සින්දුර් මෙහෙයුම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකභාවය: දොරටු විවෘත කිරීම වෙනුවට අගුළුලා ගැනීම!

Date:

කොළඹ LNW:ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 ක් ඝාතනය වීම මුල්කරගනිමින් ඇරඹි ඉන්දු පාකිස්ථාන ගැටුම දින හතරක වැනි කාලයක් තුළ සමථයකට පත් විය. ඇමරිකාවේ ද මැදිහත්වීමකින් එම ගැටුම සමථයකට පත්වුවද පසුගිය (13) දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ජාතිය අමතා ඉන්දියානුවන්ගේ මයිල් කෙලින් වෙන ආකාරයටත් පාකිස්ථානයට තර්ජනාතමක්වත් පැවසුවේ ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදයට එරෙහිව දැඩිව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

පාකිස්ථානයේ හැකියාව නොසලකා හරිමින් කලාපයේ ලොකු අයියා ලෙස ඉන්දියාව කටයුතු කළේ කලාපයෙන් ඔබ්බට ගිය ජාත්‍යන්තරයටද ඉන්දියාව දෙස නැවත නැවත හැරී බැලීමට සිදුවන ආකාරයෙන්. කෙසේවෙතත් මේ මොහොත වන විට පාකිස්ථානය සතුවත් දියුණු යුද හැකියාව මෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ඇති හැකියාව මේ යුද්ධය විශාල විනාශයක් දක්වා වූ ගමන අඩපණ කර තිබේ. තවත් පැත්තකින් දින හතරක ගැටුම් කාලය තුළ පාකිස්ථාන ගුවන ප්‍රහාර හමුවේ ඉන්දීයාවේ ඇති අති නවීන ප්‍රහාරක යානා කිහියපකට සිදුවූ විනාශය මෙන්ම ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙක් පාකිස්ථාන ග්‍රහණයට නතු වීමත් නිසා ඉන්දියාවට අඩියක් පස්සට ගැනීමට අභ්‍යන්තර බලපෑමක් එල්ල වී තිබුණි.

ඒ කෙසේවෙතත් සිය හමුදාවන් ඉහළට ඔසවා තබමින් අගමැති මෝදී ජාතිය අමතමින් කරන ලද කතාව ආඩම්බරකාර ඉන්දියානුවන්ගේ ආඩම්බරය තවදුරටත් නංවන්නක් ලෙස දක්නට ලැබුණි.

“සෑම ඉන්දියානුවෙක්ම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ ඉතිහාසය ලියා තිබෙනවා..මම ඔබේ ආශිර්වාදය ලබා ගැනීමට ආවා..ත්‍රස්තවාදීන් අපට අභියෝග කළා. නමුත් ඔබ ඔවුන්ට හිසට පහර දුන්නා. ඔබ ඔවුන්ගේ කඳවුරු විනාශ කර ත්‍රස්තවාදීන් 100ක් මරා දැමුවා. ඔවුන් අපට පහර දීමට උත්සාහ කළහොත් එහි ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් සමස්ත ඉන්දියානුවන් කුල්මත් කිරීමට අගමැති මෝදී සිය දේශපාලනික හැකියාව යහමින් යොදාගන්නා ලදී.

ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකි බව කී අගමැති මෝදි පාකිස්ථානයට ඉන්දියාව සමඟ ඇති ජල ගැටලුව සාමකාමී සාකච්ඡා මගින් විසඳනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය. ඒ අනුව මෙවර පකිස්ථානයට ඉන්දියාව තදින් කෙනිත්තීමට හැකි වුවද අගමැති මෝදී එම වේදනාව අපහසුවෙන් සඟවා ගත් බව ඔහුගේ ජාතිය ඇමතීම තුළ පෙනෙන්ට විය. කෙසේවෙතත් අළුයට ගිනි මෙන් තිබෙන කලාපීය භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් මෙම ඉන්දු පාකිස්ථාන පටලැවිල්ල නිසි ලෙස ග්‍රහණය කර ගැනීම සහ එහි අපට ඇති අවධානම වටහා ගැනීම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මෙන්ම අභ්‍යන්තරික කළමනාකරණ වෙනුවෙන්ද වැදගත්ය. ඒ අනුව මෙම කාරණයේදී ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සහ මැදිහත්විය යුතුව තිබුණු හොඳ ආකාරය ගැන ජාත්‍යන්තර පර්යේෂයෙක් මෙන්ම ජාත්‍යන්තර ආර්ථික,දේශපාලන විශ්ලේෂකයෙක් වන හිටපු වන්නි ආඥාපති මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා කරුණු පැහැදිලි කිරීමක් කරයි.

ඉන්දු පාකිස්ථාන ගැටුම් හරහා ශ්‍රී ලංකාවට පැහැදිලි ලෙසම ආර්ථික මෙන්ම දේශපාලන බලපෑම් එල්ල නොවේ යන පූර්ව නිගමනය කිසිලෙසකින්වත් පැමිණිය නොහැකි කාරණයකි. ඒ අනුව කලාපීය සහයෝගිතාවේ ප්‍රතිඵලයක් ලෙස හෝ එවැනි අවදානම් සහගත තත්ත්වයන් කළමනාකරණය කරගැනීමට නොබැඳි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මැදිහත්වීමේ අවකාශය නැතුවා නොවේ.

දැනට ක්‍රියාත්මක රුසියා – යුක්‍රේන යුද්ධය මෙන්ම ඊශ්‍රායල් – හමාස් යුද්ධය තුළ එම ජාතීන් මෙන්ම ගෝලීය ප්‍රජාවන් පත්ව තිබෙන අසීරු තත්ත්වයන් නිසි ලෙස අධ්‍යයනය කිරීම තුළ හැකි තරම් යුද්ධ වළක්වා ගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික භාවයන් යොදාගත හැකිය. ලෝකෙට ලොක්කන්ගේ කෙළි වලට ඇඟිලි ගැසීමට දේශපාලන ආර්ථික බලවත් භාවයක් නොමැති වුවද ඒවා සම්බන්ධයෙන් දරන ස්ථාවරයන් මොනවාද යන තුළ අප වැනි කුඩා රාජ්‍යයන්හි අනාගතය සුරක්ෂිත බව රැඳී තිබේ.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානයේ ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කෙබඳු විය යුතුද යන්න පිළිබඳ මේජර් ජනරාල් ආචර්ය බොනිෆස් පෙරේරා මහතාගේ විශේෂණය පහත ලිපියට ප්‍රවේශ වීමෙන් අදහසක් ලබා ගත හැකිය.

https://www.dailymirror.lk/print/opinion/STRATEGIC-IMPLICATIONS-OF-A-POSSIBLE-INDO-PAKISTAN-WAR-AND-SRI-LANKAS-STAND/172-307619

මේ වන විට ගැටුම් සමථයකට පත්ව තිබුණද ඉන්දියාවේ ස්ථාවරය අනුව නැවත පහල්ගම් වැනි ප්‍රහාරයක් සිදුවුවහොත් ඔවුන් යළි ක්‍රියාත්මක වන බව සහතික කොට තිබේ. එක අතකින් ඉන්දියාව තුළ ඔවුන්ගේ ජාතිකත්වය සම්බන්ධයෙන් මානයක් පැවතුණද මහජන බලපෑමද දැඩි වන මොහොතක ඔවුන් දේශපාලනික වශයෙන් ගනු ලබන තීන්දු තීරණ අසල්වැසි දුපත් රාජ්‍ය ලෙස අපට කරන බලපෑම ශුන්‍ය යැයි ගත නොහැකිය. එය සරළව වටහා ගැනීමට තිබුණ හොඳම කාරණය වූයේ ඉන්දියාව හා පකිස්ථානය අතර තුන්වන දිනයට ප්‍රහාර ක්‍රියාත්මක වන විට මෙරට ලූණු වෙළෙඳුන්ගේ අනතුරු ඇඟවීමය. ඉන්දියාව කෙතරම් දුරට අපට බලපෑම් සහගතද යන්න සිතන්නේ නම් ආහාර සැපයුමේ සිට ඖෂධ සැපයුම දක්වා ශ්‍රී ලංකාවට වැඩි ගණුදෙනු පවතින්නේ ඉන්දියාව සමඟින්ය. සංචාරක කර්මාන්තය ගත්තද මෙරටට පැමිණෙන බහුතරයක් සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙන්ය. එවන් පසුබිමක් තුළ ඉන්දු – පාකිස්ථාන හැසිරීම් තුළ අපට නිදැල්ලේ හැසිරීමට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය මතුවෙයි.

ඒ අනුව ඉන්දියාවේ පාලනය යටතේ පවතින පහල්ගම්හි සිදුවූ ත්‍රස්ත ක්‍රියාව ඉන්දියාවද ප්‍රතිප්‍රහාර එල්ල කළේ එම ප්‍රහාරයට පාකිස්ථාන රජයේ කිසිදු සහයක් නොමැති බවට පාකිස්ථාන රජය අවධාරණය කොට පැවසූ පසුබිමකය. මෙහිදී පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට ඉන්දිය රජය ගත් තීරණය හා සමතයකයට පත්වීමට දැක්වූ කැමැත්ත තුළ එහි යටිපෙළ මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා දක්වන්නේ මෙපරිද්දෙනි.

”පාකිස්ථානය පැහැදිලිව කියල තිබුණා ඒ ත්‍රස්ත ක්‍රියාවට උදව් කළේ නැහැ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ කියල. නමුත් මේකට ඉන්දියාවේ මහජන බලපෑම වැඩි වීමත් වීමත් එක්ක දේශපාලකයන්ට තවදුරටත් භූමියේ රැඳී ඉන්න නම් මොනව් හරි කරන්න ඕනේ. ඒකත් බලපෑවා ඉතාම කෙටිකාලීන ඉන්දු පාකිස්ථාන ගැටුමට. දැන් බැලුවොත් ඊශ්‍රායල් – ගාසා යුද්ධය ගත්තත් දැන් ඒක යන්නේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට බලයේ රැඳී සිටීම වෙනුවෙන්. ලෝකේ හැමතැනම සිද්ධ වෙන්නේ ඒකයි. පොලිටිකල් ඉන්ටර්රෙස්ට් එක කියන්නේ පුද්ගලික ඉන්ටර්රෙස්ට් එක. කොහොමහරි ත්‍රස්තවාදීන් මර්දනය කෙසේ වෙතත් ඉන්දියාව පැත්තෙන් පකිස්ථානයේ ත්‍රස්තවාදී කඳවුරු සහ පුහුණු මධ්‍යස්ථාන කියල හදුනා ගත්ත කියන ස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර වගේම ගුවන් ප්‍රහාර එල්ල කළා. නමුත් පකිස්ථානය දිගටම කිව්වා ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ නැහැ,ඒ ගැන ජාත්‍යන්තර සහයත් අරගෙන ඒකාබද්ධ විමර්ශනයක් කරන්න කියන යෝජනාව කළා. නමුත් ඉන්දියාව ඒක පැත්තකට දාලා ප්‍රහාර එල්ල කළා. කොහොමත් ඉන්දියාවේ මහන්තත්තකම තියෙන රටක් කියන එක කවුරුත් දන්නා දෙයක්. මීට පෙරත් ඉන්දු පාකිස්ථාන යුද්ධ තුනක් ඇති වුණා. ජයග්‍රහණ ලැබුණේ ඉන්දියාවට. ඉන්දියාව කියන්නේ ලොකු රටක්. ඉන්දීය හමුදාව ගත්තත් පාකිස්තානයේ වගේ තුන්ගුණයක බලයක් ඉන්දියාවට තියෙනවා. යුදමය ගැටුමකින් පාකිස්ථානයට ඉන්දියාව පරද්දන බැහැ. නමුත් මේ වෙද්දි යම් වෙනසක් වෙලා තියෙනවා.මොකද පාකිස්ථානයට න්‍යෂ්ටික බලයත් තියෙනවා. ඉන්දියාවටත් තියෙනවා. දිගටම යුද්ධයක් ගියා නම් මෙතැනදී පාකිස්ථානය පැත්තෙනුත් න්‍යෂ්ටික අවි භාවිතා කරනවා. එහෙම වුණා නම් ලංකාව නැත්තටම නැති වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ යුද්ධය එතරම දුරකට යන්නේ නැහැ. මොකද ඉන්දියාවට වුණත් මහන්තත්තකම පෙන්නුවට දිගටම ගැටුම් පවත්වාගෙන යන්න වුවමනාවක් නැහැ. මේ අවස්ථාවේ පාකිස්තානයේ ගුවන් හමුදාව ඉතා දක්ෂ අයුරින් කටයුතු කරලා වාර්තා වෙන අන්දමට පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඉන්දියාවේ ප්‍රහාරක යානා 6ක් බිමදාලා තියෙනවා. ඒකෙන් තුනක් ප්‍රංශයේ නිෂ්පාදිත රෆායල් කියන අති නවීන ප්‍රහාරක ගුවන් යානා කියල තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාව එය ප්‍රතික්ෂේප කළත් යම් ප්‍රමාණයක හානියක් වෙලා තියෙනවා ඉන්දියාවට. ප්‍රහාරක ගුවන් යානා තුනක් හරි බිම දාලා තියෙනවා. මේ දවස් හතරක ගැටුම නිශ ඉන්දියාවට ඩොලර් බිලියනක හමුදාමය පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියල තමයි ගණන් බලලා තියෙන්නේ. පාකිස්ථානය විසින් ඉන්දීය ප්‍රහාරක යානා බිම දැමීම සහ ගුවන් නියමුවන් දෙදෙනෙක් අල්ලා ගැනීම නිසා ඉන්දියාවේ කිර්තිනාමය, මහන්තත්තකම නැතුව ගියා. මෙතනදී ඉන්දියාව පෙළඹුණා යුද්ධය අත්හැරලා දාන්න. දිගටම යුද්ධයක් කරගෙන යන්න ආර්ථික හැකියාව තියෙන්න ඕනේ. ඉන්දියාවට ආර්ථික හැකියාවක් තිබුණත් යුද්ධයක් පවත්වාගෙන යන්න යන්න තරම් ආර්ථික හැකියාවක් නැහැ.ඒක මහ අනුවණ ක්‍රියාවක්.මොකද සරළව කිව්වොත් ඉන්දියාවේත් නිවාස නැති වැසිකිලි පහසුකම් නැති කෝටි ගණනක් ජනතාවක් ඉන්නවා. සංවර්ධන ඉලක්ක ජයගනිමින් ගියත් ඔවුන් රටක් විදිහට තාමත් සම්පූර්ණ දියුණුවක් ලබලා නැහැ. ඒ නිසා යුද හැකියාවක් තිබුණත් රටක් විදිහට ඔවුන්ට ඉලක්කයක් තිබෙනවා. මොකක්ද ඉලක්කය, 2050 වෙනවිට ආර්ථික අතින් ලෝකයේ පළමු තැනට ලඟා වීම. එහෙම ඉලක්කයක් තිබියදීත් මෙතරම් දුරට හෝ ප්‍රහාරයකට යොමුවීම නුවණට හුරු දෙයක් නෙවෙයි. මොකද මේ හා සමානව චීනය 1979දී ඩෙන් ෂිආඕ ෆෙන්ග් (Deng Shiao Feng) ජනධිපතිවරයාගේ ඉලක්කයක් තිබුණා චීනය දියුණු කිරීම සම්බන්ධයෙන් 2020දී. චීනයේ ඒ ඉලක්කය, 2020 දී ආර්ථික බලවතා වෙන්න. චීනය ස්ථිර වශයෙන්ම ඒ ගමන ගියා. මේ ගමන තුළ නොයෙක අවස්ථාවලදී චීනය යුද්ධයකට පොළඹවා ගන්න ඇමරිකාව උත්සහ කළත් චීනය ඉතාම බුද්ධිමත්ව ඒ යුද්ධයට පැටලෙන්නේ නැතුව 2020 වෙනකම් අවා. තවදුරටත්යමින් ඉන්නවා. මේ වෙද්දී ඔවුන් ඇමරිකාවේ කිටුවටම ඇවිත් ඉන්නේ. මේ වෙලාවේ ට්‍රම්ප් ගෙනාපු බදු යුද්දෙදි වුනත් චීනය පැහැදිලිව කිව්වා අපි බදු යුද්දෙටත් ඔව්ට්ටුයි ඕනෑම යුද්ධයකට ඔට්ටුයි ඇමරිකාවට අපිට සද්දේ දාන්න බැහැ කියන පණිවිඩය ඔවුන් දුන්නා. එහෙම තැනකට ආවේ ඔවුන්ගේ වසර 41ක ඉවසීම නිසා. චීනයේ ඒ පාඩම ඉන්දියාව අනුගමනය කරන්න තිබුණා. මෙතැනදී අපි දකිනවා ඉන්දියාව තමන් ගැන තිබෙන අධිතක්සේරුව. පාකිස්ථානයට තමන්ට වඩා ධාරිතාවක් නැහැ කියන අධිතක්සේරුව වුණත් මෙතනදී බිඳුනා කිව්වොත් නිවැරදි. අවතක්සේරුවට වඩා අධිතක්සේරුව ගෙනත් දෙන්නේ භයානක ප්‍රතිඵල. මම හිතන්නේ ඉන්දියාව පාකිස්ථාන ගුවන් ප්‍රහාර හමුවේ එය අත්දැකීමෙන් වින්දා. කෙසේ නමුත් ඉන්දියාවේ මහජන විරෝධය නිසා පොඩි ප්‍රහාරයක් දියත් කළා. නමුත් මේ වෙද්දී ඇමරිකාවත් යම් මැදිහත්වීමක් කරලා තියෙනවා.”

මෙම කාරණයේදී කෙටි කාලීන හෝ ගැටුමකට යා නොදී තත්ත්වය ආරම්භයේදීම සමථයකට පත්කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට තිබුණේද යන කාරණයේදී මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතාගේ විග්‍රහය වන්නේ නොබැඳි රාජ්‍යයක් ලෙස ඊට මැදිහත්වීමේ අවකාශය තිබුණු බවයි. එහෙත් ඒ මොහොතේ එවැනි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ශ්‍රී ලංකාව වෙතින් සිදු නොවුණු අතර එය රටක් ලෙස අපගේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ දුර්වලකමක් ද? නැතහොත් උපායමාර්ගික නිහඬ වීමක්ද? මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

”ඇත්තටම අපේ රට ගත්තොත් අපට මේකට හොඳ මැදිහත්වීමක් කරන්න බැරි වුණා. නමුත් හොඳ මැදිහත්වීමක් කරන්න තිබුණ රටක්. මොකද අපි සාර්ක් සංවිධානයේ රටක්. ඒ වගේම නොබැඳි ජාතීන්ගේ රටක්. ඉන්දියාව සහ පාකිස්ථානයත් මේ දෙකටම අයිතියි. නමුත් රටේ නායකත්වයට හෝ විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ මේකට සාධනීය විදහට මැදිහත්වෙන්න කිසිම දැනුවත්කමක් තිබුණේ නැති බව තමයි පෙනෙන්න තිබුණේ. ඉන්දු – පාකිස්ථාන ප්‍රශ්නය අපිට වැඩක් නෑනේ කියන තැන තමයි ශ්‍රී ලංකා රජය හිටියේ. ඒ අනුව මේ විෂය ගැන ඔවුන්ට තියෙන දැනුම ගැන මම පුදුමයට පත්වුණා. මොකද මීට පෙර දෙවන ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වේ ”නහි වේරේන වේරානි” කියල. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ,ජපානයට කරදර කරන්න එපා ඔවුන්ට සමාව දෙමු කියල තමයි ඔහු ඇමරිකාවට කිව්වේ. ඒක හරි බලවත්. ඒකෙන් ඇමරිකාව ජපානයට දාපු දණ්ඩන ප්‍රමාණය අඩු වුණා. අද ජපානය ලෝකේ තුන්වෙනි බලවතා විදිහට ඉන්නවා. නොබෙදී රටක් ලෙස කටයුතු කරන්න සිරිමාවෝ අගමැතිනිය පවා කටයුතු කළා. ඉතිහාසයේ ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික බව ඇතුළේ තිබුණේ එහෙම නොබෙදී පිළිගැනීමක්. නමුත් අවාසනාවට අද එම තත්ත්වය වෙනස් වෙලා. මේ ගැන කිසිම දැනුමක් නොමැති බවක් තමයි පේන්න තියෙන්නේ. ඉන්දු පාකිස්ථාන යුද්ධය ඇදුනා නම් බලන්න තිබුණා මොකද අපිට වෙන්නේ කියල. කෑම නැතිවෙන්න තිබුණා. පෝලිම්වලට තමයි ජනතාවට යන්න වෙන්නේ. සංචාරකයෝ නැති වෙන තිබුණා. ආනයන අපනයන ඇනහිටින්න තිබුණා. බෙහෙත් නැතුව යන්න තිබුණා. ඒ වගේ ප්‍රශ්න රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ යුද්ධය දිගට ඇදුනා නම්. මේ කාරණය තේරුම් ගෙන මුල් අවස්ථාවේදීම අපි රාජ්‍යයක් ලෙස මේකට මැදිහත් වුණා නම් ජාත්‍යන්තර වශයෙන් අපට කීර්තියක් ගන්න තිබුණා. අනිත් එක නොබැඳි රටක් ලෙස මේ රටවල් දෙකේම හොඳ හිත තියාගෙන නොබැඳි ජාතියක් වශයෙන් ශක්තියක් ගොඩනගාගන්න තිබුණා. නමුත් ඉතහාසය තුළ අපි ගොඩනගාගෙන තිබුණු නොබැඳි බව නැති කරගත්තේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන කිසිදු දැනුමක් නොමැති බව පෙන්වමින්. ඒගොල්ලෝ ගහගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ කිව්ව තැනින්ම මේගොල්ලන්ගේ ගැඹුර පිළිඹිඹු වෙනවා.”

දේශසීමා මායිම් ඇදගෙන සිටියද පශ්චාත් නූතන සමාජය තුළ අප සිටින්නේ ගෝලීය වශයෙන් එකම හුයකය. එවන් පසුබිමක ගෝලීය වශයෙන් සිදු වන යුද ගැටුම් වැනි මානව පැවැත්මට ඉතාම අහිතකර තත්ත්වයන් එම භූමි භාගයන්ගෙන් වියුක්තව සිටියද ඒවායේ සෘජු මෙන්ම වක්‍ර බලපෑම්වලට මුහුණ දීමට සිදුවෙයි. එතරම් ආරථික හැකියාවක් නැති අප වැනි කුඩා රාජ්‍යයන් එවැනි තත්ත්වයන්හිදී එල්ලවන පීඩාවන් ගේ ප්‍රමාණය වැඩිය. එහෙයින් ප්‍රවේශම් විය යුතුව මෙන්ම උපක්‍රමික වශයෙන් ගොඩ මඩ දෙකම බේරාගත යුතුවන නිසා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම අතිශය වැදගත් බව අවධාරණය කළ හැකිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...