ගෝල්ෆේස් අරගලයක් සිදුවූයේ නැත ….

Date:

ගෝල්ෆේස් භූමිය පාදක කරගනිමින් මාස තුන හතරක් තිස්සේ යම් තරමක් දිගට ඇදුනු අරගලයක් ලංකාවේ සිදුවුණේ නැහැ හෝ ඒ අරගලය නිසා ලංකාවේ දේශපාලන සංස්කෘතියේ කිසිදු ගුණාත්මක වෙනසක් සිදුවෙලා නැහැ කියල මට ලියන්න හිතුනේ මේ වෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කතාකරන විදිය දැක්කම.

විශේෂයෙන් ජනතාවට බලපාන ප්‍රශ්න විතරක් නෙවෙයි ලංකාවේ අනාගතයට බලපාන ප්‍රශ්න එක්කත් වචන සෙල්ලම් දාන හැටි ගත්තම ඒවායේ කිසිම හරවත් දෙයක් ගන්න බැහැ. අවම වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්‍රශ්නේ ගත්තත් එහෙමයි. හැම දෙයක්ම ලිස්සල යවනවා. නැත්නම් ජෝක් කරනවා.

මමත් ඇතුළුව තවත් ගොඩක් අය කිව්ව දෙයක් තමයි ගෝල්ෆේස් අරගලය නිසා ලංකාවේ දේශපාලනයේ යම් යම් ගුණාත්මක වෙනස්කම් ප්‍රමාණයක් සිද්ද වෙමින් යන නිසා අනාගත දේශපාලනය පැවති දේශපාලනයෙන් සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් කියන එක. නමුත් දැන් පාර්ලිමේන්තුවේ කතාවල සහ මන්ත්‍රී හැසිරීමේ තත්වය දිහා සමස්තයක් ලෙස බලද්දී තේරෙනවා ඒ අරගලය විසින් කිසිවක් වෙනස්කර නැති බව සහ පුද්ගලයින් තුල කිසිදු බරපතළ වෙනසක් සිදුවී නැති බව.

ලංකාවේ මිනිස්සු ගතකරපු අන්ත දුක්ඛිත තත්වය, ආර්ථිකයක් ලෙස බංකොලොත් බව, මහජනයා පැත්තෙන් මතුවුණ විරෝධය, මහජන කේන්තිය එක්ක ඇතිවෙච්ච ඉතාම කණගාටුදායක සිද්දි, අදටත් තියන ආර්ථික පීඩනය, දේශපාලන කරපු අයට පාරේ බැහැල යන්න බැරිවෙච්ච තත්වය එක්ක නැවත දේශපාලන කරනවා නම් තිබිය යුතු විනය, වගවීම, කතාකරන හැම වචනයකම තියෙන්න ඕනි කල්පනාකාරී බව යන කිසිදෙයක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ඉන්න අය සලකා බලන්නේ නැතිවීම අතිශයින්ම ”සහාසික” තත්වයක්.

ඒ නිසා ගෝල්ෆේස් අරගලයේ අතුරු ප්‍රථිපල ලෙස පවත්නා දේශපාලනය සහ දේශපාලඥයින් පසුගිය සිද්දි වලින් පාඩම් ඉගෙනගෙන නැති බව, එසේ ඉගෙනීමට සුදානම් නැති බව හෝ සියල්ල නරුම විදියට අමතක කරන්න පුළුවන් බව දිහා දැක්කම තමයි ලියන්න හිතුණේ ”ගෝල්ෆේස් යනුවෙන් යමක් සිදුවී නැති බව” (The Galle Face Didn’t Take Place).

එකම එක දෙයක් ලියන්න ඕනි. ඒ තමයි ගෝල්ෆේස් කියන්නේ ලංකාවේ ආපතික (නොසිතූ – පරිකල්පනය නොකළ) දේශපාලන සිදුවීමක් කියන එක. එය ආපසු හැරවීම සිදුවෙන්නෙත් යම් නොසිතූ ආකාරයකට. මේ හැරවීම නැවතත් වෙනත් දෙයක් බවට හැරවීමත් යම් මොහොතක සිදුවනු ඇත්තෙත් එක්තරා නොසිතූ විදියකට.

ඔව්..අපි හිතමු මේ නිදාගෙන ඉන්නේ නිර්වින්දනය කරපු මිනිස්සු ටිකක් කියල. වඩාත් භයානක ඔවුන් යම් විදියකින් නින්දෙන් ඇහැරෙන්න පුළුවන් කියන එක.

මම හිතන්නේ මිනිස්සු ඉන්නේ ‘ඔව්… නටපල්ලා. අපිට වෙලාව ආවම අපි අපේ වැඩේ කරන්නම්’ කියන පදනමින්. ඒ කියන්නේ නිදි කියල හිතුවට ඇත්තටම නිදි නැහැ. ඒක තමයි ඉතාම භයානක. සහ දේශපාලනික.

මිනිස්සු හැමදාම විදී බහින එක නෙවෙයි ඇත්තටම භයානක. කිසිවක් නොකර නිදාගෙන වගේ ඉඳල නොසිතු මොහොතක අවදිවෙන එක.

ලෝක ඉතිහාසයේ එහෙම වෙලා තියන නිසයි ලිව්වේ.

මේක කොහෙහරි ලියල තියාගනිල්ලා…

(මාතෘකාව ජීන් බ්‍රෝදිලාගේ The Gulf War Did Not Take Place කියන පොතේ මාතෘකාව බලල හදාගත්තේ).

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...