කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කටුනායක ගුවන් තොටුපළේ ගමන් මළු ප්‍රවාහනය කරන සේවකයකුට (පෝටර්වරයකුට) පහරදී තවත් ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුට තර්ජනය කර තිබේ.
සිද්ධිය සිදුව ඇත්තේ විදෙස්ගත වන සිය බිරිඳ ඇරලවීම සඳහා පසුගිය 14 වනදා අලුයම අමාත්‍යවරයා ඇමති ආරක්ෂක නිලධාරීන් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගිය අවස්ථාවේදී ය.
එහිදී අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයින් සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපලට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර ආරක්ෂකයින් සතු ගිනිඅවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් ඔහුට දැනුම් දී තිබේ.
ඒ සමගම අමාත්‍යවරයා ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන්ට බැනවැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව විදෙස්ගත වීම සඳහා පැමිණි අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මළු රැගෙන ගිය පෝටර්වරයාට ද ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා පහරදී ඇත.
ඒ, සේවා සපයන පෝටර්වරයකුට රුපියල් 1,000ක් ගෙවිය යුතු බවට පුවරු මගින් සඳහන් කර තිබියදීත් අමාත්‍යවරයා ඒ පෝටර්වරයාට රුපියල් 700ක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් පෝටර්වරයා විරෝධය පළකිරීමත් සමග ය.
පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කළ පසුව අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති අතර පහර කෑ පෝටර්වරයා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගුවන් තොටුපල පොලීසියට ගොස් ඇතත් එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොමැති හෙයින් පසුදා ආපසු පැමිණෙන ලෙස ගුවන් තොටුපල පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම් දී ඇත. කෙසේවෙතත් පෝටර්වරයා යම්කිසි හේතුවක් මත නැවත පොලීසියට පැමිණිලි කිරීමට ගොස් නොමැත.
මේ අතර මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍ය ප්‍රසන්න රණවීර පහරදීමේ සිද්ධිය පිළිගනිමින් ප්‍රකාශ කර තිබුණේ “මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා, ඒක ඇත්ත” යනුවෙනි.
ප්‍රසන්න රණවීර මීට පෙරත් පාර්ලිමේන්තු සභා ගර්භය තුළම මන්ත්‍රීවරුන්ට හා පොලිස් නිලධාරීන්ට පහරදීම මෙන්ම මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ගැසීම සම්බන්ධයෙන් ද චෝදනා ලද මන්ත්‍රීවරයකු වේ.
RN