රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW:
අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවය අතරතුර සිදුවූ සාකච්ඡාව සහ ගැටලු සඳහා ලබාදුන් විසඳුම් පිළිබඳ පැහැදිලි කිරීම..
අම්බලන්ගොඩ ධීවර වරායේ ඊයේ (21) දින පැවති උත්සවය අතරතුර, ඒ සඳහා පැමිණ සිටි ධීවර ප්‍රජාවේ පිරිසක් සිය වෘත්තීය ගැටලු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරු, අදාළ ධීවර නියෝජිතයින් එහි පිහිටි කාර්යාලය වෙත කැඳවා ඔවුන් සමඟ සෘජු හා සුහද සාකච්ඡාවක නිරත වූහ.
එහිදී ධීවර ජනතාවගේ ගැටලු සහ සාධාරණ ඉල්ලීම් පිළිබඳව ඉතා අවධානයෙන් යුතුව සවන් දුන් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය සාධනීය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇත්තේ ධීවරයින් සිය අප්‍රසාදය පළ කළ මූලික අවස්ථාවේ දර්ශන පමණක් බව නිරීක්ෂණය වී ඇත. ඉන් අනතුරුව අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධීවරයින් සමඟ පැවැත්වූ සාධනීය සාකච්ඡාව සහ ගැටලු විසඳීම සඳහා ගනු ලැබූ ඉදිරි පියවර පිළිබඳ තොරතුරු නිසි පරිදි මහජනතාව වෙත වාර්තා වී නොමැත.
ඕනෑම සිදුවීමක් මහජනතාව වෙත වාර්තා කිරීමේදී දෙපාර්ශ්වයේම අදහස් සහ ඉන් අනතුරුව ගනු ලැබූ විසඳුම් ක්‍රියාමාර්ග සමබරව ඉදිරිපත් කිරීම තුළින් ජනතාවට නිවැරදි අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ධීවර ප්‍රජාවගේ සුබසාධනය සහ ඔවුන්ගේ ජීවනෝපාය නඟාසිටුවීම වෙනුවෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සැමවිටම කැපවී කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටී.


