සටහන – රුවන් නෙළුගොල්ල
මහනුවර, දළදා වීදියේ පිහිටි සම්පත් බැංකු ශාඛාව සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන තොරතුරු අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් සම්පත් බැංකුව පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව සඳහන් කරන්නේ අදාළ ශාඛාවේ එක් ගනුදෙනුකරුවකු ලබාගත් රුපියල් මිලියන 51කට ආසන්න ණය පහසුකමක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව මෙසේ සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළව ඇති බවයි.
එම සිදුවීම දැනටමත් නීතිමය කටයුතු යටතේ පවතින අතර බැංකුව සහ එහි නිලධාරීන් අදාළ විමර්ශන බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ඇතැම් සමාජ මාධ්ය වාර්තා කර ඇති ආකාරයට සම්පත් බැංකුවේ කිසිදු නිලධාරියකු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බවත් බැංකුව අවධාරණය කර ඇත.
ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය දැනටමත් අධිකරණය හමුවේ පවතින බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ නැගෙන චෝදනා සහ නොමග යවනසුළු ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කිරීම හැර ඒවා සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට බැංකුවට මේ මොහොතේ හැකියාවක් නොමැති බවයි.



