“මැයි 9 ප්‍රහාරකයින්” යැයි මා කියන්නේ අරලිය ගහ මන්දිරයේ සිට පැමිණ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් පිරිස හා ඉන්පසු රට පුරා විවිධ ස්ථානවල පුද්ගලයින් හා දේපළ ඉලක්ක කරගෙන සිදු කල ප්‍රහාර දියත් කල අයටයි. එක් අන්තයක් වන්නේ මේ දෙපිරිසටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය වන අතර අනෙක් අන්තය වන්නේ “අශිෂ්ට ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දීමේදී ශිෂ්ටත්වය බලාපොරොත්තු නොවන්න” යන ස්ථාවරයයි. මගේ අදහස වන්නේ මේ ස්ථාවර දෙකම ගැටලු සහගත බවයි.
පළමු ස්ථාවරය පටු නෛතික රාමුක් තුළ සීමා වූ එකකි. දෙවෙනි ස්ථාවරය දේශපාලන වශයෙන් ගැටලුසහගතයි.
මගේ යෝජනාව වන්නේ දඩුවම් කරනවානම් දඩුවම් කළ යුත්තේ මේ ක්‍රියා සැලසුම් කළ හා ආසන්න වශයෙන් ඊට වගකිව යුතු අයට විරුද්ධවයි. ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් එය පහසු දෙයකි. අරලිය ගහ මන්දිරයේ රැස්වීම හරහා ජනයා කුපිත කොට ගෝල්ෆේස් වෙත එවූ පිරිස් හා එය වැලැක්වීමට හැකියාව තිබියදී එසේ නොකළ පිරිස් ඊට වගකිව යුතුය.
දෙවෙනි ප්‍රහාර මාලාවට වගකිව යුත්තේ යම් යම් නිෂ්චිත පුද්ගලයින් තෝරාගෙන ඔවුනට හා ඔවුන්ගේ දේපළ වලට ප්‍රහාර දීමට සැලසුම් කළ අයයි. එහි දී ගැටලුව වන්නේ එවැනි ප්‍රහාරවල සැලසුම්කරුවන් සෙවීම අපහසු පමණක් නොව බොහෝවිට නොහැක්කක් වීමයි. සිදු විය හැක්කේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසට පෙනෙන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමයි. මේ අපරාධමය ක්‍රියා ජනතාවගේ සුජාත විරෝධය පෑම් සමග සම්බන්ධ වී තිබෙන නිසා එවැනි අවස්ථාවල ඇතිවන ආවේගශීලී වාතාවරණය තුළ එවැනි ක්‍රියාවන්ට පෙළඹෙන පිරිස් සහ සැලසුම් කොට යම් යම් පුද්ගලයින්ගෙන් හා දේපළ වලින් පලිගැනීමේ චේතනාවෙන් කරන ප්‍රහාර වලට වගකිව යුතු පිරිස් වෙන් කර ගැනීම පහසු නොවේ.
සාමූහික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම තේරුම් ගැනීම එකකි. එය යුක්තිසහගත දේශපාලන ක්‍රියාවක් ලෙස පිළිගැනීම තවත් එකකි. “ප්‍රහාර අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටකම හොයන්න එපා” යන ස්ථාවරය සාමූහික ප්‍රචණ්ඩ ක්‍රියා වල සිදුවන අපරාධවලට දේශපාලන යුක්තිසහගතභාවයක් දීමකි. එය දේශපාලන වරදකි. මෙවැනි අවස්ථාවල ගැටලුසහගත තත්වය උපදින්නේ සුජාත දේශපාලන ක්‍රියාවක් වන ක්ෂණික මහජන උද්ඝෝෂණ හා ඒවායේම දිගුවක් ලෙස ඇති විය හැකි අපරාධකාරී ප්‍රචණ්ඩ ක්‍රියා අතර වෙනස සංයුක්ත වශයෙන් වෙන් කර ගැනීම බොහෙවින් දුෂ්කර වීම නිසායි. මෙහිදී බොහෝවිට සිදුවන්නේ තෝරාගත් පුද්ගලයික් කීප දෙනෙක් ගොදුරු වීම පමණි. ඊට විරුද්ධ වීම අවශ්‍ය වේ. මෙවැනි තත්වයන් දෙස නෛතික දෘෂ්ටිකෝණයකින් බැලීම කිසිසේත් නොහැක. මේ දෙස බැලිය යුත්තේ දේශපාලන-ආචාරධර්මීය දෘෂ්ටිකෝණයකිනි. ඒ නිසා වඩාත් උචිත වන්නේ මෙවැනි ක්‍රියා පිළිබදව පුළුල් පරීක්ෂණයක් කොට හැකිතාක් ඒ පිළිබද සත්‍ය එළිදරව් කිරීමයි. ඒ මගින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අධෛර්යමත් කෙරෙන මානසිකත්වයක් සමාජය තුළ ඇති කිරීමයි. මෙය දුෂ්කර දෙයක් බව නොකිව මනාය. එසේ වුවත් ඊට වඩා සාධාරණ වෙනත් මාවතක් මට නම් නොපෙනේ.
- මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
RN