Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

ජනවාරි 18 දා ISB ණය ගෙවීම පැහැර හැර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනට ඩොලර් ඉතිරි කර ගත හැකිව තිබුණා ද?

ශ්‍රී ලංකාව 2022 ජනවාරි 18 වන දින ඇ.ඩො. මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) පියවීම පැහැර හැරිය යුතුව තිබුණා ද? එසේ විණි නම් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකිව නොතිබිණිද?

ණය පැහැර හැරීම ඉතාම සංකීර්ණ සහ වේදනාකාරී කාරණයකි. එය සාමාන්‍ය හෝ අශෝභන කාරණයක් නොවේ. ශ්‍රී ලංකාවේ බාහිර ණය පැහැර හැරීමේ යෝජනාව, අවස්ථා ගණනාවකදී පුද්ගලයන් ගණනාවක් විසින් බලධාරීන් වෙත සිදුකළ බව ප්‍රකට කරුණකි. එසේ කළ යුත්තේ මන්ද යන්නට ඔවුහු හේතු ගණනාවක් ඉදිරිපත් කළහ. ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ද එසේ කිරීමට උපදෙස් දුන් අතර, සැබවින්ම එසේ නොකළ විට අදාළ නිලධාරීන්ගේ සහ අනෙකු‌ත් බලධාරීන්ගේ වැරදි ද සොයාගත්හ.

කෙසේ නමුත් ජාත්‍යන්තර ණය හිමියන් සමග ඇති ණය ගිවිසුම් ගණනාවක ලෙහෙසියෙන් පැහැර හැරීම් කළ නොහැකි වන ආකාරයේ ‘හරස් පැහැර හැරීමේ වගන්ති’ ඇති බව ස්වල්ප දෙනෙක් පමණක් අවබෝධ කර ගනිති. ඒ අනුව යම් විශේෂිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ආපසු ගෙවීම වරණීය හෙවත් තෝරාබේරාගෙන කළ හැකි දෙයක් නොවේ. තවද 2022 ජනවාරි මාසයේ ගෙවීමට තිබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය නොගෙවා පැහැර හරින්නැයි කියූ අය, එම ඇ.ඩො. මිලියන 500 ප්‍රදානය කිරීමේ අර්පණ චක්‍රලේඛය අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සියලු අනාගත ආයෝජකයන් හට “ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පූර්ණ විශ්වාසය හා ගෞරවය බැඳුම්කරවල මූලික ගෙවීම හා පොලී නියමිත වේලාවට ගෙවීමට පොරොන්දු වනු ඇත” යනුවෙන් දිවුරා පොරොන්දු වී ඇත යන අප්‍රසන්න සත්‍යය ද නොදැන සිටි බවක් පෙනේ.

රටේ ස්වෛරීත්ව විදේශ විනිමය ණය ආපසු නොගෙවන විට, රට ගැන පවතින විශ්වාසනීයත්වය නැති වී යන අතර, ආයෝජකයන් විසින් එම රට මග හරිනු ඇත. ණයවර ලිපි විවෘත කිරීමේදීත් විනිමය ගනුදෙනු සිදුකරන විටත් රටේ බැංකු පද්ධතිය විශාල පීඩනයකට ලක් වනු ඇති අතර, ඉතා බරපතළ දුෂ්කරතාවයන්ට ද මුහුණ දෙනු ඇත. දේශීය බැංකුවලට ලැබෙමින් තිබූ විදේශ විනිමය ණය සහ ආයෝජන කල් දැමීම හෝ නතර වීම සිදුවනු ඇත. විදේශ විනිමය මගින් අරමුදල් සැපයූ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් වැඩි කොටස නතර වනු ඇත. විදේශීය සෘජු ආයෝජකයන් ”බලාගෙන ඉඳිමු” (“wait and see”) ගණයේ ආකල්පයකින් කටයුතු කිරීමට පටන් ගනු ඇත. කුඩා හා මධ්‍යම පරිමාණ – අපනයන පදනම් කරගත් ව්‍යාපාර සහ ව්‍යවසායන්ට මෙම තත්වය දරුණු ලෙස බලපානු ඇත. මේ අනුව බාහිර ණය පැහැර හරින විට මෙකී අභියෝග සමග කටයුතු කිරීමට ක්‍රමෝපායයක් පැවතීම ඉතා වැදගත් වනු ඇත. එවැනි ක්‍රමෝපායක් නොමැති වීම මගින් කළමනාකරණය කළ නොහැකි ගැටළුවලට මග පෑදෙනු ඇත.

තවද මෙම ණය පැහැර හැරීම යෝජනා කළවුන්, එම පැහැර හැරීමේ ප්‍රතිවිපාක පැන නැගෙන විට එහි වගකීම පැවරෙන්නේ සහ එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ ආණ්ඩුවට සහ ජනතාවට බව ද අනුමානයකින් තොරව එසේ කළ බව පෙනේ. ස්වෛරී බැඳුම්කර ණය පැහැරහැරීමක් ගැන සිතන්නේ නම් එම විෂය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීම, එම සාකච්ඡාව සිදුකිරීම සහ ඉන් අනතුරුව තීරණයක් ගැනීමේ වගකීම බලධාරීන්ගේ වගකීම වන්නේ එනිසා ය. නියත වශයෙන්ම රටක් විසින් ස්වෛරීත්ව ණය පැහැර හැරීම ඉතා බරපතළ තීරණයක් වන හෙයින් නීතිපතිවරයාගේ ද උපදේශය මත කැබිනට් අමාත්‍යවරුන්ගේ විධිමත් අනුමැතිය එහිදී ලබාගත යුතුය. එපමණක් නොව, අයවැය සම්මත කර ගන්නා අවස්ථාවේදී ණය සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය අරමුදල් වෙනුවෙන් දැනටමත් වෙන් කර ඇති හෙයින් සහ, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් අවසාන වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට වන හෙයින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ සඳහා ලබාගැනීම කළ යුතු වේ.

මේ අනුව 2022 ජනවාරි 18 වැනිදාට ගෙවිය යුතු වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ/හෝ සෙසු ණය නොගෙවා සිටින ලෙසට විවිධ අය විසින් අයැද සිටියත්, නිසි අධිකාරියක් හෝ ආණ්ඩුවේ සම්මත කිරීමකින් තොරව සිදුකරන එවැනි තනි මතයේ ඉල්ලීම් නිලධාරීන්ට සලකා බැලිය නොහැකි බව ද වටහා ගත යුතු ය.

2022 අප්‍රේල් 11 දක්වා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ පැහැර හැරීම සිදු නොකිරීම ය. තවද මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහබැංකුව ද නිදහසින් පසු සිටම මෙම ප්‍රතිපත්තිය විශ්වාසනීය ලෙස අනුගමනය කර තිබිණි. කෙසේ වෙතත්, 2022 අප්‍රේල් 12 වැනිදා මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනය කරන්නේ එම ප්‍රතිපත්තිය වෙනස් වූ බවටත්, එදින පටන් ණය පැහැර හරින බවටත් ය. ඒ අනුව ආණ්ඩුව ණය පැහැර හරින බව නිවේදනය කරන්නේ සියලු සබැඳි ගැටළු සැලකිලිමත් ලෙස සලකා බලා, අවශ්‍ය කරන අනුමැතීන් ලබාගත් බවට පූර්ව නිගමනය කරමින් විය යුතුය. ඒ අතරම, මෙම පැහැර හැරීමේ උපාය මාර්ගය යෝජනා කළ ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් සහ පුද්ගලික අංශයේ ඇතැම් ප්‍රධානීන්, ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා යොදාගත හැකි බව සඳහන් කර තිබිණි. කෙසේ නමුත් එහි ප්‍රතිඵල භෞතිකකරණය කිරීම සම්බන්ධයෙන් බොහෝ විශ්ලේෂකයන්ට නම් බරපතළ සැක සංකා තිබේ.

ඔස්මන්ඩ් චන්ද්‍රවංස
ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ හිටපු විනිමය පාලක

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.