සති දෙක තුනක් ඉවසමු …

Date:

අප වෙත කඩා පාත් වී ඇත්තේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකි. ඉන්ධන නැත. ගෑස් නැත. විදුලිය ද කැපේ. බඩු මිල අහස උසට නැඟ ඇත. ඒ අතර භාණ්ඩාගාරය හිස්ය. ගෙවිය යුතු ණය ප්‍රමාණය වැඩිය. දේශපාලනය අවුල් වී ඇත. මහජනයා නොසන්සුන්ය. මෙබඳු කාල පරිච්ඡේදවලට ඉතිහාසයේ ද අපි මුහුණ දී ඇත්තෙමු. තව අතකින් ලෝකයේ බොහෝ රාජ්‍යයන් මීටත් වඩා සංකීර්ණ අර්බුදවලට මුහුණ දී ඇත. දුෂ්කර අඳුරු කාල පරිච්ඡේද ලෝකයට අලුත් දෙයක් නොවේ. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව උත්සාහවත් මිනිසා පරාජය කළ නොහැකිය. හෙතෙම දුෂ්කරතාවේ පතුලට ම ඇද වැටුණ ද යළි නැඟී සිටිනු ඇත. පළමුව අප ඒ පාඩම හිතට ගත යුතුය; එය මන්ත්‍රයක් සේ ජප කළ යුතුය.

බෞද්ධ ඉගැන්වීමට අනුව ජීවිතය ජය ගැනීම සඳහා අධිෂ්ඨානය, උත්සාහය හා කැප වීම අවශ්‍ය වේ. බෞද්ධ ජාතක කතා ගණනාවකින් බෝසත් චරිතයේ අධිෂ්ඨානය, කැප වීම හා උත්සාහය නිරූපණය කර තිබේ. ජීවිතය ජය ගැනීමට පමණක් නොව; ජීවිතය වටහා ගැනීමට ද යථෝක්ත සාධක අවශ්‍ය වේ. නිද්‍රාශීලීව, අලසව වැතිර සිටින මිනිසා ජීවිතය වටහා ගන්නේ නැත; ජීවිතය ජය ගන්නේ ද නැත. සිද්ධාර්ථයෝ චතුරාර්ය සත්‍යය වටහා ගැනීම උදෙසා සය වසරක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණාහ. සිද්ධාර්ථයන්ගේ අධිෂ්ඨානය කොතරම් ද යත්: උදරය පිට කොන්දට ඇලී ක්ලාන්තව බිමට ඇද වැටුණ ද සිය ආධ්‍යාත්මික ගවේෂණය අත් නොහළහ. එහි ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය සංහතියට අතිශය වැදගත් වූ ජීවිතය පිළිබඳ යථාර්ථය ලෝකයට දායාද වීමය.

බෞද්ධ ආර්ථික විද්‍යාව පිළිබඳ සංවාදයක් නූතන ආර්ථික විශේෂඥයන් අතර පවතී. එය ආරම්භ වන්නේ 1970 ගණන්වලදීය. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයා වූ ආචාර්ය ඊ.එෆ්. ෂූමාකාර් ‘ස්මෝල් ඊස් බියුටිෆුල්‘ නම් සිය මාහැඟි ග්‍රන්ථයේ පරිච්ඡේදයක් වෙන් කර ඇත්තේ බෞද්ධ ආර්ථික විද්‍යාව පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමටය. බෞද්ධ ආර්ථික විද්‍යා‍ෙව් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බහු පරිභෝජනයෙන් ඉවත් වීම හා සරල දිවි පැවැත්මකට හුරු පුරුදු වීමය. අල්පේච්ඡතාව යනුවෙන් එය හැඳින්වෙයි. බහු භාණ්ඩ පරිභෝජනය හා මහා පරිමාණයෙන් සිදු වන නාස්තිය නූතන ආර්ථික ගැටලුවලට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස පිළිගනු ලැබේ. බහු භාණ්ඩ පරිභෝජනය නිසාම මිනිසා අතර බලවත් ආර්ථික තරගයක් නිර්මාණය වී තිබේ. එම තරගය හැම විටම ගැටුම් ඇති කරයි.

රටේ පවත්නා අර්බුදය විසඳා ගත හැකි විශ්වාසවන්ත පදනමක් දැන් ගොඩනැඟී ඇත. එය අවසන් උත්සාහය වන්නටත් පුළුවන. මේ අනුව එදිරිවාදිකම් නොසලකා කොන්දේසි විරහිතව ඊට සහයෝගය දැක්වීම සියලු පාර්ශ්වවල යුතුකම හා වගකීම බව කිව හැකිය. මේ උත්සාහයේ ප්‍රතිඵල එක්වර ලැබෙන්නේ නැත. අප ගිලෙමින් සිටිනුයේ ක්ෂණිකව ගොඩ යා හැකි ඔරුවක නොවේ. එබැවින් ඉවසා සිටින්නට සිදු වෙයි. කැප වීම් කරන්නට සිදු වෙයි. එසේ නොවුණ හොත් ගොඩයෑමක් නැත. නව අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට තවත් සති දෙක තුනක් දුක් විඳින්නට සිදු වනු ඇත. ඉනික්බිති ක්‍රමයෙන් එකිනෙක ගැටලු විසඳා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. මේ මොහොතේ අප ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ඔහුට සහයෝගය දිය යුතුය.

  • ඇත්ත facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක්...

පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ... හෙලූ දුක් කදුළු වේදනා අපමණ...දන්නෙ...