උපාලි කොළඹගේ
කොළඹ LNW:වෙසක් උත්සවය අත ළඟය. වෙනදා මෙන්ම මෙවරද සම්මත ක්රමයට වෙසක් සැමරීමට උත්සුක වන බවක් පෙනේ.සම්මත ක්රමය කියල අදහස් කරන්නේ පැරැණි ක්රමයට දවස පුරා ආගමික වතාවත්වල යෙදී බිම් කරුවල වැටුණු පසුව දුවා දරුවන් සමග වෙසක් සැරසිලි බලන්න යෑම නොවේ. ඒ සුන්දර පරිසරය දැන් බොහෝ සෙයින් වෙනස් වෙලා.
වෙසකුත් අලුත් අවුරුද්ද තරමටම වාණිජකරණය වී ඇතැයි කිව්වොත් නිවරදි යැයි සිතෙනවා.අලුත් අවුරුද්දත් බොහෝ දෙනකු සමරුවේ කලාප ක්රමයටය. අහවල් ආයතනයේ අවුරුදු කලාපය මෙතන. අහවල් ආයතනයේ අවුරුදු කලාපය අතන යනුවෙන් රූපවාහිනිය ඔස්සේ කෑ මොර දෙනු අලුත් අවුරුද්ද පසුවී සති කිහිපයක් යනතුරුත් අපට අසන්න දකින්න ලැබුණා. බොහෝ අවුරුදු උත්සව වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදන ආයතනවල පුචාරාත්මක වැඩසටහන් බවට පත්ව තිබුණා.
මා මේ කියන්නේ ඕනෑම කේෂ්ත්රයක් සම්පූර්ණයෙන්ම වාණිජකරණය වීම වැළැක්විය යුතුයැයි කියා නොවේ. එසේ කිරීම ප්රායෝගිකත් නෑ. නමුත් ඒවායේ සීමා මායිම් දැන ගෙන කටයුුතු කළ යුතුයි. දැන් අවුරුද්ද අවසන්. ඉදිරියට එන්නේ වෙසක්.
මෙවර වෙසක් උත්සවය වෙනදාට වඩා අපට පමණක් නොව මුළු ලෝකයටම වැදගත් යැයි කියන්න පුළුවන්. අප දැන් ගත කරන්නේ නූතන ආලවකයා මුළු ලෝකයම බයින් බිරාන්ත කර ඇති අවස්ථාවකයි. අප වැනි කුඩා ආර්ථිකයක් හිමි රටවල් පමණක් නොව හොඳට අතමිට සරු රටවල් පවා මේ යුදගිනි දැල් මැද අසරණ වෙලා. හදිස්සියකට අත මාරුවක් කරගැනීමට ඉන්න ඉන්දියාවේ මෝදි මහත්තය පවා තමන්ගේ රටේ ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ චාම් ජීවිතයට හුරුපුරුදු වන ලෙසයි.
මගේ පෞද්ගලික අදහස නම් යුද්ධ කාලෙට පමණක් නොව කොයි කාලෙටත් චාම් ජීවිතයට හුරුවන්නේ නම් සමාජයේ දැවෙන ප්රශ්න බොහොමයක් ආන්තික වන බවයි. එයින් අදහස් කරන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන ඉන්නව කියන එක නම් නොවෙයි. ආගම දහමටත් එකඟ චාම් දිවි පැවැත්ම ප්රගුණ කරන එකයි කළ යුත්ත.
ඒ සිතිවිල්ල අපේ මාතෘකාවටත් එකඟයි. අපේ අධිෂ්ඨානය විය යුත්තේද එයයි. මෙම තීරණාත්මක මොහොතේ බෞද්ධයන්ට මුළු ලෝකයටම දියහැකි ආදර්ශය එයයි.එමෙන්ම වෛරයෙන් වෛරය නොසන්සිඳේය යන අගනා බුදුවදන ලෝකය පුරා ප්රචලිත වන ආකාරයට පතුරුවාහැරීමට හැකි නම් එයද මේ වෙසක් සතියේ සතියේ බෞද්ධයන් වෙතින් ලෝ ක වාසීන් වෙත තිළිණ කරන මහඟු දායාදයක් වනවා.
අවාසනාවකට මෙන් මෙවර වෙසක් උත්සවයද වාණිජකරණය වීමේ තත්ත්වයක් දැන් සිටම පේන්න තියෙනවා. වෙසක් එකට වෙසක් කලාප පිහිටු වීම රූපවාහිනි ආයතන මගින් කාලයක පටන් සිදුකෙරෙන්නක්. එම කලාප වලින් භක්තිය වැඩීමට වඩා සිදුවන්නේ විනෝදාස්වාදයක් ලබා දීමයි. මා නම් මේවා දකින්නේ වෙසක් කාණිවල් විදියටයි.
කොහොම වුණත් ලෝකය දසතින් යුද ගිනි ඇවිලෙද්දී අප විසින් කළ යුත්තේ අවිහිංසාවේ පණිවිඩය ලෝකය පුරා පතුරවා හැරීමයි.


