවන් සහ අක්‍රමික ගනුදෙනු පැවතිය යුතුය. මෙම අලාභයන් නොතකා මහ බැංකුව විසින් තම සේවක වැටුප් විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමට පසුගිය මාසවල උත්සාහ කිරීම නීති විරෝධී සහ සදාචාර විරෝධී බව රජය විසින් දැනටමත් තීරණය කොට ඇත.
නිගමනය
මහ බැංකුවේ ගිණුම් සහ මූල්‍ය වාර්තාවන් නියාමනයට විශේෂ නියාමන ආයතනයක් නොමැත. එබැවින්, මහ බැංකු මූල්‍ය වාර්තාවන් පරීක්ෂා කොට, වංචාවන් සොයා ගැනීම සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ගයන් ගැනීම පාර්ශව කරුවන් කිහිප දෙනෙකුගේ වගකීමකි. ඔවුන් පහත දැක්වෙයි.
මහ බැංකු මූල්‍ය ගනුදෙනු පිළිබඳ කාර්යක්ෂම අභ්‍යන්තර පාලන ක්‍රමයක් ඇතුළු ආයතනික යහපාලනයක් ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය වාර්තාවන් අනුමත කිරීමේ වගකීම භාර මහ බැංකු පාලක මණ්ඩලය.
මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සඳහා මූල්‍ය වාර්තාවන් පරීක්ෂා කොට නිවැරදි භාවය තහවුරු කොට ඉදිරිපත් කෙරෙන මහ බැංකු විගණක සභාව.
මහ බැංකුවේ නිල විගණක ආයතනය වන විගණකාධිපති.
මහ බැංකුවේ මුදල් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාලනය භාර මුදල් ඇමති සහ පාර්ලිමේන්තුව.
මෙම ලිපියෙන් ඉදිරිපත් කළ මූල්‍ය විෂය කරුනු පිළිබඳ ව මහ බැංකු පාලක මණ්ඩලය, මහ බැංකු විගණක සභාව සහ විගණකාධිපතිගේ වගකීම් ඉටු වී නොමැති බව මෙම අලාභය සහිතව දැනටමත් මූල්‍ය වාර්තාවන් ප්‍රසිද්ධ කොට තිබීමෙන් පැහැදිලි ය.
එබැවින්, ඉතිරි වී ඇත්තේ, මුදල් ඇමති සහ පාර්ලිමේන්තුවේ වගකීම් ක්‍රියාත්මක කිරීම යි. වත්මන් දේශපාලනික සහ ආර්ථික වාතාවරණය තුළ එය ද සිදු වේ යැයි සිතිය නොහැකිය.
එබැවින්, සමස්තයක් ලෙස ගත් විට මහ බැංකුව විසින් මෙවැනි මූල්‍ය වාර්තාවන් පළ කරන විට, IMF කොන්දේසි සහ නිර්දේශයන් මත රජය විසින් මර්දනය කිරීමට අදිටන් කොට ඇති දුෂණය කුමක් ද? යන්න සිතා ගත නොහැකිය.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)